counter hit xanga
October 22, 2021

‘ආරෝග්‍යා පරමා ලාභා‘ ගෙදර ඉදන් වෙසක් සමරන්න!

Last Updated on May 14, 2021 by Panduka Herath

‘ආරෝග්‍යා පරමා ලාභා‘ නිරෝගිකම පරම ලාභයකි යන තථාගත දේශනාව මනාව වටහා ගෙන සියලු අගතීන්ගෙන් මිදී අධ්‍යාත්මික ගුණ ධර්ම වඩා වර්ධනය කර ගනිමින් තමන්ගේත්, අනුන්ගේත්, සමස්ත සමාජයේත් යහපැවැත්ම උදෙසා වගකිව යුතු පුරවැසියකු ලෙස සිය දායකත්වය සමාජ සුරක්ෂාව උදෙසා දීමට නොපසුබට වීර්යයෙන් කටයුතු කිරීමත් සැමගේ යුතුකම හා වගකීම වන බව පෙන්වා දෙමින් ත්‍රෛනිකායික නාහිමිවරුන් නිවේදනයක් නිකුත් කර තිබේ.

සියලු විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වන දාන, සීල, භාවනා, වෙසක් තොරණ ආදි පුණ්‍යෝත්සව සංවිධාන නොකොට සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව තම තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටිමින් මෙත්තා, කරුණා, මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම යෝග්‍ය බව ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා ජනතාවගෙන් ඉල්ලා සිටි.

සමස්ත ලෝකය පුරාම ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර තම තමන්ගේ නිවෙස්වලට පමණක් සීමා වෙමින් වෙසක් පුණ්‍යෝත්සව පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩසටහනක් තමන් වහන්සේලාගේ ද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මඟින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු යොදා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන උතුම් වූ ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරන වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසි බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යෝත්සව දිනයයි. මෙදින ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත බුද්ධ ගුණයන් සිහිපත් කරමින් උන්වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය තුළින් ජීවිත ආලෝකමත් කර ගැනීමට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම සැදැහැති ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිරිතයි.

‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා‘ යන උතුම් සම්බුද්ධෝපදේශය අනුව පිහිටා සකල ලෝකවාසී සත්ත්වයා වෙත මෙත් සිත් පතුරුවමින් උතුම් වූ සම්බුද්ධ ගුණයන් සිහිපත් කරමින් සති සම්පජඤයෙන් යුක්තව කුසල් සිත් වඩා වර්ධනය කර ගැනීමට ව්‍යවෘත වීමට සැවොම තිර අදිටනින් කටයුතු කළ යුතුය.

‘ආරෝග්‍යා පරමා ලාභා‘ නිරෝගිකම පරම ලාභයකි යන තථාගත දේශනාව මනාව වටහා ගෙන සියලු අගතීන්ගෙන් මිදී අධ්‍යාත්මික ගුණ ධර්ම වඩා වර්ධනය කර ගනිමින් තමන්ගේත්, අනුන්ගේත්, සමස්ත සමාජයේත් යහපැවැත්ම උදෙසා වගකිව යුතු පුරවැසියකු ලෙස සිය දායකත්වය සමාජ සුරක්ෂාව උදෙසා දීමට නොපසුබට වීර්යයෙන් කටයුතු කිරීමත් සැමගේ යුතුකම හා වගකීම වන බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු. උතුම් වූ රත්නත්ත්‍රයේ ආශිර්වාදයෙන් කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩා විඳින සැමට ඉක්මන් සුවයත් ආරෝග්‍ය සම්පත්තියත් ලැබේවායි ආශිංසනය කරන අතරම මේ කොරෝනා වසංගත තත්ත්වය පහව ගොස් ලෝකවාසී සැමට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවායි කරුණාධ්‍යාශයෙන් අශිංසනය කර සිටුම්හ.