counter hit xanga

පොත් 43,000 ක් ලියනවා කියන්නේ රියලිටි ශෝ එක්ක නොවෙයි…

Last Updated on April 22, 2021 by Desman Chathuranga

ලෝකයාම මර බියෙන් ඇලලී ගිය අවස්ථාවක පොත් ලියා අපේ පාසල් දරුවන් ලෝක වාර්තාවක් කරා රැගෙනයාමට හැකි වු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අරලියගහ මන්දීරයේ පැවැති “රටක් වටින පොතක්” ජාතික වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් වසංගත කාලේ බිහිවුන එකම වාර්ථාව මෙය බවයි.

රටක් වටින පොතක් ජාතික වැඩසටහනට ඊයේ (21) පස්වරුවේ පැවැත්වුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අධ්‍යාපණ අමාත්‍ය ජි.එල් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදීයි.

“මේ ව්‍යාපෘතිය එළිදැක්වීම ප්‍රධාන කරුණු 03 ක් මත පදනම් වෙලා තිබුණා. 1947 සිට දේශපාලන වංශ කතාව තුළ නොයෙක් ආකාරයේ විවිධ වර්ණයන්ගෙන් මැතිවරණ ප්‍රකාශන රටට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අතරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය තරම්, මේ රටේ අධ්‍යාපනයට බර තබපු, දරුවන්ගේ අනාගතය ගැන සාකච්ඡා කරපු, අධ්‍යාපනය ගැන නව මංපෙත් විවකර කරපු, රටේ දරුදැරියන් විශ්වීය ශ්‍රීලාංකිකය‍න් බවට පත් කිරීමට සැලසුම් කළ මැතිවරණ ප්‍රකාශනයක් තවත් නැහැ. ඒ නිසා තමයි අපි කල්පනා කළේ, කොවිඩ් විශ්වීය මාරයා නිසා සමස්ත රටම බියෙන් වෙලී ඇති මොහොතක රටේ දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කරන්න. දෙවෙනි කාරණාව තමයි. “

“කෝවිඩ් වසංගතය හමුවේ මුළු ලෝකයම බියෙන් ඇලලීගිහින්, දරුවන් නිවෙස් තුළ ප්‍රාණ ඇපකරුවන් වූ මොහොතක, දරුවන් තුළ ඇතිවූ පිඩනය කළමනාකරණය කරගැනීම වෙනුවෙන්, අමාත්‍යවරයෙක් වශයෙන් පමණක් නොවෙයි, ආදරණීය පියෙක් වශයෙන් දරුවන්ට මේ විදියට පොත් ලිවීමේ ඉලක්කය ලබාදුන්නේ. අපේ රටේ මතයක් තිබුණා මේ රටේ දූපුතුන් ලියන්නේ කියවන්නේ නහැ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් අපට අවශ්‍ය වුණා මේ මතය ව්‍යාජ මතයක් බව රටට කියන්න. ඒක තමයි තුන්වන කාරණය. පාසල් පද්ධතිය තුල ලක්ෂ 43 ක් දරුවන් සිටිනවා. පුද්ගලික පාසල්, පිරිවෙන්, අන්තර්ජාතික පාසල් මේ සියල්ලම තුළ මිලියන 5 ක දදරුවන් සිටිනවා. මින් 43,000 ක් මේ බැහැ කියපු ඉලක්කය තෝරාගෙන තිබෙනවා. ඒ කියන්නේ සෑම දරුවන් සියයකගෙන්ම එක් දරුවෙක් පොතක් ලියලා. මෙය දැවැන්ත ඉලක්කයක්. මේ පින් බිම තුළ සිටින සිසු දරුදැරියන්ට පළමු වතාවට ශ්‍රී ලාංකීය ජාතිය තුළ සම තලයක් ඇති වුණා”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලාංකීය අධ්‍යාපන වංශ කතාවේ ඉතාම විශිෂ්ඨ පරිච්ඡේදයක ආරම්භය තබමින්, අතිගරු ජනාධිපතිතුමා ඒ මත ජාතික මුද්‍රාව තැබීමේ ආනුභාව සම්පන්න අවස්ථාවටයි අද මේ අපි සහභාගි වන්නේ. විශ්වීය මහා ගත්කතුවර විලියම් ක්ෂේශ්පියර්ගේ සහ මිගෙල් ඩි සෙවන්ටෙස්ට්ගේ අවසන් දිනය යෙදී තිබෙන්නේ අප්‍රේල් 23 දිනටයි. එය පදනම් කරගනිමින් අප්‍රේල් 23 ලෝක කියවීමේ දීනය සහ ලෝක පොත් දිනය උදා වෙනවා. මේ ආකාරයෙන් ඉතාමත් වැදගත් දිනයක එළිපත්තේ ඉදගෙන තමයි අපි මේ ශ්‍රී ලාංකීය ජාතික කටයුත්ත දියත් කරන්න සූදානම් කරලා තිබෙන්නේ.”

“අපි ජාත්‍යන්තර ගිනස් වාර්තාවන් සමග බැලුවම, අපේ මේ රටක් වටින පොතක් ව්‍යාපෘතිය මෙය ගිනස් වාර්ථාවක්. අපි සැලසුම් කළේ පොත් 10,000ක් ඊ බුක් ආකාරයෙන් අන්තර්ජාලය තුල තැන්පත් කරන්නයි. පොත් 43,000 ක් ලියනාව කියන්නේ රියලිටි ශෝ එක්ක නොවෙයි. SMS එකකින් විශිෂ්ඨයා තෝරන එකක් නොවෙයි. වෙනත් දෙයක් කරලා තියන ගිනස් වාර්ථාවක් නොවෙයි. මෙය පොතක් ලියලා තබන ගිනස් වාර්ථාවක්. එය තවත් සුවිශේෂි වන්නේ ලෝකයාම මර බියෙන් ඇලලී ගිය අවස්ථාවක මේ පොත් ලියපු එකයි. කොවිඩ් වසංගත කාලේ බිහිවුන එකම වාර්ථාව තමයි මේ. “

“අපේ අධ්‍යාපන අමාත්‍යාංශය පුස්තකාල මණ්ඩලයත් සමගින් මෙය ජාත්‍යන්තරය දක්වා රැගෙන යන බව විශ්වාසයි. එතෙක් මෙතෙක් සිටි රාජ්‍ය නායකයන් අතරින් වැඩියෙන්ම කියවන, වේගයෙන්ම කියවන, නූතන ග්‍රන්ථයන් පරිශීලනය කරන නායකයෙක් තමයි අපේ ජනාධිපතිතුමා. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ, ඔබතුමාගේ යුගය දරුවන් වෙනුවෙන් වෙන්වූ යුගයක් විදියට සෑම වසරකම අප්‍රේල් 23 දිනයට මේ ආකාරයෙන්ම මේ වැඩපිළිවෙල දියත් කරන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. “