counter hit xanga
October 22, 2021

Campus යන්න සාධාරණ ක්‍රමයක් ඉල්ලයි!

Last Updated on May 17, 2021 by Panduka Herath

උසස්පෙළ සිසුන් සරසවි බඳවාගැනීම සඳහා ගැටලුකාරී ‘සංයුත මධ්‍යන’ ක්‍රමවේදය වෙනුවට වඩාත් සාධාරණ ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා සමාජවාදී ශිෂ්‍ය සංගමය අධ්‍යාපණ අමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ 2020 උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වීමත් සමග මතුව ඇති මෙම ගැටලුකාරී තත්වය ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකණු නිකුත්වීමෙන් පසු පුපුරායාමට නියමිතව ඇති බවයි.

2021/05/17

අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
පැලවත්ත,
බත්තරමුල්ල.

සරසවි බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුල වර්තමානයේ මතුව ඇති සහ ඉදිරියේදී මතුවීමට නියමිත ගැටලු වලක්වා ගැනීම පිළිබඳව

2019 වසරේ උසස්පෙළ විභාගය විෂය නිර්දේශයන් දෙකක් යටතේ පැවැත් වූ අතර එහි ප්‍රතිඵල නිකුත් කිරීම, z-score ගණනය කිරීම සහ සරසවි බඳවා ගැනීම නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ වෙන වෙනම සිදුකිරීමට තීරණය කර තිබුණි. එක් එක් විෂය නිර්දේශය යටතේ සරසවි බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය තීරණය කිරීම 2013 සිට 2017 දක්වා වසර වල සරසවි බඳවා ගත් සිසුන්ගේ සංයුත මධ්‍ය අගය මත සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබුණි. මෙම ක්‍රමවේදය ඉතාමත් අසාධාරණ ක්‍රමවේදයක් වූ බැවින් 2019 වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් විශාල ප්‍රමාණයක් අසාධාරණයට පත්වූ අතර එයට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ විරෝධතා පමණක් නොව නීතිමය ක්‍රියාමාර්ගයන්ද ගන්නා ලදී.

එහෙත් ව්‍යාප්ත වෙමින් පැවති කොවිඩ් 19 වසංගත තත්වය තුල ඊට මතු වූ බාධා හමුවේ විවිධ පැලැස්තර විසඳුම් පෙන්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැටලුවේ මූලය දිගින් දිගටම මගහරින ලදී. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ එම පැලැස්තර විසඳුම් තවමත් නිසිලෙස ක්‍රියාවට නොනැඟීමත්, තේරීපත් වූ සිසුන් කොටසකට පාඨමාලා ආරම්භ වීම තවදුරටත් ප්‍රමාද වීමත්, තවත් කොටසකට අද වන තුරුත් නිසියාකාර පිළිතුරක් නොලැබ අසරණව සිටීමට සිදුවීමත්ය.

මෙම තත්වය උද්ගතවීම සඳහා බලපෑ ප්‍රධානතම හේතු කාරණා වන්නේ එක් පසෙකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමන් අනුගමනය කල අතිශය අසාධාරණ ක්‍රමවේදය කිසි ලෙසකින් හෝ වෙනස් කිරීමට සූදානම් නොවීමත් අනෙක් පසින් පැලැස්තර විසඳුම් යෝජනා වෙද්දී ඒ හරහා වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමාණවත් ලෙස පහසුකම් වැඩිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීමත්ය. මීට අමතරව නිසි විසඳුමක් ලෙස භාරගත නොහැකි, අසාධාරණයට පත් සිසුන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට බඳවාගැනීම වැනි ‘ප්‍රශ්නයෙන් ගැලවීමේ යෝජනා’ ඉදිරිපත් වුවද එය සිදු කරන ක්‍රමවේදයක් හෝ අදටත් ප්‍රකාශයට පත්කොට නොමැත. මේ සියල්ල හමුවේ 2019 උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටි සිසු සිසුවියන් රාශියක් විභාගය අවසන්ව වසර 2කට ආසන්න කාලයක් ගතවෙද්දීත් සිය ජීවිතය සැලසුම් කරගැනීමේ අසීරුතාවයට පත්ව ඇත.

එවන් ඛේදජනක අත්දැකීමකට මුහුණ දී වසරක් ගතවෙද්දී 2020 උසස්පෙළ සිසුන් සරසවි බඳවාගැනීම සඳහාත් 2019 භාවිතා කල ‘සංයුත මධ්‍යන’ ක්‍රමවේදයම ක්‍රියාවට නැගීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව සිසු-දෙමාපිය විරෝධතා මධ්‍යයේ ප්‍රකාශයට පත්කර තිබුණි. එම අවස්ථාවලදී අප විසින් ඉදිරියේදී මතුවිය හැකි යැයි සඳහන් කරන ලද ගැටලු අද වනවිට පියවරෙන් පියවර පැනනැඟීමට පටන්ගෙන ඇත. 2020 උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වීමත් සමග මතුව ඇති මෙම ගැටලුකාරී තත්වය ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකණු නිකුත්වීමෙන් පසු පුපුරායාමට නියමිතව ඇත.

එහෙයින් සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අප, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යෝජිත මෙම ගැටලුකාරී ‘සංයුත මධ්‍යන’ ක්‍රමවේදය වෙනුවට වඩාත් සාධාරණ ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටින අතර සිසුන් තුල මතුවෙමින් ඇති ගැටලුකාරී තත්වය යම්තාක් හෝ විසඳාගැනීම සහ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග උදෙසා පහත සඳහන් තොරතරු ප්‍රකාශයට පත්කරන මෙන් ඉල්ලා සිටිමු.

  1. 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා ඒ ඒ පාඨමාලාවන්ට බඳවා ගැනීමට යෝජිත සිසුන් ප්‍රමාණය.
  2. එක් එක් පාඨමාලාව සඳහා 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා බඳවාගෙන ඇති සිසුන් ප්‍රමාණය සහ 2020/2021 බඳවා ගැනීමට යෝජිත සිසුන් ප්‍රමාණයන් අතර සාපේක්‍ෂ වැඩිවීම හෝ අඩුවීම.
  3. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2020/2021 අධ්‍යයන වර්ෂයට සිසුන් බඳවා ගැනීමට යෝජිත ක්‍රමවේදය හරහා ඒ ඒ පාඨමාලා වෙනුවෙන් දීප ව්‍යාප්ත කුසලතා පදනම මත සහ දිස්ත්‍රික් කුසලතා පදනම මත, නව සහ පැරණි නිර්දේෂයන් ලෙස බඳවා ගැනීමට නියමිත ප්‍රතිශත.
  4. 2020/2021 අධ්‍යයන වර්ෂයට සිසුන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යෝජිත ක්‍රමවේදය සැකසීම සඳහා භාවිතා කරන ලද 2014-2018 වසර 5 තුල සිසුන් ඇතුලත් කරගැනීම පිළිබඳ දත්ත.

ඉදිරියේදී මතුවිය හැකි ගැටලුකාරී තත්වය වලක්වා ගැනීම පිළිබඳ පූර්ව සූදානම් වීම් සඳහා මෙම තොරතුරු කඩිනමින් ප්‍රකාශයට පත්කිරීම අත්‍යාවශ්‍යව ඇත. එහෙයින් ඒ සම්බන්ධව ඉක්මන් මැදිහත්වීම ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවාගැනීම සම්බන්ධයෙන් ඉහත සඳහන් කල තවමත් නොවිසඳුනු ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.

ස්තූතියි.

රංගන දේවප්‍රිය
ජාතික සංවිධායක

පිටපත් –

  1. ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය
  2. සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
  3. සියලු මාධ්‍ය ආයතන