counter hit xanga

ආයුර්වේද රෝහල් 50 ක් කොවිඩ් මර්දණයට එක්වෙයි!

Last Updated on May 24, 2021 by Desman Chathuranga

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දින (23) තීරණය කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේද සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් අතර ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කිරීමත් සමග ඇඳන් 3500 ක ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා එක් වේ.

මෙම සාකච්ඡාවේ දී කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කරන ලද ආයුර්වේද රෝහල්වල සේවය කරන සෞඛ්‍ය මණ්ඩල වලට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබදව විධිමත් පුහුණුවක් ලබාදීමටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් එන්නත් කිරීමටත් මෙහිදී තීරණය කරන ලදි .

එමෙන්ම ප්‍රතිකාර සේවාවන් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ, පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල කඩිනමින් ලබාදීමටත්, රෝහල්වල සිදු විය යුතු භෞතික වෙනස්කම් කඩිනමින් සිදු කිරීමටත් තීරණය කරන ලද අතර ප්‍රතිකාර සදහා යොමු කරන රෝගීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ප්‍රණීත , පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරිය නිලධාරීන්ට මෙහිදී උපදෙස් දි තිබේ.