counter hit xanga
August 12, 2022

මාස 6න් රට ගොඩදාන්න අනුර සුදානම්! යාපනයේදි කිව්ව කතාව මෙන්න!

Last Updated on June 27, 2022 by Panduka Herath

ඔබ අපව හඳුන්වන්නේ දකුණේ දේශපාලන පක්ෂයක් ලෙස නම්, ඔබ දකුණෙන් තෝරාගත යුතු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව එම පක්ෂයේ නායක අනුර දිසානායක පවසයි.

යාපනය ඥානම් හෝටලයේ පැවැති ජාතික ජන බලවේගයෙ යාපනයේ දිස්ත්‍රික් සමුළුව අමතමින් අනුර දිසානායක සදහන් “කළේ දශක ගණනාවක් තිස්සේ මේ පාලක කණ්ඩායම් අපිව බෙදුවා. එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන්න පුරුදු කළා.” යනුවෙනි.

“අපිට අගමැති ධුරය ලබාදී අපිට කැමති කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්න දෙනවා නම්, මාස හයක් හතක් තුළ මේ තත්වය යහපත් තැනකට ගෙනැත් මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පිහිටුවා ස්ථීරවම මේ අර්බුදයෙන් ගොඩ ආ හැකියි. “

ජීවිතයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින මොහොතක අපිත් එක්ක කතාබහ කරන්න පැමිණි ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. කාලයක් මුළුල්ලේ යාපනයේ ජනතාවට නායකත්වය දුන් දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. තමිල් අරසුකච්චි පක්ෂයේ – මාවෙයි සේනාධිරාජා, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලෝට් සංවිධානයේ – සිද්ධාර්ථන්, උතුරු පළාත් සභාවේ සභාපති ධුරය දරන – සිවඥානම් ඇතුළු යාපනයේ දිස්ත්‍රික්කයේ ජන නායකයන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. අපේ මාතෘ භූමිය මුහුණ දී සිටින අසීරුතම තත්වයෙන් අපි කවුරුත් පීඩාවට පත්වෙලා ඉන්නේ. අපේ රටටත් අපේ ආර්ථිකයටත් මේ තත්වය ඇති වුණේ ස්වභාවික ව්‍යසනයකින් නොවෙයි. අපේ රට පාලනය කළ සියලු දෙනාගේ ආර්ථික ප්‍රතිපත්තියත්, වංචාව, දූෂණය, නාස්තිය පිරුණු දේශපාලන සංස්කෘතියක් විසින් මේ තත්වය ඇති කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න බැහැ. තව මාස කිහිපයක් තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල විශාල හිඟයක් ඇතිවෙන බවට එක්සත් ජාතික සංවිධානය අනතුරු හඟවා තිබෙනවා.

“ටෙන් පර්සන්ට්”

රටේ වී අස්වැන්න කඩා වැටී පිටි ආනයනයට සීමාවන් පැනවී තිබෙනවා. අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් නැතිවී තිබෙනවා. මේ නිසා විශාල ආහාර හිඟයක් ඇති වී තිබෙනවා. මේ නිසා අපේ දරුවන් අපේ ඇස් ඉදිරිපිට කුසගින්නේ මියයාමේ අනතුරක් පවතිනවා. තෙල් ආනයනය මේ වන විට මුළුමනින්ම නතර වී තිබෙනවා. පසුගිය 23 වැනිදා ලංකාවට පැමිණිය යුතුව තිබුණු ඉන්ධන නැව 26 වනදා වන විටත් පැමිණ තිබුණේ නැහැ. ඒ නැව ක්‍රිෂ්ණපට්ටම් වරායට ගිහින් තිබෙනවා. මෙවැනි තත්වයක් නිසා මුළු රටම නතර වීමේ අභියස අපි ඉන්නේ. ඇමෙරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුව අපේ රටෙන් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. ජූලි 18 වැනිදාට මේ බැඳුම්කර ණය ආපසු ගෙවන්න ඕනෑ. නමුත් විදේශ ණය නොගෙවන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව ඇමරිකන් රිසව් බැංකුව ඒ රටේ නඩු පවරා තිබෙනවා. රාජපක්ෂ පවුල මහජනයාගේ ධනය විශාල ප්‍රමාණයක් සොරකම් කළ බව ඒ පැමිණිල්ලේදී ඔවුන් සඳහන් කර තිබෙනවා. එයින් විශාල ප්‍රමාණයක් ෂීසෙල්ස් වැනි රටවල සඟවා ඇති බවත්, බැසිල් රාජපක්ෂ “ටෙන් පර්සන්ට්” යනුවෙන් හඳුන්වන බවත් දක්වා තිබෙනවා.

මේ නඩුව ගැන සමහර ආර්ථික විශේෂඥයන් අර්ථ දක්වන්නේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ එල්ල කළා හා සමාන බවයි. මුළු රටම, මුළු ආර්ථිකයම කඩා වට්ටා අපේ දරුවන්ගේ අනාගතය විනාශ කර, තරුණයන් අපේක්ෂාභංගත්වයට පත්කර තිබෙනවා. ගොවි ජනතාවටත්, කෘෂිකර්මාන්තයේ නියැළීමටත්, ධීවර ජනතාවටත් යාමටත් නොහැකි තත්වයක් ඇතිකර තිබෙනවා. රාජ්‍ය ආයතන මුළුමනින්ම වසා දමා පාසල් වසා දැමීමට වරින් වර තීරණ ගන්නවා. මේ රට වෙනස් කරන්න වුවමනා නැද්ද? මේ පාලකයන් වන්දි ගෙවන්න ඕන නැද්ද? ගං වතුරක්, සුළි කුණාටුවක් වැනි ස්වභාවික ව්‍යසනයක් නොවෙයි මේක. අපේ රටේ පාලක කණ්ඩායම් විසින් සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් මේ තත්වයට ඇද දමා තිබෙනවා. උතර – දකුණ – නැගෙනහිර – බටහිර භේදයකින් තොරව අපි හැමෝටම අද සටනක් තිබෙනවා. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ හැමදෙනාම එක්ව සටනක් දියත් කරන්න ඕනෑ. අන්න ඒ පණිවිඩය අරගෙනයි අපි ඔබ හමුවෙන්න ආවේ.

අපේ පක්ෂය පිළිබඳවත්, අපේ සමහර ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔබට යම් අපහැදිලිකම් තිබෙන බව අපි පිළිගන්නවා. සමහර අවස්ථාවලදී ගත් සමහර දේශපාලන තීන්දු තීරණ ඔබ, අප කෙරෙහි සැකයක් ඇතිකොට තිබෙන බව අපි පිළිගන්නවා. විශේෂයෙන්ම යුද්ධය වෙලාවේදී වමේ ව්‍යාපාරයක් ලෙස ව්‍යසනයට පත්වන සාමාන්‍ය ජනතාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා. එසේ නොවීම ගැන අපට කම්පනයක් තිබෙනවා. කොළඹ ලොජ්වල සිටි ජනතාව බස්වල පටවා වවුනියාවෙන් මේ පැත්තට ගේන්න ගෝඨාභය රාජපක්ෂ තීන්දු කළ අවස්ථාව ගැන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාට මතක ඇති. ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේදී අපි සියලුම අභියෝගයන්ට මුහුණ දෙමින් මැදිහත් වූ ආකාරය ඔබට මතක ඇති. බෝම්බ පුපුරමින්, ගිනි අවිවට මුහුණ දෙමින් අම්මලා, දරුවන් ඇතුළු රටේ පුරවැසියන් මිය යනවා නම්, දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් මානවවාදී මිනිසෙක් ලෙසත් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා. ඒ ගැන අපට කම්පනයක් තිබෙනවා. අපේ වැරදීම් සහ අතපසු වීම් ගැන ඔබ ඉදිරියේ කියන්නේ අපි එකතු වීමකින් තොරව මේ ව්‍යසනයෙන් අපේ රටත් දරුවනුත් බේරාගත නොහැකි වන නිසයි. ඒ නිසා අපි අතර අලුත් සාකච්ඡාවක් ආරම්භ කරමු. අපේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් අපි එය කළ යුතුව තිබෙනවා.

අපි බෙදෙන එකට සතුරා කැමතියි

අවුරුදු 30ක යුද්ධයේදී දකුණට එහි බිය තිබුණා. බෝම්බ පිපිරීම් ගණන් කළ හැකි ප්‍රමාණයක් තිබුණා. නමුත් උතුරේ උතුරේ අවුරුදු 30 පුරාම යුද්ධයක් තිබුණේ. හමුදාව විසින් දියත්කර තිබුණු යුද්ධය, ඉන්දීය හමුදාව ඇති කළ යුද්ධය වගේම දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර ඇති වුණු ගැටුම් පැවතුණා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්මයාත්, සිද්ධාර්ථන් මහත්මයාත් මා මේ කියන දේ ගැන එකඟ වෙනවා ඇති. මේ උතුරේ මහ පොළොව දෙමළ තරුණයන්ගේ, දෙමළ පුරවැසියන්ගේ ලේවලින් තෙත් වුණා. අම්මලා තාත්තලාගේ ඇස්වල කඳුළු ගංඟාවක් පිරෙන තරමට ගලා ගියා. අපේ දේශපාලන ඉතිහාසයේ අවස්ථා දෙකකදී සන්නද්ධමය මැදිහත්වීමකට යන්න සිද්ධ වුණා. දකුණේ විශාල ජීවිත ප්‍රමාණයක් ඒ තුළින් අපට අහිමි වුණා. අපිට ඉතිරි වී තිබෙන ශේෂ පත්‍රය මොකක්ද? යුද්ධය හේතු කොටගෙන හමුදාවලට බැඳුණු බොහෝ සොල්දාදුවන් පිරිසක් මිය ගියා. ආබාධිත බවට පත්වුණා. ඉතිරි වී තිබෙන ශේෂ පත්‍රය මොකක්ද කියලා අපි සෑමදෙනාම නැවත හිතමු. අපට තිබෙන්නේ දෙමළාට එරෙහිව සිංහලයාගේ අරගලයක්ද? සිංහලයාට එරෙහිව දෙමළ අරගලයක්ද? නැහැ. අපිට එහෙම අරගලයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාගෙත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය විනාශ කරන කණ්ඩායමට එරෙහිව එක්සත් අරගලයක් අපට තිබෙනවා. අපි කාගේත් සතුරා මේ අරගලයට බයයි. අපි බෙදෙන එකට සතුරා කැමතියි. අපි එකිනෙකා කෙරෙහි සැකයෙන්, අවිශ්වාසයෙන් බලන එකට සතුරා කැමතියි.

දශක ගණනාවක් තිස්සේ මේ පාලක කණ්ඩායම් අපිව බෙදුවා. එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන්න පුරුදු කළා. අවිශ්වාසයෙන් බලන තත්වයක් ඇති කළා. එකිනෙකා අතර ගැටුම් ඇති වුණා. එයින් මහා ව්‍යසනයක් ඇති වුණා. අපි කළ යුත්තේ බෙදීමද? වෙන්වීමද? ඈත්වීමද? නැහැ. අපි එකතු වෙන්න ඕනෑ. අපි මේ ආරම්භ කර තිබෙන ව්‍යායාමය ඒ සඳහායි. යුද්ධයේදී උතුරට-නැගෙනහිරට විනාශයක් සිදුවුණා. අම්මලා, තාත්තලා අදත් තමන්ගේත් දරුවන්ගේත් ඡායාරූප ඔසවාගෙන අරගල කරනවා. තමන්ගේ දරුවන් ගෙදරට එයිද කියලා තාමත් බලාගෙන ඉන්නවා. 2009 යුද්ධය අවසන් වෙලා අවුරුදු 13ක් ගතවී තිබෙනවා. තමන්ගේ දරුවා ඉන්නවාද නැද්ද කියලා අම්මලා තාම දන්නේ නැහැ. සමහර විට ඡායාරූපය බදාගෙන මිය යන්නත් පුළුවන්. ඒ අම්මලාට සාධාරණයක් ඉෂ්ට කරන්න වුවමනා නැද්ද? සාධාරණයක් ඉටු කළ යුතුයි. මාගේ සොහොයුරත් අතුරුදහන් වූ කෙනෙක්. අපේ අම්මාත් සහෝදරයා එයිද කියලා මොනතරම් බලාගෙන ඉන්නවාද? හීනෙන් පේනවා කියලා කීවා. සාස්තරකරුවන්, දේවාල පසුපස ගියා. අතුරුදහන් වීම, මිය යාමට වඩා අතිශය වේදනාකාරියි.

සත්‍යය සෙවීමේ කොමිෂන් සභාවක්

අපි ඕනෑම කෙනෙක් මිය යනවා. අපි හැමදෙනාම තමන්ගේ සංස්කෘතිය සහ ආගමික වතාවත් අනුව කෙටි කාලයක් ඇතුළත මිය යාමේ වේදනාව සමනය කර ගන්නවා. සිංහල ජනතාව හත්දවසේ දානය, මාස තුනේ දානය දීමෙන් පිං අනුමෝදන් කර සිත සනසා ගන්නවා. දෙමළ පුරවැසියන් වන ඔබ, දින අටේ දානය, දින තිස්එකේ දානය දීමෙන් සිත සනසා ගන්නවා. නමුත් අතුරුදහන් වූවන්ගේ අම්මලා ඔවුන් මියගියා කියා සිත සනසා ගන්න සූදානම් නැහැ. අම්මලා එහෙම තමයි. ඒ නිසා සිදු කළ යුත්තේ සත්‍යය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමයි. යුද්ධය අවසන් කළේ මැයි මාසයේ 19දා. මැයි මාසයේ 27 වැනිදා අපි ආණ්ඩුවට යෝජනා 14ක් ඉදිරිපත් කළා. එහි ප්‍රධාන යෝජනාවක් වූයේ සත්‍යය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමයි. නමුත් අපේ රටේ ජාතිවාදී දේශපාලනය ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. එය සිංහල ජාතියට එරෙහි වීමක්, රට පාවාදීමක් ලෙස සැලකුවා. නමුත් අපි කළ යුතු වන්නේ සත්‍යය සෙවීමයි. එය කිරීමේ වගකීම අපි භාරගන්නවා.

ඊළඟට ඉඩම් පිළිබඳ ප්‍රශ්නය බරපතළයි. බටහිර රටවල්වලට ඉඩමක් කියන්නේ දේපළක් විතරයි. අපේ රටේ ජනතාවට ඉඩම කියන්නේ දේපළක් විතරක් නොවෙයි. එහි ලේ නෑකමක්, බැඳීමක් තිබෙනවා. අපි බෙල්ලේ තිබෙන චේන් එක, බයිසිකලය, උකස් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් ඉඩම උකස් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අද උතුරේ බොහෝ අය යුරෝපා රටවල ජීවත් වෙනවා. නැවත මේ රටට එන එකකුත් නැහැ. එහෙත් ඉඩම බලාගන්නවා. ඒ තමයි ඥාතිත්වය. මේ වගේ බැඳීමක් තිබෙන පුරවැසියන්ගේ ඉඩම් ඔවුන්ට ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් තිබෙන සාධාරණ ඉල්ලීම ඉටුකළ යුතුයි. තව පැත්තකින් ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අපේ රටේ ආර්ථිකයට, දේශපාලනයට ඉන්දියාව අමතක කර යන්න බැරිවේවි. ඉන්දියාව විශාල රාජ්‍යයක්. එහෙත් අපේ රටේ පුරවැසියන්ට අපේ මුහුදේ මාළු ඇල්ලීමේ අයිතිය තහවුරු කර දෙන ක්ෂණික විසඳුම් අපට අවශ්‍යයි.

අපේ රට දිගුකාලීනව ගොඩගන්න සැලැස්මක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් තිබෙනවා. පළමුවෙන්ම පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. අද අපේ රටේ දේශපාලනය කියන්නේ මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් සොරකම් කරන, නාස්ති කරන ව්‍යාපාරයක්. මම ආව පූනරින් පාර හදලා අවුරුදු අටක් ඇති. අද මොකක්ද වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ පාරකට අවුරුදු විස්සකවත් ගැරන්ටියක් තියෙන්න ඕනෑ. හැබැයි අද ඒ පාර විනාශ වෙලා තිබෙන්නේ ඒ වෙනුවෙන් වෙන් කළ සල්ලි දේශපාලකයන්ගේ සාක්කුවට ගිය නිසා. විශාල සංවර්ධන ව්‍යාපෘති අපේ රටේ ඇති කළා. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල්, නැව් එන්නේ නැති වරායවල්, රැස්වීම් නැති සම්මන්ත්‍රණ ශාලා, මිනිස්සු ගමන් නොකරන විශාල පාරවල් ඉදිකර තිබෙනවා. ඒ මොකක් වෙනුවෙන්ද? ඒ තමයි ඔවුන්ගේ කොමිස් මුදල් ලබාගන්නා පාර. හොරකම් කිරීමේ මාවත. අද අපි මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ප්‍රධානම සාධකය වංචාව, දූෂණය සහ නාස්තියයි. අපේ රට හදන්න නම් වංචාවෙන්, නාස්තියෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍යයි. අපි ගොඩනඟන්නේ එවැනි පාලනයක් බවට ඔබට සහතිකයක් දෙනවා. අපි මහජනයාගේ ධනය සතයක් වත් සොරකම් කර නැහැ. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 22ක් ඉන්නවා. මහජනයාගේ ධනය ශතයක් වත් නාස්ති කර නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ එවැනි දේශපාලන ව්‍යාපාරයක්. මහජනයාගේ ධනය හොරකම් කරලා එක්රැස් කරලා තිබෙන අයගෙන් නැවත පවරාගත යුතුයි. අපේ රටේ ජනාධිපතිට මූල්‍ය වංචා නඩු තිබුණා. අපේ රටේ අගමැති යාළුවත් එක්ක එකතු වෙලා මහ බැංකුව කොල්ලකෑවා. මහාමාර්ග ඇමති මාර්ගවලින් ගහන කෙනා. ඉන්ධන ඇමති ඉන්ධනවලින් ගහන කෙනා. හොරාකන වළල්ලක් තිබෙනවා. ඒ අයට දඬුවම් දෙන්න ඕනෑ. හොරකම් කළ දේපළ පවරා ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. ඒ මුදල් යළිත් පවරා ගන්නා බවට අපි ඔබ ඉදිරියේ සහතික වෙනවා. මේ රට ගොඩනඟන්න එවැනි ක්‍රියාමාර්ග අවශ්‍යයි.

දෙවනුව අපේ රටට අලුත් ආර්ථික මාවතක් අවශ්‍යයි. මේ අර්බුදයෙන් අපිව ගොඩගන්න ඉන්දියාව එයි කියලා බොහෝ අය කල්පනා කරනවා. ජපානයෙන් ඇවිත් බේරා ගනියි කියලා තව සමහර අය කල්පනා කරනවා. රුසියාවෙන් එයි කියලා තව අය කල්පනා කරනවා. තව පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇවිත් බේරාගනියි කියලා හිතනවා. නෑ එහෙම එන්නේ නැහැ. අයි.එම්.එෆ්. එක බේරා ගනී කියලා ගිය ගොඩක් රටවල්වල තිබුණාටත් වඩා ව්‍යසනය වැඩි වුණා. ජාත්‍යන්තර ආයතනවලින්, රටවල්වලින්, සහයෝගය ගන්න ඕනෑ තමයි. නමුත් ගොඩ ආ හැක්කේ අපි කොයිතරම් ඒ වෙනුවෙන් සූදානම්ද කියන සාධකය මත විතරයි. ඔබගේ ගෙදර විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙන අවස්ථාවක අල්ලපු ගෙදරින් දෙයි කියලා ඔබ හිතනවා නම් ඔවුන් වේල් දෙකක් දේවි. ඉන්දියාවෙන් තෙල් නැව් ටිකක් දෙනවා වගේ. කඩා වැටුණු ගෙදර ගොඩගැනීමේ වුවමනාව තිබිය යුත්තේ ගෙදර අයටයි. මේ රට ගොඩනැගීමේ ප්‍රමුඛම අවශ්‍යතාවය රටේ ජනතාවත්, දේශපාලකයාත්, රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත්, ගොවියා, ධීවරයා, තරුණයා වශයෙන් අපි ඔක්කෝම රට ගොඩනැගීමට මහන්සි වීම අත්‍යවශ්‍යයි.

අපිට අගමැති ධුරය මාස 6කට දෙන්න ….

සමහර අය සිතුවා රනිල් වික්‍රමසිංහ ඇවිත් බේරා ගනියි කියලා. මේ අර්බුදය හැදුවේ රනිල් වික්‍රමසිංහ. තව සමහර අය ලංකාවේ ලොකුම කෝටිපතියා ඇවිත් බේරාගනියි කියලා හිතනවා. ධම්මික පෙරේරා එයාගේ සල්ලි වියදම් කරන්න එන්නේ නැහැ. අපේ රට බේරාගත හැක්කේ රටේ සම්පත්, හැකියාවන්, සිංහල ඩයස්පෝරාව, දෙමළ ඩයස්පෝරාව කියන හැමෝම සාමූහිකව අත්වැල් බැඳ ගැනීමෙන්. එහෙම නැතිව කවර හෝ රටක් ඇවිත් අලියාගේ වල්ගේ එල්ලිලා දිවිය ලෝකේ ගියා වගේ බේරාගන්නේ නැහැ. ආණ්ඩුව අසාර්ථක නිසා රට ගොඩනඟන්න අපට බාරදෙන්න කියලා අපි ආණ්ඩුවට දැනුම් දුන්නා. අපිට අගමැති ධුරය ලබාදී අපිට කැමති කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්න දෙනවා නම්, මාස හයක් හතක් තුළ මේ තත්වය යහපත් තැනකට ගෙනැත් මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පිහිටුවා ස්ථීරවම මේ අර්බුදයෙන් ගොඩ ආ හැකියි. මා දන්නා විදිහට සිද්ධාර්ථන් මැතිතුමා විශාල ඉඩම් හිමියෙක්. ඔහු ඒ ඉඩම් ජනතාවට බෙදලා දුන්නා. හැබැයි අපේ රටේ දේශපාලනය වී තිබෙන්නේ ඉඩම් අත්පත් කර ගැනීම, එක ගෙයක් තිබෙන අයට තව තවත් ගෙවල් අත්පත් කර ගැනීම වගේ දේවල්. නමුත් සිද්ධාර්ථන් මැතිතුමා තමන්ගෙ පරම්පරාවෙන් ලැබුණු ඉඩම්, ඉඩම් නැති අයට බෙදලා දුන්නා. අන්න එහෙම මිනිසුන්ට විතරයි මේ රට හදන්න පුළුවන්. අපි ඒ වැඩේ කරමු.

තුන්වැනි කරුණ සිංහල, දෙමළ, මුස්ලිම් අපි අතර සමගිය ගොඩනැගෙන්න ඕනෑ. අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රධාන ජන කණ්ඩායම් ජීවත් වෙන රටක්. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික ආගම් අදහන ඔවුන්ටම ආවේණික සංස්කෘතියක් තිබෙන රටක්. ඉතිහාසයේ ඔවුන් ආවේ දකුණු ඉන්දියාවෙන්, උතුරු ඉන්දියාවෙන් නැත්නම් මලබාරයෙන් වෙන්න පුළුවන්. නමුත් අද මේ රටේ ඉපදී ආර්ථිකයට හවුල් වී මේ මහපොළොවේ වැළලෙනවා. ඒ නිසා මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම රටක් හැටියට පිළිගන්න ඕනෑ. ඒ හැම පුරවැසියාටම සමානාත්මතාවය තිබෙන, දෙවැනි පුරවැසියන් ලෙස නොහැඟෙන තත්වයක් ඇති කරන්න ඕනෑ. දවසක් සම්බන්ධන් මහත්මයාත් මගේ අත අල්ලාගෙන “අනුර, මම කැමතියි ලෝකෙටම ඇහෙන්න මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කෑ ගහලා කියන්න.” කියලා කීවා. හැබැයි මම ලංකාවේ දෙවැනි පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න කැමති නෑ කියලත් කීවා. ඔහු ලාංකේය පුරවැසියෙක් නම් ලංකාවේ දෙවැනි පුරවැසියෙක් වෙන්නේ ඇයි? ඒක සාධාරණ නැහැ. වතුකරයේ දෙමළ ජනතාවට “ඉන්දියානු දෙමළ” කියලා කියනවා. ඉන්දියාවට ගියාම “ශ්‍රී ලංකන් දෙමළ” කියලා කියනවා. එහෙම වෙන්නේ කොහොමද? සාධාරණද?

මුස්ලිම් ජනතාව ගැන බොහොම අය අරාබියට සම්බන්ධ කරනවා. නමුත් ඔවුන් අරාබියට ගියාම ඒ රටවල්වල දෙවැනි පංතියේ පුරවැසියන්. ඔවුන් අරාබීන් ලෙස පිළිගන්නේ නැහැ. එහෙම නම් ඔවුන් කවර රටක පුරවැසියන්ද? මේ රටේ පුරවැසියන්. ඒ නිසා මේ සෑම කෙනෙකුටම තමන්ගේ රටේ සාධාරණ, සමානාත්මතාවයෙන් යුතු අයිතිවාසිකම් සහිත පිළිගැනීමක් සහ වටිනාකම් ලබාදිය යුතුයි. පසුගිය කාලයේ දකුණේ විශාල ජාතිවාදී රැල්ලක් ආවා. ජාතිය, ආගම බේරා ගන්න ගෝඨාභයලා ගේන්න ඕනෑ කියලා විශාල රැල්ලක් ආවා. මුස්ලිම් ජනතාවට විරුද්ධව විශාල රැල්ලක් ආවා. ඒ වෙලාවේ අපි ජාතිවාදයට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටියා.

“ඔබ අපව හඳුන්වන්නේ දකුණේ ව්‍යාපාරයක් ලෙස නම්, දකුණේ දේශපාලන පක්ෂයක් ලෙස නම්, ඔබ දකුණෙන් තෝරාගත යුතු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව මම කියනවා. ජාතිවාදය වැපිරූ, ගැටුම් නිර්මාණය කළ, යුද්ධ ඇති කළ, ඔවුන් ඔබේ දේශපාලන ව්‍යාපාරය නෙමෙයි. ඔබත් එක්ක සහෝදරත්වයෙන් එකට හිටගෙන ඉදිරියට යන්න රටක් හදනවා නම්, එය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ පමණයි. අපි සියලු ජාතිවාදය, ආගම්වාදය, ප්‍රතික්ෂේප කරනවා. අපි කුමන ආගම අදහන්නත් කලින්, කුමන භාෂාව කරන්නත් කලින්, අපි කුමන සංස්කෘතියක ජීවත් වෙන්න කලින් අපි මිනිස්සු බව මතක තියාගන්න ඕනෑ. අන්න එවැනි රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕනෑ.”

ඒ සඳහා භාෂාවේ සාධාරණ අයිතිය තිබිය යුතුයි. සිංහල, දෙමළ, ප්‍රධාන භාෂාවන් දෙකක් අපේ රටේ තිබෙනවා. මේ භාෂාවන් දෙකෙන්ම කටයුතු කිරීමේ අයිතිය තිබිය යුතුයි. පොලිසියට ගිහින් දෙමළ භාෂාවෙන් පැමිණිල්ලක් කිරීමේ අයිතිය තිබිය යුතුයි. නමුත් සිදුවී තිබෙන්නේ පැමිණිල්ල සිංහලෙන් ලියා ගැනීමයි. අවසානයේ “කියවා බලා, තේරුම් ගතිමි” කියලා අත්සන් කරනවා. නමුත් කියවන්න තේරෙන්නෙත් නැහැ. ලියන්න තේරෙන්නෙත් නැහැ. මේ තත්වය සාධාරණ නැහැ. ඔබ දෙමළ භාෂාවෙන් ලිපියක් යැව්වොත් දෙමළ භාෂාවෙන් පිළිතුරක් ලැබීමේ අයිතියක් තිබිය යුතුයි. බොහෝ විට මොන භාෂාවකින්වත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ පාසල් දසදහස් එකසිය පනස් පහක් තිබෙනවා. මේ පාසල් අතරින් හතළිස් දෙකක විතරයි සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම උගන්වන්නේ. දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම උගන්වන්නේ පාසල් තිස්තුනක විතරයි. මුළු පාසල් දසදහස් එකසිය පනස්පහකින් භාෂා ඉගැන්වීමේ පරතරය අවම කර තිබෙන්නේ 0.07යි. අපේ අධ්‍යාපනයේම බෙදලා තිබෙන්නේ. එකතු කරලා උගන්වන්නේ නැහැ. මම පාසල් යන සමයේ ක්‍රිස්තියානි දරුවෝ දෙන්නයි පංතියෙ හිටියේ. බුද්ධාගම උගන්වන්න එනකොට අර දෙන්නා පංතියෙන් එළියට යනවා. මේ බෙදීම මොකක්ද?

හැම සංස්කෘතියකටම ගරු කරන, යහපත් සමාජයක් අපි ගොඩනඟන්න ඕනෑ

සෑම ආගමකම මූලික පදනම හැමෝටම ඉගැන්වීමේ වරද මොකක්ද? අපි අදහන ආගම, කතා කරන භාෂාව සමාජ පරිසරයක් විසින් සංස්කෘතියක් වශයෙන් ඇතුල් කරනවා. මම බෞද්ධ නම් හොඳ, නරක කියලා දෙන්නේ ජාතක කතාවලින්. මගේ පන්සලේ ලොකුම උත්සවය පොසොන් උත්සවයයි. ඒ තමයි මගේ සංස්කෘතිය. ක්‍රිස්තියානි දරුවෙකුට හොඳ, නරක කියලා දෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙන්. නැතිනම් බයිබලයෙන්. ඔහුට ලොකුම උත්සවය වෙන්නේ පල්ලියේ මංගල්‍යයයි. ඒක ඔවුන්ගේ සංස්කෘතියයි. හින්දු දරුවෙකුට හොඳ, නරක උගන්වන්නේ භගවත් ගීතාවලියෙන්. ලොකුම උත්සවය කෝවිලේ වේල් උත්සවයයි. ඔවුන්ගේ ඒ සංස්කෘතිය අපි ඉගෙන ගැනීමේ වරද මොකක්ද? එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතා පිළිගනිමින් එකිනෙකාගේ සංස්කෘතියට ගරු කරමින් ඉදිරියට සමාජයක් අපි නිර්මාණය කරන්න ඕනෑ.

සංස්කෘතිය කියන්නේ අනිකා දිහා සැකයෙන් බලන, වෙන්වෙලා ඉන්න දෙයක් නොවෙයි. හැම සංස්කෘතියකටම ගරු කරන, යහපත් සමාජයක් අපි ගොඩනඟන්න ඕනෑ. ඒ සඳහා ආගමේ අයිතිය, භාෂාවේ අයිතිය සම ලෙස දේශපාලනයට අවතීර්ණ වීමේ අයිතිය, රාජ්‍ය පාලනයට ඇතුල්වීමේ සම අයිතිය, තහවුරු කළ යුතුයි. එවැනි නව ප්‍රවේශයක් අපේ රටට අවශ්‍යයි. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා. දකුණේ මගේ පංතියේ යාළුවෝ හමුදාවට, පොලිසියට බැඳිලා යුද්ධයට ගිහින් මිය ගියා. උතුරේ මගේ පරම්පරාව නියෝජනය කරන සොහොයුරන් විශාල ප්‍රමාණයක් මිය ගියා. විශාල ප්‍රමාණයක් උතුරෙත්, දකුණෙත් අපේ පරම්පරාවේ අය මිය ගියා. මා අහන්නේ එක දෙයයි. අපේ දරුවන්ගේ පරම්පරාවත් යුද්ධ කර ගන්න ඕනෑද? අපි ගහගත්තා, යුද්ධකර ගත්තා මදිද? අපේ දරුවන්ගේ පරම්පරාව කිසිම පන්නයේ ගැටුමකට, යුද්ධයකට අවතීර්ණ වීමට ඉඩ නොදීම අපේ පරම්පරාවේ වගකීමක්. අපි විශේෂයෙන්ම යුද්ධයන් ඇතුළේ ජීවත් වුණු, අත්දැකීම් ලබපු මිනිස්සු. අපේ යහළුවන්, ඥාතීන් අපේ ඇස් ඉදිරිපිට මිය යනවා දැක්කා. තවදුරටත් එවැන්නක් ඕනෑද? එවැනි ව්‍යසනයක් අපේ අනාගත පරම්පරාවට කිසිසේත්ම ඕනෑ නැහැ. මේ රට පාලනය කරන්නේ මෙවැනි කණ්ඩායමක් නම්, අනිවාර්යයෙන් නැවත නැවත මේ ගැටුම් නිර්මාණය කරන බව ඔබ මතක තබාගන්න.

මේ රටේ 2009ට කලින් තිබුණු උතුරේ යුද්ධයෙන් පස්සේ යුද්ධයක් ඇති නොවෙන බව අපි කවුරුත් හිතුවා. නමුත් මේ පාලකයන්ට යුද්ධයක් නැතිව බැහැ. නැවත බලය ලබාගන්න සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කළා. පාස්කු ප්‍රහාරය කුමක්ද කියලා අපි කවුරුත් විශාල සැකයකින් ඉන්නවා. එය සැලසුම් සහගත ප්‍රහාරයක් බව, බලය ලබාගැනීමේ වුවමනාවෙන් කළ ප්‍රහාරයක් බව ඕනෑ තරම් කියැවෙනවා; ලියැවෙනවා. මොවුන් තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් ඝාතන කළ හැකි කණ්ඩායම්. බලය ලබා ගැනීම වෙනුවෙන් සාෆි කියන වෛද්‍යවරයාට කළ හිංසාවන් මතකද? මා ඒ වෙලාවෙත් ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. අපි මුස්ලිම් ජාතිවාදීන්ගේ පස්සේ යන බවට ඒ වෙලාවෙත් මට ප්‍රහාර එල්ල කළා. අද ඔප්පු වී තිබෙන සත්‍යය කුමක්ද? වෛද්‍ය සාෆිට ලක්ෂ විසිහයක වන්දි ගෙවන්නත් නැවත සේවයේ පිහිටුවන්නත් සිදුවී තිබෙනවා. නමුත් ඒ වෙලාවෙත් සමාජය දෙපළු වුණේ නැතිද? මුස්ලිම් ජනතාව කෙරෙහි සිංහල ජනතාව සැකයෙන් බැලුවේ නැත්ද? කුරුණෑගල පාසල් ගිය සාෆිගේ දරුවෝ දෙන්නාට පාසල් අත්හැර යන්න සිද්ධ වුණා. තනි මිනිහෙක් මේ වගේ ව්‍යසනයකට මුහුණ දිය යුතුද? බලය ලබාගැනීම වෙනුවෙන් මේ පක්ෂ දෙක ඕනෑම මොහොතක, කවර වර්ගයක හෝ ජාතිවාදය උපයෝගී කර ගන්නවා.

ආර්ථිකය ගොඩනැඟුවා කියලා, නීතිය හැදුවා කියලා හොරකම් නතර කළා කියලා සංවර්ධිත රටක් හැදුවා කියලා ඔවුන්ට ඡන්දය ඉල්ලන්න පුළුවන්ද? මේ සියල්ලම ඔවුන් විනාශ කළා. අන්තිමට ජාතිය බේරා ගන්න ඡන්දය ඉල්ලනවා. ආගම බේරා ගන්න ඡන්දය ඉල්ලනවා. දෙමළ මිනිසාට විරුද්ධව, මුස්ලිම් මිනිසාට විරුද්ධව ඡන්දය දෙන්න කියලා අන්තිමට ඉල්ලනවා. මෙතෙක් සිටි පාලක කණ්ඩායම් දෙකම විටින් විට තමන්ගේ බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය වැපිරුවා. යුද්ධ ඉබේ ඇති වුණු ඒවා නොවෙයි. 1978දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව දකුණේ ජනතාවත්, උතුරේ ජනතාවත් කළු කොඩි දැම්මා. දකුණටත් උතුරටත් විරුද්ධව මර්දනය ගෙනාවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන් ඉදිරිපත් කළ සංවර්ධන සභා ඡන්දය පවත්වන්න 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. මා අපේ රටෙත්, ලෝකයේත් පුස්තකාලවලට ගිහින් තිබෙනවා. නමුත් ඇතුල් වන විට සෙරෙප්පු සපත්තු ගලවලා ඇතුල් වන එකම පුස්තකාලය යාපනය පුස්තකාලයයි. තමන්ගේ දේවස්ථානවලටත් වඩා වැඩියෙන් යාපනය පුස්තකාලයට ගරු කරනවා. එතැනට ගිනි තිබ්බා. කුමක් වෙනුවෙන්ද? සංවර්ධන සභා ඡන්දය දිනන්න.

ඒ වගේම 1983 කළු ජූලිය නිර්මාණය කර, දේශපාලන පක්ෂ තහනම් කළා. ඒ තුළින් උතුරේ තරුණයන් තුළ දකුණේ ආණ්ඩු උතුරේ අය ගැන නොසලකන බවට දෙමළ තරුණයන් තුළ විශ්වාසයක් ඇති කළා. දකුණේ ආණ්ඩු සැලසුම් කරලා පුස්තකාල ගිනි තියනවා නම්, කළු ජූලි නිර්මාණය කරනවා නම්, හෙට්ටිවීදියේ ගිනි තියනවා නම්, මා ඉගෙන ගත් කැලණි විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිටි සපත්තු මහන්නෙකු ඇවිලෙන ටයර් සෑයට දාලා මරලා දමනවා නම්, ඒ තරුණයන් තුළ ඇතිවෙන ආවේගය කුමක්ද? තමන්ට රටක් නැති බවත්, මේ පාලකයන් කෙරෙහි විශ්වාසයක් නැති බවත්, මේ පාලකයන් තමන්ව මර්දනය කරන බවත්, ඊට එරෙහිව සන්නද්ධ වීමේ විශ්වාසයක් දෙමළ තරුණයන් තුළ ඇති කළා. නැවත මෙවැනි දෙයක් සිද්ධ නොවෙන්න නම්, ජාතිවාදී දේශපාලනය පරාජය කරන්න ඕනෑ. ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන සොල්දාදුවන් නිර්මාණය කළ ගර්භාෂය මොකක්ද? ජාතිවාදයයි. නැවත නැවතත් මා කියන්නේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතු බවයි. අපේ දරුවන්ට සහෝදරත්වයෙන් සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතුයි. ජාතික ජන බලවේගයේ අරමුණ ඒකයි.

අපේ මව්බිම ජාත්‍යන්තර හිඟන රටක්

උතුර කේන්ද්‍රගත කර ගත් දේශපාලන ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. ඔවුන් වෙනදාට වැඩිය උතුරේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදි දකුණේ පොදුවේ මුළු රටේමත් ප්‍රශ්න ගැන දෙමළ ජාතික සන්ධානය අද කතා කරනවා. මා ඒ ගැන විශාල වශයෙන් සතුටට පත්වෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ලෙස නොවෙයි, ජන ප්‍රජාවන් ලෙස නොවෙයි, ජාතික දේශපාලනයට අපි හැමදෙනාම ප්‍රවේශ වෙන්න ඕනෑ. ඔබට අපි ගැනත් අපිට ඔබ ගැනත් සැකයක් තිබෙන්න පුළුවන්. මා වේදිකාවේ පැයක් කතා කළ පමණින් ඒ විශ්වාසය ගොඩනැගෙන්නේ නැති බව අපි දන්නවා. එහෙත් අපිට මේ අවස්ථාව ඉතාමත් හොඳ ප්‍රවේශයක් වේවි. රටත් අපේ ජනතාවත් මුහුණ දී සිටින විනාශයෙන් ගොඩ ඒම සඳහා එකට බැඳුණු එකට වෙළුණු දේශපාලන ගමනක් තිබෙනවා. උතුරේත්, දකුණේත් කොඩිය ඔසවන්න හැකි වෙන්නේ එවැනි දේශපාලන ගමනකින් පමණයි. අපි දකුණේ වෙනම කොඩියක් ඔසවන්න ගියත්, ඔබ උතුරේ වෙනම කොඩියක් ගැන ප්‍රාර්ථනා කරමින් හිටියත්, එවැනි කිසිම කොඩියක වටිනාකමක් නැති වී තිබෙනවා. අපේ මව්බිම ජාත්‍යන්තර හිඟන රටක් බවට පත්කර තිබෙනවා. ආඩම්බරය, ප්‍රෞඪත්වය මොකක්ද? අපිට ඉතිරිවී තිබෙන්නේ මොනවාද? යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ සමුළුව පවත්වා අපේ සහෝදර සහෝදරියන් ඔබට හඳුන්වා දෙනු ලැබුවා. ඔවුන් විශාල වගකීමක් බාරගෙන තිබෙනවා.

මේ රටේම ජාතික සමගියේ කොඩිය, එක්සත්භාවයේ කොඩිය, ආර්ථික සමෘද්ධියේ කොඩිය අපේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසනීයත්වයේ කොඩිය එසවීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ විශාල සහයෝගයක්, දායකත්වයක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් එකතු වෙමු, ඉදිරියට එමු, අපට තිබෙන්නේ ඒ මාවත පමණයි. අපි හැමදෙනාම ඒ මාවත සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.