counter hit xanga
March 28, 2023

සේවක විරෝධය නොතකා දේශපාලන අධිකාරියේ සුරතලුන්ගේ උවමනාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කරන්න යන දේ!

Last Updated on November 24, 2022 by Desman Chathuranga

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස පිළිබඳ ගැටළුව පසුගිය කාලයේ මහත් කතාබහට ලක් විය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවු.61 සීමාවේ තබාගැනීමට ඔවුන් සිදුකළ ක්‍රියාකාරකම් හේතුවෙන් හැකියාව ලැබිණ.

දැන් නවතම පුවත වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස සම්බන්ධයෙනි. දේශපාලන අධිකාරිය සමග එක්ව ඔවුනොවුන්ගේ උවමනා එපාකම් සම්බන්ධයෙන් එක්ව කටයුතු කරන සේවකයන් පිරිසකගේ අවශ්‍යතාවය වෙනුවෙන් සේවක බහුතරයකගේ විරෝධය මධ්‍යයේ විශ්‍රාම වයස අවු. 60 සිට අවු. 63 සීමාව දක්වා වැඩි කරගැනීමට මේ වන විට කටයුතු කරගෙන යන බව අප වෙත වාර්තා වී තිබේ.

ක්ෂේත්‍රයේ කිසිදු විශේෂඥ දැනුමක් සහිතව හෝ නිශ්චිත විෂය පරාසයක් තුළ අත්‍යවශ්‍ය ලෙස සේවයේ නොයෙදෙන කිහිපදෙනෙකු දේශපාලන බලධාරීන් සමග එක්ව සිදු කරන මෙම කටයුත්තට සේවකයන් රැස්වීම්, විරෝධය දක්වන ලිපි යනාදී ක්‍රමවලින් තම විරෝධය පල කිරීමට කටයුතු කළ ද, ඔවුන් දිගින් දිගටම මෙම තීරණය බල ගැන්වීම සඳහා කටයුතු කරගෙන යමින් සිටී.

ඒ අනුව හෙට පෙ.ව. 11.30 ට මේ සම්බන්ධයෙන් තීරණාත්මක රැස්වීමක් පැවැත්වෙන අතර, පාර්ලිමේන්තු සේවකයන් සම්බන්ධ තීරණවලට එළඹෙන ‘කාර්ය මණ්ඩල උපදේශන කමිටුව’ මෙසේ රැස්වීමට නියමිතය. එම කමිටුවට;
1. කතානායකවරයා
2. අගමැතිවරයා
3. මුදල් අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයෙක් (මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය)
4. විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙක්
5. පාර්ලිමේන්තුවේ සභානායකවරයා
යන අය අයත් වන අතර, දේශපාලන අධිකාරියේ කුළුපග සේවකයන් කිහිපදෙනෙකුගේ උවමනාව මත අදාළ තීරණය සම්මත වීමේ බොහෝ ඉඩකඩක් පවතී.

දැනට සේවයේ යෙදී සිටින, වැඩ කළ හැකි මට්ටමේ සිටින තරුණ හා මැදි වයස් සේවකයන් සඳහා සේවා උසස්වීම් ලබාගත හැක්කේ වයස්ගත සේවක සේවිකාවන්ගේ විශ්‍රාම යාමෙන් අනතුරුව වන අතර, විශ්‍රාම වයස් කල් දැමීම හා සේවා දිගු හේතුවෙන් තරුණ සේවක සේවිකාවන් කිහිපදෙනෙකුම වෙනත් රැකියා ලබාගෙන පිටව ගොස් තිබේ. ඊට අමතරව දැනට සේවයේ සිටින කාර්යක්ෂම සේවක සේවිකාවන් කිහිපදෙනෙකුටම තමන්ට ලැබිය යුතුව තිබෙන සේවා උසස්වීම් ලබාගත නොහැකිව දැඩි කණස්සල්ලටත්, ඉච්ඡා භංගත්වයටත් පත්ව සිටී. දැඩි සේවක විරෝධය මධ්‍යයේ කිහිපදෙනෙකුගේ උවමනාවට සහ දේශපාලන අධිකාරියේ අනුහසට යටත් වීමට බහුතර පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල සේවකයන්ට සිදුව තිබේ. නීති හදන තැන පරිපාලනය සිදුවන්නේ මෙසේ නම් අනෙකුත් රාජ්‍ය ආයතන ගැන කවර කතා ද?