counter hit xanga
October 26, 2021

නැව ගිලුනත් බෑන් චූන්

Last Updated on June 5, 2021 by Panduka Herath

අද රටේ ඇත්තේ නැව ගිලුනත් බෑන් චූන් දේශපාලනයක්. ගිනිගත් නැව ගැන වග කිව යුත්තේ කවු ද? ඒ නැවට එන්න දුන්නේ ආණ්ඩුව ද? නැවට එන්න දීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ ද? නැව ගිනි ගත්තේ කෙසේ ද? ගිනි ගැනීම ආරම්භ වුණේ ලංකාවේ මුහුදු සීමාවේ ද? නැත්නම් ඒ සීමාවට පැමිණීමට පෙර ද? අද පරිසර විනාශය ගැන හැමෝ ම වගේ කතා කරනවා. ඒ සියල්ලට වග කියන්න ඕන ආණ්ඩුව ද? ගෝඨාභය ද? මා අහගෙන හිටියා ගෝඨාභය රාජපක්‍ෂ කියනවා විශේෂඥයන් ආණ්ඩුවට කියන්න ඕන කියල නැව ඇද ගෙන යනව ද (ගිලෙන්න කලින් සිදුවීමක්) එහෙම නැත්නම් මොකක්ද කරන්නෙ කියන එක. ආණ්ඩුව කරන ලොකුම වරද තමයි මෙරට විශේෂඥයන් ඉන්නව කියා හිතීම. ඒ කොහොම වුනත් කාදිනල්තුමාත් සටනට බැහැල. කාදිනල්තුමා දැන් කලක සිට දේශපාලනයක නිරත වෙලා ඉන්නෙ. නැව ගිලුන එක ගැන ආණ්ඩුවට පහර දීල චූන් වීම තමයි නැව ගිලුනත් බෑන් චූන් කියල කියන්නෙ.

ඒ අතර කාබනික පොහොර කතාවක් ඇවිල්ල. මේ කතා පිටුපස තියෙන්නෙ 2024 ජනාධිපතිවරණය. අපේ රටට අද වෙන විට ගේන ශාඛ සත්ව විශේෂ ගැන පරීක්‍ෂාවක් කෙරෙන්නෙ නැහැ. එක්සත් ජනපදවලට ඕස්ත්‍රේලියාවට ශාඛ වර්ග නෙවෙයි අපේ දේශීය ප්‍රතිකාරයක්වත් ගෙනි යන්න ඉස්සෙල්ල පරීක්‍ෂණ රාශියකට ඉදිරිපත් කරන්න ඕන. ඒ පරීක්‍ෂණත් බටහිර විද්‍යා පරීක්‍ෂණ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. කාබනික පොහොර ගෙන්නන්න ඉස්සෙල්ල බටහිර ක්‍රමයට හරි පරීක්‍ෂා කරනවා නම් හොඳයි. ඒත් මේ අද කාබනික පොහොර ගැන කෑ ගහන අය රසායනික පොහොර ගැන එතරම් දෙයක් කළේ නැහැ. ගුණදාස අමරසේකර නම් රජරට වකුගඩු රෝගය සුදු ද කළු ද කියලවත් නොදැන චන්න ජයසුමනගෙ පොතට පෙරවදනක් ලිවුව. සමහරදාට ගුණදාස අමරසේකර, ගුනදාස අමරසේකර කියලත් අත්සන් කරනවා. න ණ භේදය සලකන්නෙ නැතිව ඇති.

ඒත් මට දැන ගන්න ඕන ඔය කාබනික පොහොර ගෙන්නන්න යනවද කියල. ජනමාධ්‍යයෙ සඳහන් වෙන්නෙ ජනමාධ්‍යවේදීන් අහුල ගන්න දැනුම් කෑලි. කාබනික පොහොර හා ජීව පොහොර අතර වෙනසක් තියෙනවා. හෙළ ගොවිකමේ අනාදිමත් කාලයක ඉඳල ජීව පොහොර යොදා ගන්නෙ. වෙනත් රටවලත් එවැනි දේ යොදා ගන්නවා. උදාහරණයක් ලෙස ඩෙල්ටා රටෙත් (ඉන්දියාවෙ) ජීව පොහොර යොදා ගන්නවා.

මේ සියල්ල ගැන විස්තරාත්මක ව ලියන්න ඕන. ඒත් මේ කොවිඩ්, නැව, සංචරණ සීමා සහ තවත් එවැනි දේ ගැන ආණ්ඩුවට බැන වදිමින් චූන් වෙන අතර බටහිර ලෝකයත් චූන් දේශපාලනයක යෙදිල. අපටත් ඒ ගැන එතරම් දෙයක් ලියන්න වෙන්නෙ නැහැ. සංචරණ නීති ගැන කල්පනා කරන විට හිතෙනවා මේ රටේ මෙතරම් අත්‍යවශ්‍ය සේවා තියෙනවා ද කියල. මා හිතන් හිටියෙ අවශ්‍ය සේවා ටිකක් පමණයි තියෙන්නෙ. අත්‍යවශ්‍ය සේවා කියන්නෙ ජලය විදුලිය සැපයීම, කුණු කසල සුද්ද කිරීම වගේ දේ. කලකට පෙර නගරවල වැසිකිළි සුද්ද පවිත්‍ර කරන්න පිරිසක් හිටිය. ඒ අය නම් කළෙ අත්‍යවශ්‍ය ම සේවයක්. ඒත් ඔවුන්ට බයිසිකලයක්වත් තිබුණෙ නැහැ. තිබුණ නම් අර පොලීසියේ පාට පාට රවුම් කෑලි (ස්ටිකර්) අලව ගන්න අවස්ථාව ලැබෙනවා.

බටහිර ලෝකය අපට විරුද්ධ ව වැඩ කරන්නෙ ඇල්ෆා රටේ (එංගලන්තයෙ) වුවමනාවට. තවම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජනපදවලට කැනඩාවට ග්‍රීක අකුරු දීල නැහැ. අපි එක්සත් ජනපදවලට (ඇමරිකාවට) ගැමා රට කියමු. ලෝක සෞඛ්‍ය සංවිධානයට ගැමා අමතක වෙලා කෙලින් ම ඩෙල්ටා අකුරට ගිහින්. ඩෙල්ටා ළඟට තියෙන්නෙ එප්සිලොන් නැත්නම් එප්සයිලොන්. ඒක කියන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඊළඟ අකුරට ගිහින් කැනඩාවට සීටා කියමු. ග්‍රීක අකුරු විසිහතර ඉවර වුණාට පස්සෙ ඕන නම් ඇල්ෆා ඇල්ෆා රට ආදී වශයෙන් කියන්න පුළුවන්. ගැමා හා සීටා රටවල් අපට විරුද්ධව යෝජනා සම්මත කර ගෙන .

ගැමා සම්මත කර ගත් යෝජනාව අනුව උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ නිජභූමිි. ඒ පළාත් දෙක ඒකාබද්ධ කරන්න ඕනලු. ඒ පළාත් ඓතිහාසික ව පීඩනයට පත් කෙරුණු ප්‍රදේශ කියලත් කියනවා. ගැමා යෝජනාවට අනුව කොටි සංවිධානය දෙමළ නිදහස් සංවිධානයක්. ඒ කොටි සංවිධානය තවමත් ගැමා රටේ තහනම් සංවිධානයක් ලෙස නම් කෙරී තිබිය දී. මේ අතර සීටා රටේ ප්‍රධාන ප්‍රාන්තයක් යෝජනාවක් සම්මත කර ගෙන ලංකාවේ දෙමළ ජනයා සමුලඝාතනය කළ බව කියමින්.

අපේ ඉංගිරිසියෙන් ලියන අය ද ඇතුළත් ව ඇතැම් ජාතිකවාදීන්ට අනුව මේ රටවල්, ඇල්ෆා රට ද ඇතුළුව, මෙවැනි යෝජනා සම්මත කර ගන්නේ දෙමළ විසුරුණු ජනයාගේ බලපෑම මත. මේ තරම් පට්ටපල් බොරුවක් බටහිර භෞතික විිද්‍යාවෙවත් නැහැ. ඔය වියුක්ත බලපෑමක් ගැන කියන්නෙ. ගැමා රටේ දෙමළ විසිරුණු ජනයාට කළ හැකි බලපෑම කුමක් ද? මේ දෙමළ විසිරුණු ජනතාවගේ බලපෑමක් ඇතැයි කියන කතාව ඒ රටවල ඉන්න සිංහලයන්ට කරන නිග්‍රහයක්. මෙයින් කියන්නේ ඇල්ෆා, ගැමා. සීටා රටවල ඉන්න සිිංහලයන් වැඩකට නැති පිරිසක් බවයි. ඒ සිංහලයන්ට අදාළ ආණ්ඩුවලට බලපෑමක් කිරීමට නොහැකි බවයි. ඒ සිංහලයන් තම රට වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් නොවන බවයි.

ඒ රටවල සිංහලයන් රට වෙනුවෙන් හා ජාතිය වෙනුවෙන් වැඩ කරනවා. ඔවුන් හොඳින් කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් අදාළ රටවල් නෑසු කණින් ඉන්නවා. ඔය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන මුසා බව ඒ රටවල් නෙදන්නවා නො වෙයි. ඇල්ෆා රටේ නේස්බි සාමිවරයා පසුගිය දා සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතාවක් කරමින් ගෑෂ් වාර්තා හංගන්නේ ඇයි ද යන ප්‍රශ්නය නැගුවා. ඒ වාර්තාවල සඳහන් වෙනවා ඝාතනය වූ දෙමළ ජනයා හත්දාහක් පමණ වන බව.

මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අප අභියෝග කරනවා ඇල්ෆා රටට 1983න් පසු ලංකාව ගැන ඇති වාර්තා හෙළිදරවු කරන ලෙස. එකල තිබුණේ ජේ ආර්ගේ ආණ්ඩුවක්. දෙමළ කොටි සංවිධානය මෙහෙයවූයේ ඇල්ෆා රටයි. නන්දිකඩාල් කලපුවෙන් පසු ඇල්ෆා ගැමා සීටා රටවලට විඳදරා ගන්න බැරි පරාජයක් අත් වුණා. අද ඔවුන්ට තවත් ප්‍රශ්න තියෙනවා. ලංකාව හා චීනය අතර සුහදතාව, වරාය නගරය, එම් සී සී ගිවිසුම අවලංගු කිරීම. ඒ අතර ඒ රටවලට සිංහල බෞද්ධයන්ට ඇති විරෝධයත් තියෙනවා.

ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධයන්ගෙන් පලිගන්න. එය දහනවවැනි සියවසේ මුල දක්වා දිව යන්නක්. 1817-18 නම් ඉංගිරිසින් සිංහලයන් ඝාතනය කළේ ඉතාමත් අමානුෂික ආකාරයකට. 1848, 1917 ඉංගිරිසින්ගේ පලිගැනීම්වලට තවත් සාධක. ඊනියා දෙමළ විසිරුණු ජනයාත් ඇල්ෆා හා සීටා රටවල නිර්මාණයක්. එකී සංවිධාන පවත්වාගෙන යනු ලබන්නේ ඇල්ෆා හා සීටා රටවලින්. ඇතැම් අය, විශේෂයෙන් අබෞද්ධ අය ලියන්නේ ඒ ක්‍රිස්තියානි රටවල් නොදන්නා කමට දෙමළ විසිරුණු ජනයාගේ බලපෑමට හසුවෙලා කියලා. මෙයත් ක්‍රිස්තියානි නූතනත්වය සිංහල බෞද්ධයන්ට එරෙහිව කරන තවත් මෙහෙයුමක්.

මේ රටවල් අපේ රණවිරුවන්ට තහංචි පනවනවා. ඒ රණවිරුවන්ට විවිධ රටවලට යන්න බැහැ. මේ නන්දිකඩාල් පරාජය විඳ දරා ගන්න බැරුව කරන දේ. ඔය රටවල් ලංකාව වැනි කුඩා රටකට පරාජය වුණා. ඔවුන් කොටි සංවිධානය යොදා ගනිමින් කළ මෙහෙයුම පරාද වුණා. ඊනියා දෙමළ සමූලඝාතනයක් වුණා නම් එකල හමුදාපති සරත් ෆොන්සේකා ඒ සියල්ලට ම වග කියන්න ඕන. එහෙත් ඔහුට අර රණවිරුවන්ට ඇති තහංචි නැතිවා පමණක් නොව 2010 දී ජනාධිපති අපේක්‍ෂක ලෙස ද ඉදිරිපත් කෙරුණා. ඔහුට විරුද්ධ ව ගැමා රටේ ප්‍රාන්තයක තිබූ නඩුවක් අස් කර ගත්තා. ඔහු හමුදාව ජයග්‍රහණය කරා මෙහෙය වූ බව ඇත්ත. එහෙත් ඔහු සුදු කොඩි පාවා දීම ද කළා.

ඇල්ෆා ගැමා සීටා යනු තොත්ත බබාලා නො වෙයි. ඒ අකුරු තුන සීටා ඇල්ෆා ගැමා කියන පිළිවෙළින් ලිවුවෙත් සැග් කියා කියවන්න පුළුවන් ද? මා දන්නේ නැහැ. ඒ කුමක් වෙතත් මෙතන තියෙන්නේ සිග් සැග් කතාවක්. අපට ගිනිගත් නැව ගැනත් වෙනත් විධියකට හිතන්න වෙන්නෙ වරාය නගරය අසල එය සිදු වීම නිසා ම පමණක් නො වෙයි. වරාය නගරයට විරුද්ධ ධනදාසලා පමණක් නො වෙයි.

නලින් ද සිල්වා