Last Updated on October 12, 2022 by Lankae Cast
ශ්‍රී ලංකා රජයේ කැමැත්තට එරෙහිව “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ ගෙන ආ අංක 51/1 දරන යෝජනාවට විමසන ලද ඡන්දය හමුවේ, පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම පරාජයට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකාවට එහිදී හිමිවූයේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය නියෝජනය කිරීම සඳහා කවුන්සිලයට තේරී පත් වූ රටවල් 47 න් 07ක සහාය පමණකි. මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ගෙන එන ලද 09 වැනි යෝජනාව වූ අතර, වත්මන් රජය මෙනම විවිධ රජයන් විසින් ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ, එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳ අපේක්ෂාවන් අඩු බව පෙනෙන්නට තිබේ. අන්තර්ජාතික සහ ජාතික මානව හිමිකම් සංවිධාන විසින් හෙළා දකිනු ලැබුවද, විරෝධතා ව්‍යාපාරයේ කොටස්කරුවන් වූවන් අත්අඩංගුවට ගැනීමට රජය දිගින් දිගටම කටයුතු කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙවර රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ලැයිස්තුව අන් කවරදාටත් වඩා විශාල ය. ඒවාට, පෙර යෝජනාවල ඇති සියලුම ඉටු නොවූ ඉල්ලීම් සහ තවත් නව යෝජනා ඇතුළත් වේ. ඒ අතරින් වඩාත් වැදගත් වන්නේ රට තුළ සිදුවන අපරාධ පිළිබඳ නිරීක්ෂණ ලැයිස්තුවට ‘ආර්ථික දූෂණය’ එක්වීමයි. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ලක්වන නව ක්ෂේත්‍රයක් බැවින් මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පවතින්නේ කනස්සල්ලකි. අතීතයේ මෙන්ම වර්තමානයේද, මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින තත්වයන් නිරීක්ෂණය කරන ජිනීවා පදනම් කරගත් සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ සැඟවුණු තර්ජනයක් ද නව යෝජනාවේ අන්තර්ගතව තිබේ. එහෙත් මේ වන විට හමුදා නිලධාරීන් අතළොස්සක් මත පනවා ඇති සංචාරක තහනම හැර, ඒ හා සම්බන්ධ දඬුවම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එමනිසාම, කිසිවක් වෙනස් නොවන බවට රජය තුළ තෘප්තිමත් විශ්වාසයක් ඇති බව දැකගත හැකිය.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිර්මාණය කරන ලද සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීමට රජය විශේෂයෙන් කටයුතු කර ඇත. කිසිදු ස්වෛරී රාජ්‍යයකට තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන බාහිර යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම පිළිගත නොහැකි බවට රජය තර්ක කළේය. ඒ වෙනුවට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පුළුල් ජාතික ආරක්‍ෂක නීතියක් සම්පාදනය කර ප්‍රතිස්ථාපනය කරන බවට යළිත් පොරොන්දුවක් ලබාදුන්නේය. විරෝධතා ව්‍යාපාරයේ නිරත විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් එම පනත යටතේ චෝදනාවකින් තොරව සිරගත කරමින්, සිය පොරොන්දුවට ගෞරව නොකරන බව රජය ප්‍රදර්ශනය් කර ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන බවට ප්‍රතිඥාවක් ද සමග මෙය පසුගිය අවස්ථාවෙහිද පොරොන්දු විය. අන්තවාදීන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ තමන් තෝරා ගන්නා වෙනත් පුද්ගලයන්, ‘සෝවියට් පන්නයේ’ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යැවීම සඳහා රජය දැන් නව නීතියක් සම්මත කිරීමට උත්සාහ කරන ආකාරය අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන් පිළිබඳ හැඟීමක් නොමැති බවයි.
ඉන්දියාවේ සහාය
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දීර්ඝ කාලීන ප්‍රතිචාර දැක්වීමක් ද රජය සැලසුම් කරයි. විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර ඇත්තේ රජය විනිසුරු නවාස් ප්‍රමුඛ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අපේක්ෂාවෙන් සිටින බවයි. යුද්ධයේ ප්‍රශ්න සහ සෑම පැත්තකින්ම සිදු වූ මහා පරිමාණ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අත ළඟ බව ඇමතිවරයා පෙන්වාදී ඇත. අතීතයේ ඇතිවූ තත්වයන් පිළිබඳ සත්‍ය සොයා ගැනීම සහ අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීම මෙන්ම, එක්ව නව අනාගතයක් සැලසුම් කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කෙරේ. කෙසේ වෙතත්, එවැනි යාන්ත්රණයක් ස්වාධීන ආයතනයක් විය හැකියැයි අපේක්ෂා කළ නොහැක. එය දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මෙන් සාර්ථක වීමට නම්, එය විශාල වෙනස්කම් සිදුකෙරෙන පද්ධතියක කොටසක් විය යුතුය.
අවාසනාවකට, මේ වන විට සාර්ථක සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා සහාය ලබාදෙන පරිසරයක් නිර්මාණය වෙමින් පවතින බවක් කිසිසේත්ම පෙනෙන්නට නැත. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තෘප්තිමත් කරන අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වීමට නම්,ඊට ජාතික සංහිඳියාවේ රාමුවට ඇතුලත්වන, යුද්ධයට තුඩු දුන් හේතූන් ප්‍රථමයෙන් විසඳන, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිත, තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ ප්‍රකාශ කරන ලද්දේ, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු ක්‍රියාත්මක කිරීමේ ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් දක්වා ඇති කැපවීම, අර්ථවත් බලය බෙදීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම පිළිබඳව ඉන්දියාව අවධානය යොමු කර ඇති බවයි. එනම්,”එම ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරමු” යන්නයි. “සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය හා සාමය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම එකම කාසියක දෙපැත්තක් බැවින්” මෙම අරමුණු ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් ලෙස කටයුතු කරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවේදී ඉන්දියාවේ සහාය ලබා ගැනීමට අපොහොසත් වීම විශාල විදේශ ප්‍රතිපත්තිමය පසුබෑමක් ලෙස හඳුනාගත හැකිය. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස ඕනෑම අන්තර්ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය ගෝලීය පිළිගැනීමට ලක්වේ. පසුගිය වසර තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ අඛණ්ඩව ලබා දෙන ආර්ථික ආධාර, වෙනත් ඕනෑම රටකට වඩා විශාල වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දුන් සියලුම රටවල දායකත්වය ඉන්දියාවේ ආධාර හමුවේ ඉතාම කුඩා බව දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති දේශපාලන උනන්දුව, ඉන්දියාවේම දෙමළ ජනගහණය පිලිබඳ සාධකය තුළ සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ඉන්දියාවේ විශාල සහයෝගයක් මිස, හුදෙක් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව කෙරෙහි පක්ෂග්‍රාහී ලෙස ලබානොදෙන බවට වන සන්දර්භය තුළ හඳුනාගත යුතුය. පෙට්‍රල්, ඩීසල් පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් කිලෝමීටර් ගණන්, දින ගණන් දිගු වන විටත්, එම මාර්ගවල මිනිසුන් මිය ගිය විටත්, ඩොලර් හිඟයේ උච්චතම අවස්ථාවේදී ඉන්දියාව එවූ පෙට්‍රල් සහ ඩීසල් නැව් තොග අමතක නොකළ යුතුය.
මූල හේතු
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා මාලාව, සාමකාමී සහ සාධාරණ ආකාරයකින් රටෙහි පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලන පරිදි වාර්ගික ගැටුම විසඳීමට, මෙරටට ඇති නොහැකියාවේ සෘජු ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ දශක තුනක යුද්ධයේ මූලාරම්භයට හේතුවූ තත්වය පැවතියේ සහ එය අඛණ්ඩව පවතින්නේ, බහු වාර්ගික හා බහු ආගමික රටක් පාලනය කරන්නේ කෙසේද යන දේශපාලන ගැටලුව තුළ ය. 1950 ගණන්වල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ කාලයේ සිට අද රනිල් වික්‍රමසිංහ දක්වා ඇති විසඳුම වී ඇත්තේ, ප්‍රාදේශීය වශයෙන් බහුතරයක් ලෙස රටේ සුළුතර වාර්ගික සහ ආගමික කොටස් සිටින ප්‍රදේශවලට ස්වයං පාලනයක්(පළාත් ආණ්ඩුකරණය) ලබා දීමයි. මෙය විශාල (ඉන්දියාව සහ නයිජීරියාව) හෝ කුඩා (මැලේසියාව සහ ස්විට්සර්ලන්තය) යන අනෙකුත් බහු වාර්ගික සහ බහු ආගමික රටවල භාවිත කෙරේ.
තම සාමූහික ජීවිතය විඳීමට කැමැත්තක් දක්වන බහුතර ජාතියක් (සිංහල) සිටිනා සේම, ඔවුන්ගේ සාමූහික ජීවිතයක් විඳීමට කැමැත්තෙන් පසුවන ප්‍රාදේශීය බහුතරයක් (දෙමළ සහ මුස්ලිම්) ද සිටින බව දේශපාලන විසඳුමකදී හඳුනා ගත යුතුය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින අවාසනාවන්ත යථාර්ථය නම්, මෙම තත්වය අවබෝධ කරගනිමින්, නායකත්වය සහ මග පෙන්වීම වෙනුවෙන් තමන් දෙස බලන ජනතාවකට එය පහදා දීමට සූදානම් ජාතික දේශපාලන නායකයන්ගේ හිඟකමයි. එවැනි නායකයන් කිහිප දෙනෙක් අතීතයේ සිට ඇති අතර ඔවුන්ගේ හඬ තවදුරටත් උස්ව ඇසෙන්නේ නැත. අතීතයේ ආර්.ඩී.බණ්ඩාරනේක, ජේ.ආර්.ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ යන අය හිටියහ. ඊළඟ තලයේ මහාචාර්ය තිස්ස විතාරණ, ඩී.ඊ.ඩබ්ලිව්. ගුණසේකර, වාසුදේව නානායක්කාර, මහාචාර්ය ජී.එල්.පීරිස් වැනි නායකයෝ හිටියහ. ඔවුන් අතුරින් වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින අය,තමන්ගේ හඬ උස්ව නැඟිය යුතුය.
ආණ්ඩුවේ නායකයන් සහ ජාතිවාදී කොටස් විසින් සුළුතර ජන කොටස් ජාතික ආරක්ෂාවට සහ රාජ්‍යට සතුරන් විය හැකි බවට විවිධ අදහස් පළකලද, අරගලයේ ස්වර්ණමය දිනවලදී එහි තරුණ නායකයන් අවධාරණය කරන ලද්දේ ජාතිවාදයට සහ ජාතිවාදී දේශපාලනයට තවදුරටත් රැවටීමට තමන් සුදානම් නැති බවයි. ඛේදජනක ලෙස, ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කළ අරගලයේ අරමුණ, තම වැඩවසම් හිමිකම රැක ගැනීමට සහ දූෂිත ලෙස උපයාගත් ධනයට ප්‍රවේශවීම සඳහා පසුගාමී ක්‍රියාමාර්ගවල යෙදෙන්නන් විසින් තලා දමා, යටපත් කර ඇත. නුදුරු අනාගතයේ දී, ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව ගෞරවාදරයට පාත්‍ර වූ මැදි ආදායම් රටක් බවට පත්වීමේ අපේක්ෂාවන් මතට අඳුරු සෙවනැලි වැටී තිබියදීත්, නරුමත්වය අභිබවා සිය අරමුණු ක්‍රියාත්මක වනු ඇතැයි යන බලාපොරොත්තුව, ක්‍රමය වෙනස් කිරීම සඳහා සටන් කරන පිරිසේ ලාංඡනය ලෙස පැවතිය යුතුය.
–ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය
More Stories
ලංකාවට රාජ්‍ය ව්‍යාපාර අකැපද?
අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!
ප්රජාතන්ත්රවාදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුවට උපදෙස් – ජෙහාන් පෙරේරා