counter hit xanga
June 26, 2022

ධනවාදය දැන් අසමත්!

Last Updated on May 1, 2021 by Panduka Herath

නව සමාජයක් නිර්මාණය කිරීමේ සටනේ පෙරමුණ ගැනීමට වැඩකරන ජනතාව පෙරට ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටි.

මැයි 01දාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය යනු වැඩ කරන ජනතාවගේ සටන්කාමිත්වය හා සමගිය විදහා දක්වන දිනය වේ. මැයි දිනය යනු ලිබරල් ධනපති පාලකයින් විසින් ජනතාවට ලබාදුන් හුදු නිවාඩු දිනයක් හෝ විනෝදාත්මක දිනයක් නොවේ. එය වැඩ කරන ජනයාගේ සටන්කාමිත්වය හා දිවි පිදීම සැමරීමේ දිනය වේ.

මැයි දිනයට පාදක වූයේ 1886 දී චිකාගෝ නුවර කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් වෙනුවෙන් කළ දැවැන්ත අරගලයයි. එය එක්සත් ජනපද ධනපති පාලකයන් විසින් කුමන්ත‍්‍රණකාරීව කම්කරු ඝාතනයකින් මර්දනය කළද අරගලය නැවැත්වීමට ඔවුනට හැකි වූයේ නැත. අවසානයේ පැය 08ක වැඩ දිනය දිනා ගන්නා ලදී. ඒ වෙනුවෙන් සටන්වැද දිවි පිදු කම්කරුවන් සිහිපත් කිරීම සඳහා මැයි 01දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරන ලද්දේ දෙවන සමාජවාදී ජාත්‍යන්තරයේ පැරීසියේ පැවැති පළමුවැනි සමුළුව විසිනි. ඒ නිසාම මැයි දිනයේ සැබෑ අයිතිය ඇත්තේ වැඩ කරන ජනතාවට හා වමේ ව්‍යාපාරයන්ටය.

එහෙත් චිකාගෝ කම්කරුවන්ට වෙඩි තැබූ ධනපති පංතිය නියෝජනය කරන ධනපති පක්ෂ මෙන්ම සමහර ව්‍යාපාරිකයෝත්, අවස්ථාවාදීහුත් මැයි දිනය තම තමන්ගේ අරමුණුවලට අර්ථකථනය කර එහි හරය විනාශ කරමින් එය සුබ සාධන දිනයක් බවට, උත්සව දිනයක් බවට පත්කිරීමට උත්සාහ දරති. එබැවින් මේ මොහොතේ මැයි දිනයේ අර්ථය විකෘති කරන අයගෙන් මැයි දිනයේ සැබෑ අර්ථය රැකගැනීම වැඩ කරන ජනතාව ඉදිරියේ ඇති එක් අභියෝගයක්වද තිබේ.

ගිය වසරේ මෙන්ම මේ වසරේද ලොව පුරා වැඩකරන ජනතාවටත් ලාංකේය වැඩ කරන ජනතාවටත් මැයි දිනය සැමරීමට සිදුව ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්වය විසින් නිර්මාණය කර ඇති සීමාවන්ට යටත්වය. වසරකට වැඩි කලක් තිස්සේ පාලනය කර ගැනීමට නොහැකිව මිනිස් ජීවිත බිලිගනිමින් පැතිර යන කොරෝනා වසංගතය විසින්ද වැඩකරන ජනතාවට අනගි පාඩමක් උගන්වා තිබේ. ඒ ධනවාදය තුළ ධනපති ආණ්ඩුවල, ධනපති ව්‍යාපාරවල ප‍්‍රමුඛ අරමුණ මිනිස් ජීවිත රැකීම නොව ප‍්‍රාග්ධනය සඳහා ලාභ එකතු කිරීම බවය. මෙම ව්‍යසනය හමුවේ ධනපති ව්‍යාපාර කෙසේ හෝ පවත්වාගෙන යාමටත් මෙම ව්‍යසනයම ලාභ උපයන ජාවාරමක් බවට පත්කර ගැනීමටත් ධනපති ජාවාරම්කරුවන් මෙන්ම ආණ්ඩු විසින්ද දරන උත්සාහය මගින් ධනවාදය සිය නරුමකම පෙන්වා තිබේ.

මෙවර ලොව පුරා වැඩ කරන ජනතාව මැයි දිනය සමරන්නේ ලෝක ධනවාදය, අධිරාජ්‍යවාදය, නව ලිබරල් උපායමාර්ගය තුළ අර්බුදයෙන් අර්බුදයට පත්ව වැඩකරන ජනතාව සටන් කොට දිනාගත් අයිතින්ද උදුරා ගනිමින්, රැකියා අහිමි කරමින්, වැටුප් කප්පාදු කරමින් ජනතාව මත බර පටවමින් තිබෙන තත්වයක් තුළය. එසේම අර්බුදයට පත් අධිරාජ්‍යවාදය ලෝකයේ ස්වාභාවික සම්පත් හා මානව ශ‍්‍රමය කොල්ලකෑම සඳහා යුද්ධ නිර්මාණය කරමින්, පරිසරය විනාශ කරමින්, ජාතිවාදයත් හා ආගමික අන්තවාදයත් පෝෂණය කරමින් ලොව පුරා විපත්, මරණ සුලබ කරමින් සිටින තත්වයක් තුළය. ලෝක ධනපති ක‍්‍රමයත් අධිරාජ්‍යවාදයත් පැරදවීම හැර අන් විකල්පයක් ලොව පුරා වැඩ කරන ජනතාවට දැන් ඉතිරි වී නැත.

ලාංකේය වැඩකරන ජනතාවටද මෙවර ලෝක කම්කරු දිනය සැමරීමට සිදුව ඇත්තේ අර්බුද හා අභියෝග රැසක් මැදය. ලංකාවේ ධනපති ක‍්‍රමයට, ධනපති ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට රටේ කිසිදු ප‍්‍රශ්නයක් විසදිය නොහැකි බවත් කළ හැක්කේ ප‍්‍රශ්න වැඩි කරමින් රටත්, ජනතාවත්, ආර්ථිකයත් අවුලෙන් අවුලට ගෙනයාම පමණක් බවත් දැන් ඔප්පු වී තිබේ.

සියලූ නිෂ්පාදන මාර්ග බිඳදමා දුර්වල කොට ණය මත යැපෙන රටක් බවට මෙරට පත්කළ ධනපති ආණ්ඩු දැන් ණයට හිලව් ලෙස රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන, ඉඩම් හා සම්පත් විදේශ රටවලට හා සමාගම්වලට ලබා දෙමින් රට විකුණමින් සිටී. දේශපේ‍්‍රමී සළුපිළි පොරවා ගෙන බලයට ආ වත්මන් පාලකයෝද විදෙස් ණය වෙනුවෙන් විදෙස් බලවතුන්ට රට පාවා දෙමින් සිටිති. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටියක් හදා ඉන්දියාවට දීමට හදන මෙම පාලනය විසින් පෝට් සිටිය රටේ පාලනයෙන් තොර බිමක් කිරීමට අවශ්‍ය අණපනත්ද සකසා තිබේ. අනෙක් අතට වංචා, දුෂණ මගින් මහජන මුදල් ගසාකන ධනපති ආණ්ඩුව හොරුන්ට දුෂිතයන්ට දඬුවම් දීම වෙනුවට ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටත් වංචා දුෂණ හෙළි කළ අයට දඬුවම් දීමටත් කැකිල්ලේ කොමිෂන් මගින් උත්සාහ කරමින් සිටියි.

පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් කරන බවට සපථ කොට පාස්කු ප‍්‍රහාරය පෙන්වා බලය ගත් වත්මන් පාලනය පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයින්ට සාධාරණය ඉටුකරනවා වෙනුවට වින්දිතයන් සඳහා සාධාරණය ඉල්ලන අයට මඩ ගැසීමටත් ඔවුන් දඩයම් කිරීමටත් උත්සාහ කරමින් සිටියි.

අනෙක් අතට මේ රටේ පොදු ජනතාව මුහුණපා ඇති කිසිදු ප‍්‍රශ්නයක් විසඳීමට තමන් අපොහොසත් බව වත්මන් පාලනය විසින් ඔප්පු කරනු ලැබ තිබේ. වැඩ කරන ජනයාගේ අයිතින් ලබා දීමට තමන් සූදානම් නැති බව, විශ‍්‍රාමිකයන්ට වැඩි කළ විශ‍්‍රාම වැටුප ලබා දීමට පවා නොහැකි බව ආණ්ඩුව විසින් පෙන්වා ඇත.

ගොවි ජනයාගේ අස්වැන්නට සාධාරණ මිලක් හා වෙළඳපොළ පහසුකම් සකසා දීමටත්, අලි – මිනිස් ගැටුම සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමටත් ඒ වෙනුවෙන් මාස 03කට වැඩි කලක් තිස්සේ ගොවිජනතාව කරගෙන යන උද්ඝෝෂණයට ඇහුම්කන් දීමටත් තමන් සූදානම් නැති බව ආණ්ඩුව විසින් පෙන්වා තිබේ.

ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය නිසා පීඩා විඳින මෙරට බහුතරයක් ග‍්‍රාමීය දුගී කාන්තාවන්ගේ ණය අර්බුදයට විසඳුමක් තවම නැත. පීඩිත කාන්තාවන් මුහුණපාන කිසිදු ගැටලූවක විසඳුම් දීමට සියලූ ආණ්ඩු අසමත්ව තිබේ. කොරෝනා නිසා ඔන්ලයින් අධ්‍යාපනයට වැටුණු බහුතරයක් දුගී පවුල්වල දරුවන්ට අවශ්‍ය පහසුකම් හා සහන දීමට ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා එවැනි දරුවන් අධ්‍යාපනයෙන් හැලීයාමේ අනතුරක් මතුව ඇත. අධ්‍යාපනයේ සියලූ අර්බුදයන්ට මෙයද එකතු වූ විට මුළු අධ්‍යාපන ක‍්‍රමයම ඛේදවාචකි.

මෙරට ධීවර ජනයා මුහුණපාන ප‍්‍රශ්නවලට කුඩා නිෂ්පාදකයන්ගේ, ස්වයං රැකියාවල යෙදෙන අයගේ ප‍්‍රශ්නවලට, කොරෝනා බලපෑමද හේතුකොට ගෙන රැකියා අහිමි වන අයගේ ගැටලූවලට, පෞද්ගලික අංශයේ සේවක ගැටලූවලට, විදේශගත ශ‍්‍රමිකයන්ගේ ගැටලූවලට, ආදී සියලූම ජන කණ්ඩායම්වල කිසිදු ගැටලූවකට සරල හෝ විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ. රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු තරුණ පරපුරේ ගැටලූවලට කිසිදු විසඳුමක් නොමැති කමින් තරුණ පරපුර පීඩාවට පත්ව සිටියි. ඒ, ධනවාදයේ අසමත්කමය.

පරිසරය රකින බව පවසා බලයට ආ ආණ්ඩුව, දැන් පරිසරය ඩෝසර් කිරීමත් රක්ෂිත වනාන්තර ඇතුළු බිම් විවිධ සමාගම්වලට හෝ තම හිතවතුන්ට ලබා දීමටත් පියවර ගෙන තිබේ. අප ඉදිරිපිට දැන් ඇත්තේ ප‍්‍රශ්න මිස විසඳුම් නැති රටකි. කඳුළ මිස සිනහව නැති රටකි. පීඩාව මිස නිදහස නැති රටකි. මර්දනය, තර්ජනය මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති රටකි. එබැවින් මෙවර මැයි දිනයේදී වැඩකරන ජනතාව ඇතුළු පීඩිත ජනතාව ඉදිරියේ ඇත්තේ විශාල අභියෝගයකි; දැවැන්ත වගකීමකි. ජනතාවගේ ප‍්‍රශ්න කිසිවක්ම හෝ විසඳීමට ධනපති ක‍්‍රමයත්, ධනපති පාලනයත් අසමත් බව දැන් ඉතා පැහැදිලිය. රට විනාශයෙන් විනාශයට ගෙනයාම, රට ණය සාගරයක ගිල්වා අවසානයේ කෑලි කෑලි විකුණා දැමීම, ජනතාව අවිද්‍යාවේ මිත්‍යාවේ ගිල්වා දැමීම, ජාතිවාදයත්, ආගමික අන්තවාදයත් අවුළුවා ජනතාව භේද කිරීම, මහජන මුදල් හොරකම් කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළා දැමීම, අයිතින් ඉල්ලන ජනයා මර්දනය කිරීම හැර වෙන කිසිවක් කිරීමට ධනවාදය දැන් අසමත්ය.

එබැවින් තවදුරටත් ධනපති පක්ෂ ගැන ධනවාදී නායකයන් ගැන බලාපොරොත්තු තැබීමෙන් පලක් නැත. ධනවාදය දැන් යල්පැන ගොස්ය. ධනවාදය පැරදවීමේ හා සමාජවාදී සමාජයක් සඳහා සටනට ජනතාව පෙළගැස්විය යුතුය. අධිරාජ්‍යවාදය පරදා මානව වර්ගයාට විමුක්තිය උදාකර දීමට සටන් කළ යුතුය. ඒ සඳහා පෙරමුණු කාර්යභාරය ඉටුකිරීමේ වගකීම දැන් වැඩකරන ජනතාව මත පැටවී තිබේ. තම වෘත්තීය අයිතීන් සඳහා සටන් කරන අතරම නව සමාජයක් නිර්මාණය කිරීමේ සටන් පෙරමුණු බළඇණියේ කාර්යභාරය බාරගැනීමට පෙරට එන මෙන් වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින අපි, ඒ වෙනුවෙන් අප සමග අත්වැල් බැඳගන්නා ලෙස වැඩකරන ජනතාව ඇතුළු සියලූ පීඩිත ජනතාවගෙනුත් සියලූ ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලිනුත් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2021 මැයි 01