counter hit xanga

භාණ්ඩාගාරය හිස් වුණත් හිස් නොවන ගිණුම්!

Last Updated on March 11, 2022 by Panduka Herath

රටේ භාණ්ඩාගාරය හිස් වුණත් රාජපක්ෂවරුන්ගේ ගිණුම් හිස් වී නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අනුර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ විනාශය කරා යමින් ඇති මාතෘභූමිය බේරා ගැනීමට වහා පෙරට එන ලෙසයි.

“අද වන විට ආර්ථිකයේ විශාල කඩා වැටීමක් තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය රටට විනාශයක් කැඳවන බව අපි දිගින් දිගට පෙන්වා දුන්නා. ඒ වගේම ආර්ථික අර්බුදය විශාල ලෙස තීව්‍ර කරන බව පෙන්වා දුන්නා. මේ වන විට මහ බැංකු අධිපතිවරයා ඩොලරය පා කරන ලෙසට නියෝගයක් ලබා දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දින දෙකක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටුණා. එය අපේ රටේ ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්වයක්. එය විසින් රට තුළ විශාල කම්පනයක් ඇතිකර තිබෙනවා. අප රටට ලැබෙන විදේශ සංක්‍රාම නොලැබීමේ අවදානම අප පෙන්වා දුන්නා. අවස්ථාවේ ඩොලරය යම් ප්‍රමාණයකට නිදහස් කළේනම් අද වන විට ඩොලරය 220-225ත් මුදලක රඳවා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුවට නිසි දැක්මක් තිබුණේ නැහැ. ඔවුන් අර්බුදය මෝරන්න ඉඩ දුන්නා. ජලාශයක රබර් බෝලයක් යට කර ගෙන සිටියා වගේ තෙරපුමක් දී සඟවා ගෙන සිටියා. දැන් අවසානයේ එය අත්හැරියා. දැන් එය විසින් ආර්ථික තුළ දැවැන්ත කම්පනයක් ඇති කොට තිබෙනවා. “

“මෙම තත්වය ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් ඇති කරමින් ඇති බව පේනවා. මේ වන විට අයිඕසී සමාගම තෙල් මිල වැඩි කළා. ඔවුන් ඩීසල් ලීටරයක් රු. 75කිද පෙට්‍රල් ලීටරයක් රු. 50කින්ද වැඩි කොට තිබෙනවා. පහුගිය කාලයේ තෙල් මිල වැඩිවුණේ රු. 2ක්, 3ක් 5ක් වැනි කුඩා ප්‍රමාණයකිනුයි. දැන් එය රු. 50-75 වැනි අධික ප්‍රමාණයන්ගෙන් සිදුවනවා. පසුගිය පෙබරවාරි 06වැනිදා සිට මේ මාසයේ 10වැනිදා වන විට අයිඕසී සමාගම ඩීසල් ලීටරයක් රු. 93කින් වැඩි කොට තිබෙනවා. පෙට්‍රල් ලීටරයක් රු. 90කින් වැඩි කර තිබෙනවා. මේ මාසයකට ආසන්න කාලයක් තුළයි. ඩෙලරයේ නව තත්වය ඇතිවීමට පෙර ලොකුගේ අමාත්‍යවරයා සිපෙට්කෝ ආයතනය අවම වශයෙන් ඩීසල් ලීටරයක් රු. 81කින් වැඩි කළ යුතු බව කියා තිබුණා. දැන් මේ කඩා වැටීමත් එක්ක එය රු. 121ක් 130 අතර මුදලකින් වැඩි විය හැකියි.”

“ඉන්ධන මිල ඉහළ යාමත්, ඩොලරයේ කඩා වැටීමත් අපේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට යවා තිබෙනවා. බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශයට පත්කර තිබුණේ පාන් ගෙඩියක මිල රු. 20-30 අතර මුදලකින් වැඩි කළ යුතුව ඇති බවයි. දැන් රු. 80ට පාන් ගෙඩියක් අලෙවි වන්නේනම් එය රු.110 දක්වා මිල ඉහළයාමට ඉඩ තිබෙනවා. ප්‍රධාන පිටි ආනයන සමාගමක් තමන්ගේ පිටි කිලෝග්‍රෑම් 01ක් රු. 35කින් මිල ඉහළ දමන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. කිරිපිටි ආයනයනකරුවන් දැන් ප්‍රකාශයට පත් කරමින් සිටින්නේ කිරිපිටි කිලෝගෑම් 01ක මිල රු. 300-400 අතර මිලකින් වැඩි කිරීමට සිදුවන බවයි. ගුවන් ටිකට්පත් සමාගම් ටිකට්පතක මිල අවම වශයෙන් 27%කින් ඉහළ දමන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ආර්ථිකයට ඇති කරන ලද කම්පනය විසින් ජනතාවයේ සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළයාමට නියමිතයි.

ඒ හා සමාන ලෙස පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ආනයනය කරන භාණ්ඩ වර්ග 367ක් සඳහා ආනයන සීමා පනවන බවටයි. ඇතැම් භාණ්ඩ සඳහා බදු වැඩි කරන්න, සමහර භාණ්ඩ සඳහා බලපත්‍රයක් ලබා දෙන්න. තවත් භාණ්ඩ සඳහා ඒ අවශ්‍යතා දෙකම සම්පූර්ණ කළ යුතු බව එහි සඳහන් වුණා. ඒ අනුව කොන්දේසි 03කට යටත්ව දැඩි ආනයන කොන්දේසි පනවන්න ආණ්ඩුව කටයුතු කර තිබුණා. එය එම භාණ්ඩ ආශ්‍රිත වෙළඳ ව්‍යාපාරවලට විශාල තර්ජනයක්. ඒ වගේම ඒ භාණ්ඩ ආශ්‍රිත ස්වයං රැකියාවලටත් විශාල බලපෑමක් ඇති කරනවා. “

“දැන් යල කන්නයේ වගා ආරම්භ කරන්න නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් යල කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 06ක් පමණ වගා කරනවා. නමුත් ආණ්ඩුවේ ඇස්තමේන්තුව අනුව මෙවර වගා කරන්නේ හෙක්ටයාර් ලක්ෂ 05ක් පමණයි. ඒ සඳහා අවම වශයෙන් යූරියා මෙ.ටො. 88,000ක් අවශ්‍ය වනවා. පහුගිය මහ කන්නයේ ගොවීන් උද්ඝෝෂණය කළත් අවසානයේ යම් අස්වැන්නක් ලබා ගැනීමට සමත් වුණේ ගොවීන් ඉතා අපහසුවෙන් සොයා ගත් යූරියා නිසයි. නමුත් දැන් ගොවීන් ළඟ හෝ ගම්වල වෙළඳසල්වල යූරියා ඇටයක්වත් නැහැ. ඒ නිසා මුළු යූරියා ප්‍රමාණයම අවශ්‍ය වනවා. අද වන විට පොහොර සමාගම් දෙකක් පොහොර ආනයනය කර තිබෙනවා. ඒ සමස්ත ප්‍රමාණය මෙට්්‍රක් ටොන් 1500ක් පමණයි. ඒ නිසා එළවළු වගාව, වී වගාව ආදී කෘෂිකර්මයේ ක්ෂේත්‍ර ගණනාවකට මේ රසායනික යොදවුම්වල හිඟවීම විශාල බලපෑමක් ඇති කරනවා. “

“මේ සෑම පැත්තකින්ම පෙන්වන්නේ අපේ රටේ ආර්ථිකය ගැඹුරු අර්බුදයක තිබෙන බවයි. නමුත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා ඇතුළු රාපපක්ෂ පවුල බූවල්ලෙකු සේ අපේ රටේ ආර්ථිකයත් රටත් ග්‍රහණය කර ගෙන තිබෙනවා. රාජපක්ෂ බූවල්ලාගේ අඩු විහිදුණේ නැති තැනක් නැහැ. කෘෂිකර්මාන්තය, ආර්ථිකය, ආරක්ෂාව, වාරිමාර්ග, ඩිජිටල් තාක්ෂණය, ප්‍රාදේශීය සංවර්ධනය, ක්‍රීඩාව ආදී සියල්ල රාජපක්ෂ බූවල්ලා විසින් අත්කර ගෙන තිබෙනවා. ඒ නිසා අද පවුලක් විසින් අපේ රටත් අපේ රටේ ජනතාවත් විශාල ව්‍යසනයකට කැඳවා ගෙන යමින් තිබෙනවා. කිසිදු තීන්දුවක් අවශ්‍ය වේලාවේදී, නිසි පරිදි නොගන්නා පාලනයක් අප ඉදිරිපිට නිර්මාණය තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩලයේදී නිමල් සිරිපාල කම්කරු අමාත්‍යවරයා විදෙස්ගත ශ්‍රමිකයින් එවන ඩොලර් එකක් සඳහා අතිරේකව රු. 30ක් ගෙවන බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය සඳුදා රාත්‍රියේ අනුමත කළ තීන්දුව එයයි. එහෙත් බදාදා වන විට ඩොලරය මුළුමනින්ම අත්හැරීමට තීරණය කරනු ලැබුවා. සඳුදා තීන්දුව බදාදා වන විට වෙනස් වුණා. මුදල් අමාත්‍යවරයා එක තීරණයකට මැදිහත් වෙනවා. මහ බැංකු අධිපති කබ්රාල් තවත් තීරණයක් ගන්නවා. 2

“මෙවැනි අර්බුදයක් මොහොතක සාමූහික සාකච්ඡාවක් මගින් නිවැරදි තීන්දු තීරණ ගන්නවා වෙනුවට බැසිල් රාජපක්ෂ උදේ නැගිටිනකොට තමන්ගේ හිසට එන හිතළු අද අපේ රටේ ආර්ථික තීන්දු බවට පත්වී තිබෙනවා. කබ්රාල්ගේ හිසට නැගෙන හිතළු ආර්ථික තීන්දු බවට පත් වෙනවා. ජනාධිපතිවරයාගේ ඔළුවේ එළිවෙනකොට ආර්ථික හිතළුවක්වත් ඇති වෙන්නේ නැහැ. ඔහුගේ ඔළුවට එන්නේ වෙන වෙන මනස්ගාතයි. මේ සියල්ල විසින් අපේ රටත් ආර්ථිකයක් මුළුමනින්ම බිඳවට්ටා තිබෙනවා. “

“මෙවැනි ආර්ථිකයේ සුවිශේෂී ආපදාකාරී තත්වයක් මෑත කාලයේ අප කිසිවෙක් අත්විඳ නැහැ. එය විශාලතම ආර්ථික අර්බුදයක්. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයා ජාතිය අමතා මේ අර්බුදයත්, මේ අර්බුදයට විසඳුම් යෝජනාත් රටට ඉදිරිපත් කළ යුතුයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කණ්ඩායම් අතරමං වී සිටිනවා. අලුත් ආයෝජන සිදුකරන්නේද නැද්ද ඔවුනට ගැටලුකාරී වී තිබෙනවා. පුරවැසියන්ට අද තෙල් නැතිවෙයිද, හෙට තෙල් නැතිවෙයිද යන ගැටලුව තිබෙනවා. අද වන විටත් තෙල් ගබඩා හිස් වෙමින් යනවා. තිබෙන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා නිකුත් කිරීමට අවශ්‍ය තෙල් පමණයි. පසුගිය සඳුදා මෙ.ටො. 40,000ක ඩීසල් නැවක් කොළඹ වරායට පැමිණියා. නමුත් එය ගොඩබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එයට ඩො.මි. 52ක් පමණ අවශ්‍ය වී තිබෙනවා. එම ඩොලර් ප්‍රමාණය ලබා දීමට නොහැකි වීම හේතුවෙන් සඳුදා සිට මේ දක්වා වරායේ තිබෙනවා. නමුත් ආණ්ඩුව පෝලිමේ සිටිනවා, කලබල වී සිටිනවා, ටැංකි පුරවා ගන්නවායැයි පුරවැසියන්ට බණිනවා.”

“නමුත් මේ අර්බුදයෙන් ගොඩඒමේ තමන්ගේ තමන්ගේ සැලසුම ඉදිරිපත් කරනවා වෙනුවට ජනාධිපතිවරයා පම්පෝරි කතා කියමින් ඉන්නවා. පහුගියදා 05වැනිදායින් පසුව විදුලිය නොකපන බව ඔහු කිවුවා. තෙල් අර්බුදය ඉවරයි කියනවා. ජනතාවට ඉස්සරකට සහන දෙන බව කියනවා. මෙවැනි පුරාජේරු කතා කියනවා හැරුණුකොට අර්බුදය ගැඹුරින් විශ්ලේෂණය කර විසඳුම් ලබා දීමට ඔහු උත්සාහ ගන්නේ හෝ එවැනි හැකියාවක් හෝ ඔහුට නැහැ. මීට වසරකට පමණ පෙර ඔහු ජාතිය අමතලා පරිප්පු රු 60කට සහ සැමන් රු. 100කට දෙන බව කිවුවා. ඒ මෙවැනි අර්බුදයක් තිබුණු වෙලාවක් නෙමෙයි. නමුත් මෙය වෙනස් තත්වයක්. ඔහු ඇති වී තිබෙන තත්වය පිළිබඳව වහා ප්‍රකාශයක් කළ යුතුයි. නමුත් ඔවුන් වගේ වගක් නැතිව, මනෝ ලෝකවල සුවසේ ඉන්නවා. ඔහු මේ ළඟදි ආර්ථික සභාවක් හදා තිබෙනවා. එහි මුහුණු දෙස බලන විට පෙනෙන්නේ අර්බුදයට හේතු වුණු පුද්ගලයින්ම එම සභාව නියෝජනය කරන බවයි. ඔවුන් ආර්ථික විද්‍යව කෙසේ වෙතත් සාමාන්‍යපෙළ ගණිතය විෂය පිළිබඳව අවබෝධයක් නැති පිරිස්. ආර්ථිකය අවදානම්කාරී අවස්ථාවක ජනාධිපතිවරයාගේ ආර්ථික කමිටුව එබඳුයි. මේ සියල්ලෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ නොහැකියාවයි. අපේ රටේ මූල්‍ය වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මේ මුදල් ඇමතිවරයා පහුගිය දෙසැම්බර් 10වෙනිදායින් පසුව පාර්ලිමේන්තුව අමතා නැහැ. දෙසැම්බර් කතා කරන්නේත් අයවැය අවසන් කතාව ඔහු විසින් සිදු කළ යුතුව ඇති නිසයි. මෙය අපට බැසිල් රාජපක්ෂගේ කතා ඇසීමට තියෙන අවශ්‍යතාවයක් නෙමෙයි. ඔහු මාස 03කට ආසන්න කාලයක් මේ අර්බුදය ගැන පාර්ලිමේන්තුවට කිසිවක් ප්‍රකාශ කර නැහැ. “

“මේ තත්වය තුළ අප මේ රටේ ජනතාවගෙන් අහන්නේ මේ වගකීම් විරහිතව කටයුතු කරන පවුලකට අපේ රටත් ආර්ථිකයත් තවදුරටත් ගොදුරු කිරීමට ඉඩදිය යුතුද යන්නනයි. සෑම පුරවැසියෙකුම මේ විනාශකාරීත්වයට එරෙහිව පෙරට පැමිණිය යුතුයි. අපි සූදානම් ඊට නායකත්වය දෙන්න. අද අපට සම්පූර්ණ කර ගත යුතු කරුණු තුනක් තිබෙනවා. පළමුවැන්න දිගු කාලයක් පුරා අනුගමනය කරමින් තිබෙන අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමයි. වංචාව, දූෂණය හා නාස්තිය අපේ රටේ ආර්ථික විනාශයේ විශාල පංගුවක්. රටේ භාණ්ඩාගාරය හිස් වුණත් රාජපක්ෂවරුන්ගේ ගිණුම් හිස් වී නැහැ. පහුගියදා පැන්ඩෝරා පත්‍රිකා මගින් ඔවුන්ගේ ඩොලර් කෝටි ගණනක වංචා එළියට ආවා. මේ දූෂිත, නාස්තිකාරී, අපරාධකාරී දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම දෙවැන්නයි. තෙවැන්න මේ විනාශකාරී ආණ්ඩුව ඉදිරියට යාමට ඉඩ දෙනවා වෙනුවට නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා ජනතාව පෙළගස්වා ගැනීම තෙවැන්නයි. තවදුරටත් මේ රටේ පුරවැසියන් මේ රටේ ඇති වී තිබෙන තත්වය හමුවේ අකර්මණ්‍යව සිටිනවා වෙනුවට මේ කරුණු තුන ඉටු කර ගැනීමට පාරට බහිමු, උද්ඝෝෂණය කරමු. මේ මාසයේ 20න් පසු දිනවල මේ දුෂ්ට පාලනයටත්, ආර්ථික ක්‍රමයටත්, දේශපාලන ක්‍රමයටත් එරෙහිව ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් දැවැන්ත ජනතා රැලි, උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට අප සැලසුම් කොට තිබෙනවා. තවදුරටත් කිසිදු පුරවැසියෙකුට නිහඬතාවයෙන් සිටීමට අයිතියක් නැහැ. අපි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ නිහඬතාවය බිඳින්න. මේ විනාශය කරා ගෙන යන්නේ ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි; අපේ මාතෘ භූමියයි. එය බේරාගැනීම වෙනුවෙන් පෙරට එන සියලු දෙනාට ආරාධනය කරනවා. “