counter hit xanga
October 21, 2021

ජාතික ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන් ඉල්ලයි!

Last Updated on June 25, 2021 by Panduka Herath

මැතිවරණ හා ඡන්ද විමසී‍ම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ යෝජනා ඉදිරිපත් කිරිමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වු අවස්ථාවේ මෙම තීරණ ගෙන තිබේ.

ඒ අනුව මෙරට පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70% අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතයි.

මීට අමතරව පළාත් පාලන මට්ටමේ ඡන්ද 25% කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වන යෝජනාවක්ද, සියලු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට මැතිවරණ නීති රීති වලට එක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද තීරණය කර තිබේ.

එමෙන්ම සියලු කොමිෂන් සභා සහ මණ්ඩල සඳහා කාන්තා නියෝජනය ඉහළ නැංවීමට කටයුතු කිරීමද, ප්‍රධාන පක්ෂ ව්‍යුහ ධූරාවලිය තුළ නායකත්ව තනතුරු, කමිටු තනතුරු,විධායක තනතුරු සහ කාරක සභා සාමාජිකත්වය හෙබවීම සඳහා අවස්ථාව සැලසීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡාවට ලක් විය.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය , පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ද සොයිසා මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වූහ.