counter hit xanga
October 26, 2021

2021 අවසාන වීමට පෙර ග්‍රාමීය පාලම් 1000ක්!

Last Updated on June 13, 2021 by Panduka Herath

2021 වසර අවසාන වීමට ප්‍රථම ග්‍රාමීය පාලම් 1000ක් ඉදිකිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කර ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කරවීමට හැකියාව ලැබෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

තවද කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින සේවක සංඛ්‍යාව අඩුවීම නිසා මේ දිනවල පාලම් ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බව නිරීක්ෂණය විය.සේවකයින් සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව ගෙන්වා ගෙන පාලම් ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම ආසනයක් පුරාවටම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව නොනවත්වාම ඉදිරියට කරගෙන යා යුතු බවත් , නියමිත දින වකවානුවලට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩ සටහනේ ඉලක්කගත ප්‍රගතිය සපුරාගත යුතු ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා විසින් මෙහිදී, මහා මාර්ග අමාත්‍යාංශයේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වි සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන ” සෞභාග්‍යය දැක්ම” ප්‍රතිපත්ති මාලාව යටතේ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ” ගම්බිම් යාකරන හදවතේ පාලම් ” යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහා මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් මෙම ගම් බිම් යාකරන හදවතේ පාලම් ව්‍යාපෘති වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.