Last Updated on April 21, 2021 by Desman Chathuranga
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා දැනටමත් කටයුතුකරගෙන යන බවත් ඒ කටයුතු වලට රජය කිසිවිටකත් බලපෑම් නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.
අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ මාලාව එල්ල වී දෙවසරක් පිරෙන මොහොත අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.04.21 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව.

ගරු කථානායකතුමනි,
අද අපි මීට වසර දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් 21 පාස්කු දිනයේ ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරුතම දිනයක දෙවන අනුස්මරණය ඉතා සංවේගයෙන් සමරනවා. එදා පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259 ක් මරුමුවට පත්කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදෙස් ආදරණීය ජනතාව අපි ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන්ට ස්වර්ගීය සැනසීමත්, අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එදා තුවාල වූ ආබාධිත වූ සිය ගණනක් ජනතාව අදත් ශාරීරිකව හා මානසිකව පීඩා විඳිනවා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එසේම මිය ගිය සහ ආබාධිත වූ තුවාල වූ සියළු දෙනාගේ පවුල් වල සාමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා.
ඒ වගේම පාස්කු කොමිසම මගින් හෙලිදරව් කරගත් තොරතුරු අනුව සකස් කල වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් ගරු නීතිපතිතුමා වෙත යොමුකර තිබෙනවා.
අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අප මැදිහත්වීමට කටයුතු නොකලත් එම ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට අප රජයක් හැටියට සූදානම් බව කියන්න කැමතියි.
එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විමර්ශණ කටයුතු මේ වන විට ඉතාම ස්වාධීනව සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් අතිගරු ජනාධිපතිතුමා විසින් සලසාදී තිබෙනවා. ඒ පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදි කටයුතු කරයි කියල අපට විශ්වාසයි.
පසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබදව කණගාටු වෙනවා. ඊට අමතරව ඒ මියගිය සියළු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයත් යලි කිසිදා ඇති නොවීමටත් අප රජයක් හැටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
ඒ වගේම මෙම කුරිරු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමතියි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?