counter hit xanga
February 3, 2023

ලංකාවේ රාජ්‍ය බැංකුවක කොටස් හිමියෙක් වීමට ඔබටත් අනගි අවස්ථාවක් !

Last Updated on September 2, 2022 by Lankae Cast

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතුරු අයවැයෙන් යෝජනා කරන්නේ රජය සතු මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කොටස් 20% ක් තැන්පත් කරුවන්ට සහ සේවකයින්ට අලෙවි කිරීමටයි. බැලූ බැල්මට මෙය යහපත් යෝජනාවක් වුවත් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නට බව රනිල් වික්‍රමසිංහ ගැන දන්නා බොහෝ අයට මෙය අමුතුවෙන් කිවයුතු නැහැ.

ලංකාවේ රාජ්‍ය බැංකු වල බහුතර තැන්පත් කරුවන් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන ගොවියන්, කම්කරුවන් , සහ වෘත්තිකයන්. කෙසේ වෙතත්, කොටස් හිමියකු වීමට ඔවුන් කිසිවෙකුට වුවමනාවක් තිබේනවාද කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ .

මේ වනවිට ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු අනුව, බැංකු පද්ධතිය රුපියල් බිලියන 500 ක ද්‍රවශීලතා ප්‍රශ්නයකට (Liquidity Problem) මුහුණපා තිබෙන බව මූල්‍ය විශ්ලේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස පවා තම සාකච්ඡා අවසන් කිරීමෙන් අනතුරුව ඊයේ නිකුත් කල නිවේදනයේ (Press Conference ) යම් ආකාරයකට වචන අතර සඟවා ප්‍රකාශ කොට තිබෙනවා. උපුටා ගැනීම “Safeguarding financial stability by ensuring a healthy and adequately capitalized banking system, and by upgrading financial sector safety nets……”

‍රජයේ බැංකු දෙක වන ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තව දුරටත් අමතර ප්‍රාග්ධනය (Recapitalization) සැපැයිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැති අයවැය කතාවේදී ප්‍රකාශ කරනවා. එමෙන්ම, බැංකු කොටස් විකිණීමට හේතු ලෙස අක්‍රිය ණය (Non Performing Loans (NPL) ) අධික වීම, සහ විශේෂයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර කඩා වැටීම තුල අදාළ ව්‍යාපාරිකයන්ට ඔවුන් ලබා ගෙන ඇති ණය හෝ පොළිය ගෙවීමට නොහැකි වීම යනාදිය සඳහන් කරනවා.

මේ දිනවල ඔබ දකිනවා ඇති රජයේ බැංකු ස්ථාවර තැන්පතු සඳහා අසීමිත පොළී ගෙවනවා (20%-28% දක්වා). එයත් මේ අර්බුදයේ එක්තරා දරුණු ප්‍රකාශණයක් බව ලංකාවේ බොහෝ අයට නොතේරීම විශාල කනගාටුවක්. යම් ඉදිරි දිනෙක ලංකාවේ ජනයාට මේවායේ ආදිනව තේරෙන විට බොහෝ ප්‍රමාද වැඩි වේවි. රජයේ බැංකු මේ දිනවල පොළී ගෙවන්නේ හරියට “සක්විතිලා” , “ගෝල්ඩන් කී ල” සහ “එදිරිසිංහලා” වගෙයි.

බැංකු කොටස් විකිණීමට රනිල් වික්‍රමසිංහ රජය බලාපොරොත්තු වීම තුලම, අද රාජ්‍ය බැංකු මුහුණපා තිබෙන තත්ත්වය කියාපාන එක් සාධකයක්. මොවුන්ගේ බලාපොරොත්තුව කොටස් විකිණීමෙන් ලැබෙන ආදායම බැංකු නැවත ප්‍රාග්ධනීකරණය (Recapitalize) කිරීම විය හැකියි. ලංකාවේ තිබෙන ගජමිතුරුවාදය (Cronysm) තුල මෙම බැංකු කොටස් මිල දී ගන්නේ කූඨ ව්‍යාපාරිකයන් පිරිසක් වීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළ යි. අවසානයේ “හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත් වුණා” වාගේ නොවුනොත් ඔබ පුදුම නොවන්න.

එමෙන්ම ,රජයට තවදුරටත් රාජ්‍ය බැංකු සඳහා ප්‍රාග්ධනය සැපැයීමට නොහැකි වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ විවිධ කටයුතු සඳහා රජය විසින් විශාල ලෙස මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් ණය ලබා ගෙන තිබීමයි. රාජ්‍ය ව්‍යවසායන් විශේෂයෙන්ම තෙල් සංස්ථාව , ගුවන් සමාගම , විදුලි බල මණ්ඩලය , සහ තවත් බොහෝ ආයතන බිලියන ගණනින් රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය පැහැර හැර තිබෙනවා . උදාහරණයක් හැටියට බලශක්ති අමාත්‍යාංශයේ එවකට ලේකම් වරිය වරක් මාධ්‍යට ප්‍රකාශ කල අන්දමට තෙල් සංස්ථාව පමණක් ඩොලර් බිලියන 3.5 ක් රාජ්‍ය බැංකු දෙකට ගෙවීමට තිබෙනවා (https:www.economynext.com>sri-lanka-cebtral-bank-not-banned-state-banks-from-lending-to-cpc-cb-governor-90713/). මීට අමතරව , යම් හේතුවකින් රජයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට සිදුවුවහොත් , බැංකු පද්ධතිය තුල ඇති විය හැකි අර්බුදය කොහෙන් කෙළවර වේවිද කියා පවා අනුමාන කල නොහැකියි.

බැංකු විසින් ව්‍යාපාරිකයන්ට ණය දිය යුතුයි. එහෙත් ඒ ණය දීමේදී නිවැරැදි ඇපකර තබා ගැනීම සහ පොළී සමග ණය අයකර ගැනීම අදාළ බැංකු වල වගකීමයි . එහෙත්, අනෙක් සෑම අවස්ථාවකදී මෙන්ම, ලංකාවේ දේශපාලන බල පුළුවන් කාරයින් බැංකු වලට “පොලු” තබා තිබෙන ආකාරය මැයි මාසයේ දිනෙක පාර්ලිමේන්තුවේ COPE කමිටුවේදි හෙළිදරව් වුනා. ඉන් කරුණු කිහිපයක් ඔබගේ දැනගැනීමට පහත සටහන් කරමි. වැඩි තොරතුරු අවශ්‍ය අයට පාර්ලිමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකියි.

පසුගිය මැයි මාසයේ COPE කමිටුවේදි හෙළිදරව් වුනේ මහජන බැංකුව 2017-2021 කාලසීමාවේදි ලංකාවේ මහාපරිමාන ව්‍යාපාරිකයන් 10 දෙනෙකුට ලබා දුන් රුපියල් බිලියන 54.5 ක ණය බොල් ණය හැටියට කපාහැර ඇති බවයි. (https://www.themorning.lk>cope>reveals>10>firms>behind>peoples>bank>losses/)
ඒ ලැයිස්තුව විමසා බැලුව හොත් ඔබට පෙනේවි ඔවුන් කෙතරම් පැවති රජයන් වලට සමීප, ඉහළ වගකීම් දැරූ පිරිස් ද යන වග. යශෝදා සමූහ ව්‍යාපාරය, CML MTD වෝකර්ස් සමූහ ව්‍යාපාරය, මිහින් ලංකා, WM මෙන්ඩිස් , හුරාවී ඉන්ටර්නැෂනල්, දයා ඇපරල්ස්, නවලෝක, ගුඩ් ෆෙලෝස් පුද්ගලික සමාගම, රිකාන් ලංකා සමාගම, ග්‍රේලයින් එක්ස්ප්‍රස් සමාගම, ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටෙල් ප්‍රයිවට් සමාගම යනාදිය මෙම මහජන මුදල් ණය වශයෙන් ලබා ගෙන තිබෙනවා. එමෙන්ම, කෙතරම් ලංකාවේ දේශපාලනය බැංකු පද්ධතිය ගිලගෙන තිබෙනවාද කියන කාරණය අවබෝධ කරගැනීමට හොඳම උදාහරණය CML MTD වෝකර්ස් සමාගමට දෙන ලද ණය. කෝප් කමිටුවේදි හෙළිදරව් වු ආකාරයට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් මහජන බැංකුවේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වෙමින් නිසි ඇපකර නොමැතිව 2018 ලබා දුන් රුපියල් බිලියන 3.936 ණය වර්ෂ 2021 වන විට රුපියල් බිලියන 5.028 දක්වා එකතු වී බොල් ණය ලෙස කපා හැර තිබෙනවා. (https://www.colombotelegraph.co>index>php>an>ope) මෙවැනි ආකාරයට ලංකාවේ කෙතරම් සදාචාර විරෝධි ගනුදෙනු සිදුවෙනවා ද?

මොවුන් අතරින් එජාපයට සම්බන්ධ හිටපු කැබිනට් ඇමැති දයා ගමගේට අයිති දයා ඇපරල්ස් රුපියල් බිලියන 2.647 සහ මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්ට අයත් මැන්ඩිස් සමාගම රු.බිලියන 3.242 ණය 2019 සිට මේ දක්වා ගෙවීම පැහැර හැර තිබෙන බව විගනකාධිපති කෝප් කමිටුවට වාර්තා කොට තිබෙනවා . ඊට අමතරව නවලෝක සමාගම බිලියන 1.442 ක්, යශෝදා සමූහ ව්‍යාපාරය 2017 සිට මේ දක්වා රුපියල් බිලියන 24.771 ගෙවීම් පැහැර හැර තිබෙන බවද සඳහන් වෙනවා . යශෝදා සමූහ ව්‍යාපාර අයිතිකරුවන් පැවති එජාප රජයේ ඉහළ තනතුරු දැරූ අයට බොහෝ සමීපව කටයුතු කල බව එකල බොහෝ ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටෙල් එම ප්‍රදේශයේ සිටින හිටපු ශ්‍රී ලනිප සහ පොහොට්ටු රාජ්‍ය ඇමැති සහ හිටපු මන්ත්‍රී වරයකු සහ මහාපරිමාන අරක්කු නිෂ්පාදනයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් වන උදුල පෙරේරා නැමැත්තෙකුට අයත් බව සමාගම් තොරතුරු පිරික්සීමේදි පෙනී යනවා. ජාතික විගණන කාර්යාලය කෝප් කමිටුවට ඉදිරිපත් කල වාර්තාවේ පිටු අංක 30 සටහන් වන ආකාරයට 2021වන විට එම සමාගම පැහැර හැර ඇති ණය මුදල රුපියල් බිලියන 3.685 ක් බව සඳහන් වෙනවා.

ඊට අමතරව , අදටත් රාජ්‍ය බැංකු දෙකේම සභාපති වරුන් දේශපාලන පත්වීම් වන අතර විශේෂයෙන්ම ලංකා බැංකුවේ සභාපති බරපතළ චෝදනා ලද පුද්ගලයකු වීමද විශේෂයි. ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේද ලංකා බැංකුවේ සභාපති වරයා හැටියට කටයුතු කල අතර ඒ අවධියේ දී ද විවිධ චෝදනා ඔහු වෙත එල්ලවූ බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අය දනී.

මේ ආකාරයට රජයේ බැංකු විශාල වශයෙන් ණය කපා හැරීමට තීරණය කිරීම තුල තැන්පත් කරුවන්ට වන පාඩුව සම්බන්ධව අදාළ බැංකුවල අධ්‍යක්ෂ මංඩල සාමාජිකයන් වගවිය (Accountable ) යුතු නැද්ද? ලංකාවේ බැංකු තැන්පත් කරුවන් ඒ පිළිබඳ හරියාකාරව දැනුම්වත් නොවීම කණගාටු දායකය.

සාමාන්‍ය පුරවැසියෙක්, සුළු ව්‍යාපාරිකයෙක් කිසියම් ණය මුදලක් ලබා ගත් විට බැංකුව ක්‍රියා කරන ආකාරයට හාත්පසින් වෙනත් ආකාරයකට මහාපරිමාන ව්‍යාපාරිකයන් සහ දේශපාලන බලය හිමි පිරිස් කෙරෙහී ක්‍රියාකරන ආකාරය ඔබට පේනවා ඇති. මෙය බැංකු ක්ෂේත්‍රයේ පමණක් නොව ලංකාවේ සෑම තැනකම බලය සහ නිළය හිමි පිරිස් වැඩි වරප්‍රසාද ලබන ඔබ පිළිගන්නවා ඇති. විශේෂයෙන්ම 1977 න් පසු කිසිදු හිරිකිතයකින් තොරව මේ දක්වා මෙම තත්ත්වය එලෙසින්ම පැවතීම ඉතා කනගාටු දායක නොවේද? එහි උග්‍රතම ස්ථානයට අද පැමිණ තිබෙන අතර එය වෙනස් කල යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්වා දෙමින් ඊයේ අවසන් වූ සාකච්ඡාවේදී රජයට ආණ්ඩුකරණය පිළිබඳ නිර්දේශ කිහිපයක්ම ලබා දී තිබෙනවා.

ලංකාවේ පුරවැසියන් දැන්වත් මේ මජර දේශපාලන හා පරිපාලන ක්‍රමය වෙනස් කිරීමට අදිටන් කරගත යුතුය. ඒ සඳහා සමාජ සාධාරණත්වය අගයන, නිවැරැදි ආර්ථික දැක්මක් , වැඩපිළිවෙළක් වගේම යුක්තිය සාධාරණත්වය අගයන පිරිසක් සහිත කණ්ඩායමක් ආණ්ඩුකරණය සඳහා තෝරා ගැනීමට කාලය පැමිණ ඇත. ලංකාවේ ජනයා එසේ කිරීමට අපොහොසත් වුවහොත් අවසන ලංකාවේ ඉතිරි වන්නේ මේ ක්‍රමයට ආවඩන, ඉන් පෝෂණය වන අධම, නරුම සමාජයක් පමණක් බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කල යුතුය.

ලංකාවේ බහුතර ජනයාට නව ලොවක් දැකීමට අවශ්‍ය සමාජ දේශපාලන වටපිටාවක් නිර්මාණය කරගැනීමට අවැසි නැණ නුවණ පහල වේවා!!

ශාන්ත ජයරත්න, ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු),ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය SLIDA