counter hit xanga

හෝදන අයට ලාබෙට සබන්!

Last Updated on June 10, 2021 by Desman Chathuranga

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වතාවට සබන් වෙළෙඳපොලේ විප්ලවීය වෙනසකට මුලපුරමින් නියමිත ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදිත නියම රෙදි සෝදන සබන් හා ඇඟ ගල්වන සබන් සහන මිළට වෙළෙඳපොලට හඳුන්වා දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නියමිත ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදිත නියම රෙදි සෝදන සබන් හා ඇඟ ගල්වන සබන් සහන මිළට වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාව සඳහා එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශීයව නිෂ්පාදිත සතොස සබන් රු.40/=ක මිළට සතොස හරහා ලබා දෙන බවයි.

“වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් අපි මෙරට පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පහතට ගෙන එමින් පවත්වා ගැනීමේ වැඩසටහනක නිරත වෙනවා. එහි ප්‍රධාන අරමුණ තමයි ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කරමින්, වෙළෙඳපොලේ පවත්නා මිළට වඩා අඩු මිළට එනම්, නොවෙනස්ව පවත්නා මිළක් යටතේ සතොස අලෙවිසැල් ජාලය හරහා භාණ්ඩ බෙදා හැරීම. එහිදී අපි ස්වදේශික නිෂ්පාදකයින් සමඟ ඉදිරි විනිමය ගිවිසුම් සඳහා එළඹෙමින්, වඩා විශ්වාසවන්ත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක් පාරිභෝගිකයාට සැපයීම හා ස්වජාතික නිෂ්පාදකයින්ට මෙරට වෙළෙඳපොල තුළ වැඩි ඉඩක් ලබා දීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරනවා. “

“මෙතුළින්, ඕනෑම වෙළෙඳපොලක තාර්කික පාරිභෝගිකයෙක් ඇති වී, පිරිමැසුම්දායක දිවි පෙවෙතක් තුළින් ජීවන වියදම අඩු කරගැනීමේ හැකියාව පවතින පාරිභෝගිකයෙකු බිහි වනවා. මෑත කාලීනව කෘතිම ලුණු හිඟයක් ඇති කිරීමට කටයුතු කර ලුණු මිළ ඉහළ දැමීම සඳහා ජාවාරම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමට උත්සාහ දැරූ අවස්ථාවේදී අපි ඍජුවම මැදිහත් වෙලා රාජ්‍ය හා පෞද්ගලික දේශීය ලුණු නිෂ්පාදකයන් සමඟ එක්ව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පැවති මිළටත් වඩා අඩු මිළට සතොස හරහා ලුණු ලබා දීමට කටයුතු කළා.”

“ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍යයක් වශයෙන් හඳුනා ගැණුන, නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදිත රෙදි සෝදන සබන් හා ඇඟ ගල්වන සබන් අද දින සිට සතොස හරහා රු.40/=ක මිළට ලබා දීමට කටයුතු කරනවා. පවතින ක්‍රමයේ ප්‍රමිතිය සම්බන්ධව පර්යේෂණ ආයතන විසින් පෙන්වා දී ඇති පරිදි සබන් වල අන්තර්ගතය ටීඑෆ්එම් අගය 59%ක් හෝ ඊට වැඩි විය යුතු වනවා. ඒ අනුව අපි මෙම සතොස සබන් හා අනෙකුත් සබන් වර්ග සංසන්දනාත්මකව පර්යේෂණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් මෙම ටීඑෆ්එම් අගය 59%ක් බවට තහවුරු කළ, දේශීයව නිෂ්පාදිත සතොස සබන් රු.40/=ක මිළට සතොස හරහා අපි ලබා දෙනවා.”