counter hit xanga
October 26, 2021

X-Press Pearl එරෙහිව නඩු දාන්න කාදිනල්තුමන් පෙරමුණ ගනී!

Last Updated on June 2, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාව අයත් සමාගමට විරුද්ධව නඩු මාර්ගයට පිවිසෙන ලෙස සියලු ධීවර සංගම් තමන්ගෙන් ඉල්ලීමක් කල බවත් ඊට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.

අද (02දා) කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ කියා සිටියේ නැව ගිණි ගැනීම හේතුවෙන් ධීවර ජනතාවට සිදු වූ පාඩුව ගණනය කර අදාළ සමාගමෙන් එම පාඩුව පියවා ගත යුතු බවත් පසුව එම මුදල ධීවර ජනතාවට වන්දි මුදලක් ලෙස ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව කී කාදිනල් රංජිත් හිමිපාණෝ දැන්වත් මේ ගමන නැවැත්විය යුතුව බව අවධාරණය කළා.

“දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිවරයා සහ ඔහුගේ ඒ මණ්ඩලය මේ පිළිබද හරියාකාර පිළිතුරක් අපිට ලබා දීලා නෑ. මේ නැව එනකොට නැව ගිණි ගනිමින් තිබුණා කියලා දවස් ගණනාවකට පසු අපි දැක්කා පින්තූර. ඒ වෙලාවෙදිවත් මොනවත් කළේ නෑ ගැඹුරු මුහුදට යන්න. දැන් මුහුදු වෙරළ විනාශ කරලා මත්ස්‍ය සම්පත විනාශ වුනාට පස්සේ දැන් සුදුලූණු පොඩි කරන්න හදනවා”

“ඒ නිසා අපි දැන් ධීවර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා කරුණා කරලා සියලු දෙනා එකතු වෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න.”

“මේ පිළිබද නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. මේ ඉන්ධන ප්‍රමාණය මුහුදට ගියොත් දැනට සිදුව ඇති විනාශයටත් වැඩි විනාශයක් සිදු වෙනවා. ඒ නිසා මේක තමයි පළමුව කරන්න ඕනී. දෙවනුව මේකෙන් පාඩු වුන ධීවර ජනතාවට රුපියල් 5000 පමණක් දීලා වැඩක් නෑ. ඔවුන්ට සිදු වූ පාඩුව ගණනය කරලා ඒ පාඩුව නැව් සමාගමෙන් අය කරලා වන්දි මුදලක් ධීවර ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න ඕනී.”