counter hit xanga

සිහින සැබෑ වන ලොකු රටක්!

Last Updated on May 22, 2021 by Panduka Herath

වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වි අවසන්.එය රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා සිටින ජනතාවගෙ පැත්තෙන් සුභදායී තත්ත්වයකි. දැන් අලුත් ආර්ථික මාවතක් විවෘතව තිබේ. එය රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය. දැන් අප කතා කල යුත්තේ නගර වරාය ව්‍යාපෘතියට සහාය දිය යුත්තේ ඇයිද යන්නය.

‘නිදහස් වෙළද කලාප’ ‘විශේෂ ආර්ථික කලාප’ පළමුවෙන්ම තුන්වන ලෝකයට හදුන්වා දෙනු ලැබුවේ යටත් විජිත ක‍්‍රමය බිද වැටී ඊට ආදේශ වශයෙන් ‘නව යටත් විජිත ක‍්‍රමය’ යටතේය. නව යටත් විජිතවාදයේ ආර්ථික උපාය මාර්ගයේ උපාය මාර්ගයක් වශයෙනි. ආර්ථික කේෂ්ත‍්‍රයට සමාන්තරව, දේශපාලන කේෂ්ත‍්‍රයේ ස්වාධීන රාජ්‍යවල රූකඩ ආණ්ඩු, මිලිටරි කේෂ්ත‍්‍රයෙහි යුද්ධ ක`දවුරු සහ යුද්ධ උපාය මාර්ගික සංවිධානද, සංස්කෘතික ක්ෂේත‍්‍රයෙහි පදනම් ආයතන, මාධ්‍ය ජාලා ස්ථාපිත කරනු ලැබීය.

1980 ආරම්භයේදී උත්සන්න වූ ධනවාදයේ ලෝක අර්බුදය හමුවේ, ගෝලීයකරණය – නව ලිබරල්වාදය හරහා සූරාකෑමේ නව උපක‍්‍රම යොදා ගැනීමට අධිරාජ්‍යවාදය සමත් විය. සෝවියට් දේශය බිඳ වැටීම අධිරාජ්‍යවාදයට ආශිර්වාදයක් වුවද, යළි 2008දී ගෝලීය මූල්‍ය අර්බුදය හටගත්හ. එය නිල වශයෙන් 2013 දක්වා පැවතුණි. ගෝලීය මූල්‍ය අර්බුදය නිල වශයෙන් නිමාවට පත්වූ බව ප‍්‍රකාශ කළද, අර්බුදය නොනැවතී උග‍්‍ර වෙමින් පවතී.

මේ අතරතුර ආසියානු ආර්ථිකයේ පිබිදීම සහ චීන ආර්ථිකයේ වේගවත් වර්ධනයත් සමග ලෝක ආර්ථික රටාව වෙනස්වී ඇත. ලෝක ආර්ථික බල තුලනයද වෙනස් වෙමින් පවති. ඒක ද්‍රව, ද්වි ද්‍රව ලෝක ආර්ථික රටාව වෙනුවට බහු ද්‍රව ලෝක රටාවක් නිර්මාණය වී තිබේ. ගෝලීයකරණයේ වාසිය ආසියාවට හිමිවී තිබේ. ඒ අනුව අධිරාජ්‍යවාදී කදවුර තුළ ආර්ථික ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රතිවිරෝධතාවයක් උත්සන්න වෙමින් පවති. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඒක පාර්ශ්වීය ගමනක් යෑමට තැත් කර පරාජයට පත්විය.

ඇමරිකානු ඉතිහාසයේ පළමුවරට ඩොලර් නෝට්ටු අච්චු ගැසීම, රජයේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත. පෞද්ගලික අංශය නඩත්තු කිරීමට රජයට සිදුවී තිබේ. ඇමෙරිකාව තවදුරටත් ලොවේ ප‍්‍රධාන අපනයනකරු, ආනයනකරු හෝ ප‍්‍රධාන විදේශ විනිමය සංචිතය නොවේ. බැඳුම්කර හරහා චීනයෙන් පවා ණය ලබා ගැනීමට සිදුවී තිබේ. නව ලිබරල්වාදයේ අර්බුදය හමුවේ, අධිරාජ්‍යවාදය නව විකල්ප ආර්ථික උපාය මාර්ග සොයමින් සිටි. ජාත්‍යන්තර වෙළඳාම, එහි සැපයුම්දාමය වෙනස් වී ඇත. අද ප‍්‍රාග්ධනය ගලා එන්නේ අත්ලාන්තික කලාපයේ සිට පැසිපික් කලාපයටය. යුරෝපයේ සිට ආසියාවටය.

ඇමරිකාවේ සිට ආසියාවටය. කාල් මාක්ස් පෙන්වා දුන් පරිදි ප‍්‍රාග්ධනය ගලා යන්නේ ලාභය සොයමින්ය. ලොවේ ඩොලර් සංචිතයෙන් තුනෙන් එකක් හිමිකරගෙන තිබෙන්නේ චීනයයි. චීනය ලොවේ විශාලතම වෙළදපොලයි (මිලියන 900ක් පාරිබෝගික වෙළෙඳ පොළකි). ඉන් මිලියන 400ක් අයත් වන්නේ මධ්‍යම පන්තියටය. ලෝක ප‍්‍රධාන කාර්මික නිෂ්පාදකයා චීනයයි. චීනය නව තාක්ෂණය අතින් ඇමරිකාව සමඟ කරට කර සිටි. අඟහරු ලොවට යානයක් යැවීම චීනයේ නවතම සාර්ථක අත්හදා බැලීමයි. යෝජිත වරාය නගර ව්‍යාපෘතිය දෙස බැලිය යුත්තේ ඉහතින් දැක්වූ ආර්ථික සන්දර්භය තුළ සිටිමිනි. යෝජිත වරාය නගරය ව්‍යාපෘතිය නව යටත්විජිත ක‍්‍රමය යටතේ වූ නිදහස් වෙළඳ කලාප හෝ විශේෂ ආර්ථික කලාපවලට වඩා වෙනස්ය. මෙම කලාප ස්වෛරීය රාජ්‍යයන් යටතේ පාලනය වන ව්‍යාපෘතියකි. තීරණ ගන්නේ බහු ජාතික සමාගම් හෝ විදේශ රාජ්‍යයන් නොවේ.ව්‍යවස්ථානුකූලව, නීත්‍යානුකූලව ස්වෛරීය රාජ්‍යයන්ගේ අයිතිය පාලනය යටතේ සිදු කරනු ලබන ආයෝජන වේ.

යටත්විජිත හෝ නව යටත් විජිත කෝණයෙන් මෙම ව්‍යාපෘතිය දෙස බැලිය නොහැකිය.තුන්වන ලෝකයේ රටවල් හඳුන්වනු ලැබුවේ ‘නොදියුණු’‘ඌණ සංවර්ධනය රටවල්’ වශයෙනි. දැන් ඒවා හඳුන්වනුලබන්නේ ‘සංවර්ධනය වන රටවල්’ වශයෙන් වුවද, මෙහි පොදු ලක්ෂණය නම් ‘ප‍්‍රාග්ධනය’ නැති රටවල්ය. මෙකී ව්‍යාපෘති සාර්ථක වීමට නම් අපේ ආර්ථිකය තුළ ‘යටිතල පහසුකම් සංවර්ධනය’ ‘මානව සම්පත් සංවර්ධනය’ තුළින් ආර්ථිකයේ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සංවර්ධනය විය යුතුය. නිදහසින් පසු සංවර්ධනය නොවූ ක්ෂේත‍්‍ර දෙක වන්නේ යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයයි.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ යම් යටිතල පහසුකම් සංවර්ධනය වුවද, මානව සම්පත් සංවර්ධනයක් තවමත් සිදු නොවේ. දේශීය නිෂ්පාදනය දිරි ගන්වනු ලබන්නේ ඒ අනුවය. ජාතික ආර්ථිකය තුළ වුවද, එම ව්‍යාපෘතිය දියත් කළ යුත්තේ වෙන්වූ විශේෂිත කලාප වශයෙනි. ප‍්‍රාග්ධනය ගලා ඒමට එම ක‍්‍රමවේදය අවශ්‍යය. එය අත්හදා බලා ඇති ක‍්‍රමවේදයකි. මේවා සිදුවන්නේ ලෝක ධනවාදී ක‍්‍රමය තුළ බව තේරුම්ගත යුතුය. චීනය තවම සිටින්නේ සංවර්ධනය වන රටක මට්ටමේය. එය කි‍්‍රයාත්මක වන්නේ ගෝලීයකරණය වන ලෝක ආර්ථිකයක් තුළය.

ලෝක බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්වල කොන්දේසිවලින් බැහැරව ක‍්‍රියා කිරීමට මෙවැනි ව්‍යාපෘති යොදා ගත යුතුය. ණයගැති හා ප‍්‍රාග්ධනයක් සම්පාදනය නොවන රාජ්‍ය ආදායම බිංදුවට බැස ඇති රටකට සහනයකි මෙවැනි ව්‍යාපෘති. වෙනම විශේෂ කලාපයක් වශයෙන් ක‍්‍රියාත්මක වුවද, එම ව්‍යාපෘතිය ජාතික ආර්ථිකයේ දේශීය නිෂ්පාදනයට ප‍්‍රබල රුකුලක් විය හැකි ව්‍යාපෘතියකි.

-දේශපාලන ලියුම්කරු-