counter hit xanga
October 22, 2021

“මේ වාහනයේ නැගලා ගමට එන්න දෙන්න එපා”

Last Updated on June 11, 2021 by Panduka Herath

කැබිනට් අනුමැතියකින් තොරව ණයවර ලිපි විවෘත කළේ කවුද යන්න ආණ්ඩුව සොයා බැලිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.Facebook ඔස්සේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වාහන ගෙන්වීමට ණයවර ලිපි විවෘත කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව බවයි.

“මේ ජීප් රථයක අද වෙළඳ පොල වටිනාකම ලක්ෂ 500ක් පමණ වෙනවා. ජීප් රථ 227ක්. ඔබ ඡන්දය දෙන මන්ත්‍රීවරයා ලක්ෂ 500ක වාහනයක නැගලා ඔබේ ගමට එන්න ඕනෑද? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වාහන ඇණවුම නතර කරන්න කියලා. දැන් ආණ්ඩුව කියනවා මේක නතර කරන්න බැහැ කියලා. ණයවර ලිපි අවලංගු කිරීම අසීරුයි තමයි. නමුත් ආණ්ඩුව වාහන ආනයනය ආණ්ඩුව විසින් නතර කරන විට විවෘත කර තිබූ ණයවර ලිපි විශාල ප්‍රමාණයක් කල්ඉකුත්වෙන්න ඉඩ හැරියා. ඉන්පසු ණයවර ලිපි අවලංගු වුනා. ඒ නිසා ආණ්ඩුවටත් පුළුවන් මේ ණයවර ලිපි අවලංගුවීමට ඉඩහරින්න. “

“ඊළඟ යෝජනාව වන්නේ ආනයනය නතර කරන්න බැරි නම් වාහන ගෙන්වූ පසු ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න. වාහන 227ක්. කෝටි 5 ගණනේ කෝටි 1135ක් පමණ මුදලක්. මේ ධනයෙන් දේශීය ණය ගෙවන්න පුළුවන්. නැත්නම් අවතැන් ජනතාවට, කොවිඩ් නිසා ව්‍යාපාර කඩාවැටුණ ව්‍යාපාරිකයින්ට, ආදායම් අහිමිවූ පුරවැසියන්ට, ගංවතුරින් අවතැන් වූ ජනතාවට දෙන්න. අපි පක්ෂයක් හැටියට මේ වාහන පාවිච්චියට ගන්නේ නැහැ. ඒවාට මොකද කරන්නේ කියලා අපි පසුව කියන්නම්.”

“මේ ගනුදෙනුව සිදුවන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා පමණක් කරන එකක් නෙවෙයි. මේ පිටුපස විශාල වංචාවක් තිබෙනවා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ මැයි 18. එය විශේෂ කැබිනට් රැස්වීමක්. ඉහත වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට අනුමැතිය ඉල්ලනවා. සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය නිල ලෙස ලැබෙන්නේ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. එනම් මැයි මාසේ 24වෙනිදා. නමුත් පුවත්පත් වාර්තා කළා මැයි 24 කැබිනට් මණ්ඩලය වාහන ගෙන්වීමේ තීරණය අවලංගු කළා කියලා. එහෙනම් අනුමත වූ කැබිනට් පත්‍රිකාවක් නැහැ. එහෙනම් කැබිනට් පත්‍රිකාවක් නැතුව ණයවර විවෘත කළේ කොහොමද? මා ළඟ තිබෙනවා මේ සම්බන්ධ ලියකියවිලි. එහි සඳහන් වෙනවා ණයවර ලිපි විවෘත කර තිබෙන්නේ 2021 අප්‍රේල් 22 දින කියලා. කැබිනට් අනුමැතිය ඉල්ලන්නේ මැයි 18. මොකක්ද කරලා තියෙන්නේ කැබිනට් අනුමැතිය ගන්න කලින් ණයවර ලිපි විවෘත කරලා. මෙතන ඩීල් එකක් සිදුවෙලා තිබෙනවා.”

“ඩීල් එකෙන් පස්සේ තමයි කැබිනට් අනුමැතිය ගන්න මතක් වෙලා තියෙන්නේ. වංචාව වහගන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් කෙහෙළිය කියනවා ණයවර ලිපි අවලංගු කරන්න බැහැ කියලා. එනිසා මෙතන බරපතල වංචාවක් තිබෙනවා. තමන්ට පාවිච්චියට ගේන වාහනවලිනුත් වංචා කරනවා. එනිසා තමයි කැබිනට් අනුමැතිය නැතිව ඩිල් දාන්නේ. මේ වාහන ගෙන්වන්න ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවුයේ නැහැ. මිල ගණන් කැඳවූයේ නැහැ. එනිසා මෙතන විශාල වංචාවක් සිදුවන බවට සැකයක් ඇතිවෙනවා.”

“එසේනම් ආණ්ඩුව කළ යුතු කරුණු කිහියක් තිබෙනවා. පළවෙනි එක මේ වාහන ගෙන්වීම නතර කළ යුතුයි. රටේ වසංගත තත්වය මැඩ පැවැත්වීමට අවශ්‍ය මුදල් නැති මොහොතක මේ ආකාරයේ මුදල් වියදම් කිරීම නතර කළ යුතුයි. තෙවනුව කැබිනට් අනුමැතියකින් තොරව ණයවර ලිපි විවෘත කළේ කවුද කියලා සොයා බැලිය යුතුයි.”

“මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලනවා තමන් පතකරපු මන්ත්‍රීවරයට මේ වාහනයේ නැගලා ගමට එන්න දෙන්න එපා. ඒ වගේම මේ වගේ වෙලාවක මන්ත්‍රීවරුන්ට පුළුවන්ද මේ වාහනයේ නැගල යන්න පුළුවන්ද?”