counter hit xanga
October 26, 2021

දැරියකට බරපතළ ලිංගික අතවර කළ අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියා රිමාන්ඩ්

Last Updated on July 22, 2021 by Panduka Herath

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා මත බදුල්ලේ දී අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතාගේ නියෝගය මතය.

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 28 හැවිරිදි අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියෙකු වන සැකකරු ප්‍රේම සබඳතාවක් පැවැත්වූ දැරියකට අස්වාභාවික අන්දමින් බරපතළ ලිංගික අතවර සිදුකර ඇති බව අනාවරණය විය.

බදුල්ල නඩුකාරකන්ද පිහිටි නිවාඩු නිකේතනයකට ගෙන ගොස් දැරියට මත්පැන් පානය කිරීමට දී එම අතවරයන් සිදුකර ඇති බවට පොලීසිය අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කර තිබේ.

දැරිය බදුල්ල සොරණාතොට, එගොඩවෙල හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් පියා අනුරාධපුර ප්‍රදේශයේ කුලී රැකියාවක නිරත වන අතර සහෝදරියක් හා මව සමඟ ඇය නිවසේ සිට ඇති බවත් පොලීසිය පැවසීය.

දැරියගේ අස්වාභාවික හැසිරීම හේතුවෙන් මව ප්‍රශ්න කර ඇති අතර එහිදී දැරිය මේ බව අනාවරණය කර ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය පැවසීය.

මේ අතර රට තුළ සිදුවන ළමා අපයෝජන පාලනය සඳහා විධිමත් ජාතික දත්ත පදනමක් සකස් කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසන්නේ එය ලබන අගෝස්තු මාසයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.

ළමා අපයෝජන වැලැක්වීම  සහ එවැනි අපචාරවලට ගොඳුරු වු ළමුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරිම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය  ප්‍රමුඛතාවක් ලබාදී ඇති බව සභාපතිවරයා පවසයි.

ළමා අපයෝජන වැළැක්වීම සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග, එවැනි අපචාරවලට ගොඳුරුවූවන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් අධිකාරිය ආණ්ඩුවට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.