counter hit xanga

Litro Gas ගැන කරන චෝදනා බොරුලු!

Last Updated on June 19, 2022 by Desman Chathuranga

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ   2022- 2023  වසර සඳහා 280,000MT ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීමේ නෞකා  ගාස්තු ටෙන්ඩරය සම්බන්ධව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වල පලවන තොරතුරු අසත්‍ය බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. එම නිවේදනයේ දැක්වෙන්නේ…

අදාළ වර්ෂය සඳහා LP Gas ප්‍රවාහන නෞකා ගාස්තු ටෙන්ඩරය, ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් යටතේ (ICB) 2022 /01/09  කැඳවන ලද අතර 2022/ 03 /16 මිල ගණන් කැඳවීම අවසන් කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.   

එම මිල ගණන් කැඳවීම සඳහා පහත සඳහන් සැපයුම්කරුවන් අදාල මිල ගණන් ඉදිරිපත් කළ බව  ලිට්රෝ සමාගම දන්වා සිටි.

                1. Siam trading  ගෑස් මෙට්‍රික් ටොන්  එකක් සඳහා නෞකා ගාස්තුව 

                    ඇමරිකානු ඩොලර් 96 වශයෙන් ද ( $ 96 per Mt )

                2.  O Q   trading  ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව 

                    ඇමරිකානු ඩොලර් 129 වශයෙන් ද ( $ 129 per Mt )

                3. BB Energy ( Asia ) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව 

                    ඇමරිකානු ඩොලර් 148 වශයෙන් ද ( $ 148 per Mt )

කැබිනෙට්ටුව විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් ( SCAPC) Siam trading  අදාළ වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කරන ලදී. 

නමුත් ගිවිසුම් ප්‍රකාරව Siam Gas ආයතනය  සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලබාදිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය (  $ 30M -SBLC) ලබාදීමට ශ්‍රී ලාංකික රජයට නොහැකි තත්වයක් පැවතුනි.

එම තත්වය විසඳා ගැනීම සඳහා කල් ගැනීමට අවශ්‍ය නිසාත් ඒ වන විට ශ්‍රී ලංකාව තුල ගෑස් තොග දින කිහිපයකට අඩු වී තිබූ නිසාත් කෙටි කාලීන විසඳුමක් වශයෙන් Spot Cargo මිලදී ගැනීමට මිල ගනන් ,මෙම Siam Gas සමාගමෙන් හා පෙර සැපයුමකරු හා දෙවන මිල දැක්වූ Tender කරු වන OQ සමාගමෙන් ද මිල කැඳවන ලදී.

2020/ 05/30 දින ලිපියක් මගින්  Siam Gas ආයතනය වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට සැපයිය හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 6600 ප්‍රමාණයක් බවත් එය සැපයිය හැක්කේ නෞකා  ගාස්තු $112 කට බවත් සඳහන් කර ඇති අතර එම ප්‍රමාණය දින 5 දෛනික අවශ්‍යතා සඳහා සෑහෙන නමුත් ,වර්තමාන අධික ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටී.  

ඉහත මිල කැඳවීමේදී දෙවෙනි අඩු මිල ගණන් සැපයූ   OQ   Trading  සමාගමට මාස හතරක ශ්‍රී ලාංකීය ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් 100,000 ප්‍රමාණයක් නෞකා  ගාස්තු $129 කට සපුරාලිය හැකි  බව දැනුම් දී ඇත.

ඉහත කරුණු සලකා බලා, වර්තමාන ගෑස් හිඟය සහ පෝලිං  නවතා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කිරීමට 2022 /06/ 08  අමාත්‍ය මණ්ඩලයේ මගින් තාවකාලික සැපයුම සඳහා OQ Trading සමාගම සමග ගිවිසුම් ගත වෙන ලෙසටත්, ශ්‍රී ලංකා රජයට වර්තමානයේදී ඇති මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියා කර හැකි ගිවිසුමකට එළඹීම සඳහා, Siam Gas කොන්ත්‍රාත්තුව අවසන් කොට නව ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කර සිටී.

OQ Trading හා Siam Gas අතර නැව් ගාස්තුවල පරතරය  ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 වේ. අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බව ලිට්රෝ සමාගම පවසයි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම