counter hit xanga
October 1, 2022

දේශපාලනයෙන් සිරගතකල පිය සෙනෙහස ඉල්ලා දෙමළ දියණියකගෙන් සිංහල ජනතාව වෙත ආයාචනයක්!

Last Updated on September 19, 2022 by Panduka Herath

මගේ මව්බිමෙහි වෙසෙන සහෝදර සිංහල ජනතාව වෙත,
පියාගෙන් වියෝ වී වෙසෙන දියණියකගෙන් කාරුණික ආයාචනයක්!

දැනට 12 වන ශ්‍රේණියේ ඉගනුම ලබන පාසැල් ශිෂ්‍යාවක වන කම්ෂා සදීෂ්කුමාර් වන මම යාපනයේ වඩමාරච්චි හින්දු බාලිකා විද්‍යාලයේ මගේ මූලික අධ්‍යාපනය හදාරමින් සිටියෙමි. එහෙත් උපන් බිමේ සුවඳ විඳිමින් ලද ඒ පාසැල් ජීවිතය මා හට අහිමි වූයේ බලාපොරොත්තු නොවූ විලසිනි.

උපන් බිමෙන් වෙන් වී මව සමග අවතැන් වී පැමිණ මේ වන විට ප්‍රංශය නමැති පිටස්තර දේශයක සරණාගතයින් ලෙස ජීවත්වීමේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට මා හට සිදුවිය. ඒ සඳහා නපුරු යුද්ධයත්, ඒ නමින් අත්අඩංගුවට ගෙන සිර කරන ලද මගේ සදාදරණීය පියාණන්ගෙන් දුරස් වීමත් හේතු විය.

ඒ 2008 වසර ය. මා පීතෘ සෙනෙහසින් වෙලී පියාගේ උරතලයට පැන කෙළිදෙලෙන් පසු වූ යුගයේ, මා අවුරුදු 3ක දැරියකව සිටිය දී මගේ පියා කොටි සංවිධානයට උදව් කළ බවට චෝදනා කර ඔහුව අත්අඩංගුවට ගෙන සිර කර රඳවා තබා ගැනුණි’ සෙල්ලයියා සදීෂ්කුමාර් නම් වූ මගේ පියා ඒ වන විට කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ රියැදුරකු ලෙස රාජ්‍ය සේවයේ නියැළී සිටියේ ය. ඔහු පදවාගෙන ගිය වාහනයේ තිබී සුළු ප්‍රමාණයක වෙඩි බෙහෙත් හමු වූ බවට චෝදනා කර එවකට ක්‍රියාත්මකව පැවති හදිසි නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරුණි. ඒ අනුව 2011 වසරේ දී අධිකරණය මගේ පියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. දැනට මගේ පියා දේශපාලන සිරකරුවකු ලෙස (අංක P – 454) සුදු ඇඳුම ඇඳ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සිටියි.

එසේ සිරගතව සිටිින මගේ පියා අතින් කිසි කලෙක කිසිදු ජීවිත හෝ දේපල හානියක්, හෝ බෝම්බ පිපිරවීමක් නැතහොත් එවැන්නකට සම්බන්ධ ක්‍රියාවක් සිදු වී නොමැත. එහෙත් මගේ ආදරණීය පියාණන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින්නට සිදු වී ඇත. එය අප මුළු පවුලට ම දරා ගත නො හැකි වේදනාවක් විය. පියාගෙන් වෙන් වී ගත වූ අවුරුදු 14 පුරාවට ම මා විසින් විඳින ලද දුක් වේදනාවන්, මුළාවීම් වචන වලින් ලිවීමට නො හැකි තරම් ය. එසේ ම මගේ පියා මුලින් රැඳවුම් භාරයේ සිටිය දී ඔහු බැලීමට කොළඹ 4 වන තට්ටුවට අම්මා සමග ගිය දවසේ පියාගේ සිරුරේ තිබී මා නෙත ගැටුණු ඒ තුවාල කැළැල් මට මගේ ජීවිත කාලය පුරාවට ම අමතක කළ නො හැක්කකි. ඒවා මගේ සිත තුළ ද නො මැකෙන කැළැල් ඇති කළේ ය.

මා ජීවත් වූ කිලිනොච්චිය ප්‍රදේශය එවකට කොටි සංවිධානයේ පූර්ණ පාලනය යටතේ පැවතුණි. එකල එහි පැවති යුදමය පරිසරය කෙසේදැයි යන්න ඔබ සැම හොඳින් දන්නා හු ය. එවන් තත්ත්වයක දී පවා කිසිවකුට හෝ හානියක් නො කළ මගේ පියාට ‘අවස්ථාව හා පාරිසරික සාධක මත’ කෙටි කාලීන සිරකරුවකු ලෙස සිටින්නට පමණක් සිදු වේ යැයි දැරියක වූ මම දැඩි සේ විශ්වාස කළෙමි. එහෙත් සිදුවූයේ අන් දෙයකි.

ගිලන් රථ රියැදුරකු ලෙස සේවය කළ මගේ පියා ප්‍රදේශයේ පැවති යුද ගැටුම් වලට මැදිව ජීවිතය උදෙසා සටන් කළ සිය ගණනක් මිනිසුන්ගේ ජීවිත රැක දීමට දිවා රෑ නො බලා වෙහෙසුණු, විවේකයක් ගැන නො සිතා සේවයේ නියැලුණු මානව දයාවෙන් පිරි පුද්ගලයෙකි. එහෙත් ඔහු පසුපස පැමිණියේ අවාසනාවයි.

සිර ගෙදර දිවි ගෙවන මගේ පියා තම සිත් වේදනාවන් තුනී කරලීමේ අරමුණින් අධ්‍යාපන කටයුතු කරමින්, සාහිත්‍ය කලා කටයුතු වල නියැලෙමින් කාලය ගත කරයි. වියෝවීමේ දුක අස්වසා ගැනීමට උත්සාහ ගනියි. සැම විට ම ආදරය, දයාව, අනුකම්පාව, සහජීවනය පිළිබඳ මා සමග කතා කරන මගේ දයාබර පියාණන් ‘ත්‍රස්තවාදියකු’ ලෙස අමතන විට මගේ ළපටි සිතට වාවාගත නො හැක.

මහත් දුක් වේදනාවන් විඳිමින් ගත කළ ඉකුත් 14 වසර පුරාවට රාජ්‍ය නායකයින්ගේ ද, බොහෝ දේශපාලන බලවතුන්ගේ ද දෙපා මුල වැඳ වැටී ‘මට පියා සමග ඉන්න එක අවස්ථාවක් හෝ ලබා දෙන්න’ යි බැගෑපත් ලෙස ඉල්ලා සිටිය ද මේ දක්වා එම ඉල්ලීම ඉටුවූයේ නැත. පියා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිද්දී ගැහැණු දරුවකු වූ මම පිය සෙනෙහස වෙනුවෙන් හූල්ලමින් දිවි ගෙවමි. අම්මා තවමත් සියලු දුක් වේදනා තනිව ම විඳ ගනිමින් ළතවන්නී ය. මගේ තනිය මකමින් එක්ව සෙල්ලම් කරන්නට සහෝදරයකු ලබා දීමට නො හැකි වීමේ වේදනාව ද ඇය තුළ ඇත. අද අප අවතැන් වී අන්සතු දේශයක ‘සරණාගතයින්’ යන පහත් තත්ත්වයකට වැටී ජීවත්වීම ආදී සියල්ල ම මේ යුද්ධය නම් නපුරු රාක්‍ෂයා විසින් සිදුකරන ලද්දක් නොවේද? එතරම් ම කුරිරු වූ යුද්ධය නිමා වූ බැව් පවසා වසර 13ක් ගෙවී ගිය පසුවත් අපේ පවුලට යුද්ධයේ වේදනාවන් දරා ගනිමින් ජීවත් වීමට සිදු වී තිබෙන්නේ ඇයි?

සංහිඳියාවේ පළමු පියවර ලෙස මගේ පියා වැනි යුද්ධයේ නාමයෙන් සිර ගත කරන ලද දේශපාලන සිරකරුවන්හට මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස ලබා දී සදාකාලික විශ්වාසනීයත්වයක් ඇතිකරලීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි. එවන් යහපත් ක්‍රියා මාර්ග මගින් සිත් තුළ තිබෙන තුවාල සොයා සුවපත් කරමින් එක්ව ගමනක් යාමට හැකි වෙතියි විශ්වාස කරමි. මා විවාහ ජීවිතයට එළඹීමට පෙර පියාට තුරුල් ව අපරිමිත පීතෘ සෙනෙහස විඳිමින් ඔහුගේ මුව පිරිමැද සතුටු වීමේ භාග්‍යය උදා වන්නේ නම් මේ දියණියගේ ජීවිත කාලයට ම එය ප්‍රමාණවත් වනු ඇත.

බලාපොරොත්තුව නෙතු දල්වාගෙන සිටින මම,

කම්ෂා සදීෂ්කුමාර්