counter hit xanga

අත්අඩංගුවට ගැනීම් දිගටම, ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, SPA,Nightclub, වසා දැමේ …

Last Updated on April 24, 2021 by Desman Chathuranga

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩිම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේන අතර මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළා.

කොවිඞ් 19 තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (24 ) සිට 2021 මැයි මස 31 වැනිදා දක්වා පොදු ක‍්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කරුණු 48කින් යුත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

එම රෙගුලාසි වලට අනුව අත්‍යවශ්‍ය සේවා හා අවසර ලබා දී ඇති ක‍්‍රියාකාරකම්වල නිරත වන්නන් හැර නිවසකින් පිටවීමට අවසර ඇති පුද්ගලයින් ගණන දෙදෙනෙකුට සීමා කර තිබේ.

සම්මන්ත‍්‍රණ වැඩමුළු හා රැස්වීම් පැවැත්විය හැක්කේ අදාළ ශාලාවේ ආසන ධාරිතාව සියයට 50ක් භාවිත කරමින් උපරිම පුද්ගලයින් 50ක් පමණක් වන අතර සුපිරි වෙළෙඳසල්වලට සහ සාප්පු සංකීර්ණවලට ඇතුළු විය හැක්කේ එක් එක් පුද්ගලයා අතර වර්ග මීටර් 1.5ක ඉඩ පරතරයක් ඇති පදනම මත ගණනය කරන ඉඩ ප‍්‍රමාණයෙන් සියයට 50කට සීමාවන පිරිසක් පමණි.

මිට අමතරව ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක වසා දැමේන අතර කැසිනෝ, රාත‍්‍රී සමාජශාලා ද වසා දැමේ. ස්පා SPA මධ්‍යස්ථානද වසා දැමිමට නියෝග කර තිබේ.

අනෙකුත් පොදු මහජනයා ගැවසේන ස්ථාන ධාරිතාවෙන් 50% ක් දක්වා පුද්ගලයින් ඇතුළත් කර ගැනිමට අවකාශ ලැබෙන අතර සිනමා ශාලා ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ශාලාවේ පේ‍්‍රක්ෂකයින් සඳහා ලබා දිය හැකි ඉඩ ප‍්‍රමාණයෙන් 25% සම්පූර්ණ වන ලෙස ක‍්‍රියාත්මක විය හැක.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන ලබා දී ඇති උපදෙස් අනුව සාමූහික ක‍්‍රියාකාරකම් හෝ රැස්වීම් (අවසර ලත් මංගල උත්සව හැර). ඕනෑම වේලාවක පරිශ‍්‍රය තුළ සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව උපරිම ඉඩ ප‍්‍රමාණයෙන් 50% කට සීමා කළ යුතු අතරම උපරිම බැතිමතුන් ගණන 50 කට සීමා විය යුතු ය.

අවමංගල්‍ය උත්සව (කොවිඞ්-19 ආසාදනය හා සම්බන්ධ නොවූ මෘතදේහ) සඳහා ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකුට සහභාගි විය හැක. පැමිණෙන පුද්ගලයින් ප‍්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීම කළ යුතු ය.