counter hit xanga
March 28, 2023

සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

Last Updated on October 20, 2022 by Lankae Cast

ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා අස්වීමට ද හේතු වූ, මාස හතරක ජනතා විරෝධතා අත්විඳි, ලෝකයේම අවධානය ලබාගත් ශ්‍රී ලංකාව, ඉන් මාස තුනකට පසුව, අවම වශයෙන් එහි බාහිර පෙනුමින් කැපී පෙනෙන ලෙස සාමකාමී සහ ස්ථාවර භාවයට පත්ව ඇත. එවැනි සුබවාදී යෙදුමක් සුදුසු නම්, මෙම පරිවර්තනයේ ගෞරවය හිමිවිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි. ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය හිස ඔසවන කාලයේ රජයේ ඉහළ තනතුරු දැරූ පුද්ගලයන්ට, ජනාධිපතිවරයාට කළගුණ සැලකීමට හේතුවක් තිබේ. ආර්ථිකය කඩාවැටුණු විට, එක රැයකින් තම ආදායමෙන් හා ඉතුරුම්වලින් අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමි වූ මිනිසුන්ගේ උදහසට ලක් වේ යැයි බියෙන් ඔවුහු මාස ගණනක් තම සැඟවුණු ස්ථානවලින් පිටතට පැමිණීමට බිය වූහ. ආණ්‌ඩුවේ ඇමැතිවරුන් ලෙස ඔවුන් යළිත් අසුන්ගෙන සිටින අතර, තවමත් ඔවුන් අපේක්ෂාවෙන් බලා සිටින අය නොඉවසිලිමත්භාවයක් ප්‍රදර්ශනය කරමින් සිටිති.

මීට මාස තුනකට පෙර පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ඉහලම දේශපාලන තනතුරට පත්වන විට රට තුළ පැවැතියේ අවුල් සහගත තත්ත්වයකි. රට පුරාම ‘ක්‍රම වෙනසක්’ ඉල්ලා සිටින ජනතවගෙන් මාර්ග සහ පොදු ස්ථාන පිරී ගොස් තිබූ අතර, බලයේ සිටි දේශපාලකයන් වෙනුවට කවුරුන් ආදේශ කළ යුතුද යන්න නොකීවත්, ඔවුන්ට අවශ්‍ය වූයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුළු පාර්ලිමේන්තුවම ඉවත් කිරීමයි. විරෝධතා ව්‍යාපාරයේ ඊළඟ ඉලක්කය පාර්ලිමේන්තුව වූ අතර, ඒ වන විට ජනාධිපති සහ අගමැති කාර්යාල සහ එම නිල නිවාස සියල්ල ඉදිරිපිට වාඩිලා තිබිණි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිටියේ ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කරමිනි. විරෝධතාවයේ උච්චතම අවස්ථාවේදී ඉල්ලා අස්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ ප්‍රථම ජන රැළියේදී නව ජනාධිපතිවරයාට ප්‍රශංසා කළ යුතුව තිබුණේ මන්දැයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ සිදුව ඇති නාටකාකාර පෙරළිය මගින් පැහැදිලි කළ හැකිය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා තේරී පත්වී, විරෝධතාකරුවන් විසින් ඇති කරන ලද ව්‍යාකූලත්වය හමුදාව වෙත පනවන ලද නියෝග හරහා පාලනය කිරීමත් කිරීමත් සමඟ තත්ත්වය ක්ෂණිකව වෙනස් විය. පොලිසිය සහ ආරක්ෂක අංශ බැටන් පොලු සහ මාංචු සමඟ විරෝධතාකරුවන්ට නීතිය අකුරට තදින්ම ක්‍රියාත්මක කර ඇත. දේශීය සහ අන්තර්ජාතික මානව හිමිකම් කණ්ඩායම් විසින් හෙළා දකින සහ කනස්සල්ල පළ කරන ප්‍රකාශයන් නොතකා, ආරක්ෂක අංශවල අත් අඩංගුවට ගැනීම් සහ ප්‍රචණ්ඩත්වය අද දක්වාම අඛණ්ඩව පවතින්නේ, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ පෙන්වාදීම් වලින් පවා, එම ක්‍රියාත්මකවීම් වලට එතරම් බලපෑමක් ඇති නොවන බව ප්‍රදර්ශනය කරමිනි. විරෝධතාවක් පැවැත්වූ එක් ස්ථානයකට තම දරුවා රැගෙන ආ විරෝධතාවයේ නිරත මවකට පොලිසිය විසින් පහරදීමත්, විරෝධතාකරුවන් දරුවන් මිනිස් පලිහක් ලෙස යොදා ගත් බවට ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රකාශකයින් සාධාරණීකරණය කිරීමත් අනුව මේ වන විට ජයග්‍රහණය ලබා ඇත්තේ කවුරුන්ද යන්න පෙන්නුම් කරයි.

මර්දනය සාධාරණීකරණය කිරීම

ජනාධිපති වික්‍රමසිංහ යටතේ ආණ්ඩු බලය නැවත තහවුරු කර ගැනීමේ යටිපෙළේ පවතින ප්‍රධාන සාධක දෙකකි. පළමුවැන්න නම්, රටේ පාලනයේ කේන්ද්‍රීය රාජ්‍ය ගොඩනැගිලිවල භෞතික පාලනය අත්පත් කර ගැනීමේදී විරෝධතා ව්‍යාපාරය අනවශ්‍ය කාලයක් ඒවා සිය භාරයේ තබාගත් බවට රට තුළ පුළුල් අදහසක් පැවතීමයි. මෙම ගොඩනැඟිලි ශ්‍රී ලංකා බලයේ බලකොටු වන අතර, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ධවල මන්දිරය හෝ බකිංහැම් මාලිගය යන බල මධ්‍යස්ථානවලට සමානව පරිශුද්ධ විය යුතුය. නිදසුනක් වශයෙන්, අරලියගහ මන්දිරයට ගෞරවනීය ඉතිහාසයක් ඇති අතර, එය නිදහසේ සිට ශ්‍රී ලංකාවේ අගමැතිවරුන්ගේ වාසස්ථානය විය. විරෝධතාකරුවන් පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය ජනාධිපති මන්දිරය මුලින් හැඳින්වූයේ යටත් විජිත යුගයේ ආණ්ඩුකාරවරුන් වාසය කළ රැජිනගේ මන්දිරය ලෙසිනි. ඇතැම් විරෝධතාකරුවන්, යුද්ධයේදී සිදුකළ බව සැලකෙන කැපකිරීම් නිසා සම්ප්‍රදායිකව යම් ගෞරවයක් ලබාදී ඇති ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට අකාරුණික ලෙස කතා කරන දර්ශන ද බොහෝ දෙනෙකුට, අවශ්‍ය ප්‍රමාණයට වඩා දැකගත හැකි විය. ප්‍රශ්නය පැන නැගුණේ මෙම නායකයකු නොමැති සහ පාලනයෙන් තොර විරෝධතා ව්‍යාපාරය නතර වන්නේ කොතැනින්ද යන්න පිළිබඳවය.

දෙවන හේතුව නම්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පූර්වගාමියාට මෙන් නොව, පෞද්ගලිකව අන්තර්ජාතික අප්‍රසාදයක් සහ අන්තර්ජාතික අපරාධ ලෙස සැළකිය හැකි මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික උසාවිවලට පැමිණවීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට හේතු අඩු වීමයි. අගමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ කාලය තුළ, ජනාධිපතිවරයා සෑම විටම සාමය සහ සංහිඳියා ක්‍රියාවලීන් සඳහා කැපවීමක් පෙන්නුම් කළේය. 2001-04 අගමැති ධුර කාලය තුළ ඔහු නෝර්වීජියානු පහසුකම් යටතේ සටන් විරාමයට සහ එල්ටීටීඊය සමඟ සාකච්ඡා ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම සහභාගී විය. 2015-19 අගමැතිවරයා ලෙස ඔහුගේ අවසන් කාලය තුළ, ඔහු සම-අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට, අනුමැතිය ලබා දුන් අතර, එය ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් රටට තවදුරටත් අවාසිදායක ලෙස ප්‍රතික්ෂේප කෙරිණි.

ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහළම ත්‍යාගය ලබාගත් දින සිට, ගත වූ මාස හතරක කාලය තුළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේශපාලනිකව මෙන්ම ආර්ථික වශයෙන්ද රට ස්ථාවර කිරීමට උත්සාහ කළේය. විරෝධතා ව්‍යාපාරයේ නායකයන් අත්අඩංගුවට ගැනීම සහ මහජන විරෝධතා බිඳ දැමීමට ආරක්ෂක අංශ යොදා ගනිමින් ඔහු එම ව්‍යාපාරය දේශපාලනිකව උදාසීන කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතා ව්‍යාපාරයේ ස්වභාවය, එය රට පුරා පුද්ගලයන් දස දහස් ගණනක් බලමුලු ගන්වන ලද දිනවල සිට ක්‍රමානුකුලව හැකිලී ඇත. මේ වන විට මහජන විරෝධතාවයේ නියැලීමේ අවදානම ගැනීමට සූදානම්ව සිටින්නේ දේශපාලන පක්ෂ සාමාජිකයන්, විශ්වවිද්‍යාල සිසුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මූලික කණ්ඩායම පමණකි. තාර්කික ඥාණය ඇති ඕනෑම අයෙක් දැන් පොලිසියට නීති විරෝධී යැයි සිතිය හැකි විරෝධතාවයකට ගොස්, විරෝධතාකරුවකුවී අත්අඩංගුවට පත්වීමට පෙර දෙවරක් සිතනු ඇත.

ප්‍රභූ විසංයෝජනය

ආර්ථිකය ස්ථාවර කිරීම, මර්දනය හරහා දේශපාලනය ස්ථාවර කිරීමට වඩා දුෂ්කර බව ඔප්පු වෙමින් තිබේ. මේ වන විට රජයේ අවධානය යොමු වී ඇත්තේ අධික උද්ධමනය, වක්‍ර බදු අය කිරීම සහ සහනාධාර කප්පාදු කිරීම මගින් ජනතාවගෙන් ඉවතට සම්පත් හරවා යැවීමටයි. රජරට වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ සහනාධාරය ලබාගැනීම දුෂ්කර වී ඇති අතර, මඩකලපුවේ පරිවර්තකයන් සඳහා සහනාධාර වැඩසටහනක් ලෙස ලබාදෙන භාෂා පුහුණුව ඉවත් කර ඇත. කොළඹ නගරයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා ළමයි පාසල් හැර යමින් සිටිති. එවැනි ආර්ථික ස්ථායීකරණ ක්‍රම වඩාත් දැඩි ලෙස බලපානු ලබන්නේ තවදුරටත් විරෝධතා දැක්විය නොහැකි සහ නිහඬව ආපසු හැරීමට නොහැකි ලෙස බලය අහිමි වූ ජනතාවටය. ක්ෂණිකව නොපෙනෙන නමුත් මිනිස්සු දුක් වේදනා විඳිමින් සිටිති.

ආර්ථිකය පුනර්ජීවනය කිරීමට තවමත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ කණ්ඩායමට අවස්ථාවක් ලබා දීමට කැමැත්තෙන් සිටින ඉහළ ආදායම් මට්ටම්වල සිටින  කණ්ඩායම් රැස්කර ගැනීම සඳහා සිය දැල පුළුල් කරන ලෙස අන්තර්ජාතික මුල්‍ය අරමුදල වෙතින් රජයට දැන් බලපෑම් එල්ල වී ඇති බව පෙනේ. ඔවුන් විශාල වශයෙන්, විරෝධතා ව්‍යාපාරයට එරෙහි ආණ්ඩුවේ මර්දනයට සහයෝගය දක්වා ඇත. කෙසේ වෙතත්, රජය ඔවුන්ගෙන් සියයට 36 දක්වා සෘජු බදු අය කිරීමට සැලසුම් කර ඇති බවට මෑතකදී කරන ලද නිවේදනය, මෙම සමහර ව්‍යාපාරික සහ වෘත්තීය කණ්ඩායම්වල දැඩි විරෝධතාවලට හේතු වී තිබේ. උත්ප්‍රාසයට කරුණ නම් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ඉහළම ස්ථරය මත සියයට 36 ක සෘජු බදු අනුපාතයක් අයකිරීම අසාමාන්‍ය දෙයක් නොවීමයි. නව බදු ප්‍රතිපත්තියට විරුද්ධ වන්නන්ගේ කෝපය සහ එම කෝපයේ පදනම වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීමේ මූල හේතුව ජනාධිපතිවරයා සහ රජය විසින් ආමන්ත්‍රණය නොකිරනවාය යන හැඟීමයි. මෙහිදී පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කරන, අවංකව ජීවිකාව සකසා ගන්නා පුද්ගලයන්ට බදු ගෙවීමට යෝජනා කර ඇත.

විශේෂයෙන්ම, කුතුහලය දනවන කරුණ නම්, ආර්ථික කඩාවැටීම සිදු වූ අවස්ථාවේ බලයේ සිටි සහ ඊට මූලික වශයෙන් වගකිව යුතු අය, නැවතත් රජයේ කටයුතුවල සුක්කානම වෙත පැමිණීමයි. ඔවුන් එදා පාරදෘශ්‍ය නොවූ අතර, අදද විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැත. ඔවුන් අවසන් වරට ඉවත්ව ගිය තැනින් ගමන නැවත ආරම්භ කිරීමට අධිෂ්ඨාන කර ගැනීම හැර, ඔවුන්ගේ පාර්ශ්වයෙන් පසුතැවිල්ලේ කිසිදු පැහැදිලි සලකුණක් පෙන්වා නොමැත. යෝධ නව යටිතල පහසුකම් ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක අතර, ඒවා වෙනුවෙන් ඉල්ලුම් නොකළ ලංසු පවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව සොයාබලමින් පවතින බව වාර්තා වේ. ජනතාව, එනම් දුප්පතුන් මෙන්ම වෘත්තීය සහ ව්‍යාපාරික පන්තීන් වෙතින් කැපකිරීම් කළ යුතු යැයි ඉල්ලා සිටීමට පෙර, ආණ්ඩුවේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය යළි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළ මෙම සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය ලැබෙන්නේ මැතිවරණ හරහා මිස විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන නිහඬ කිරීමෙන් නොවේ.

ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය