counter hit xanga
February 3, 2023

මැතිවරණ යනු දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකි

Last Updated on November 29, 2022 by Lankae Cast

මේ වසරේ මතු වූ මහජන විරෝධතාවලින් අනතුරුව වත්මන් රජය සහ ජනතාව අතර නිර්මාණය වූ දුරස්ථභාවයක් පවතින බව පෙන්වාදෙන ජාතික සාම මණ්ඩලය, එම දුරස්ථභාවය අවසන් කිරීමේ පළමු පියවර ලෙස, පළාත් පාලන සහ පළාත් සභා යන මැතිවරණ දෙකම නොපමාව පවත්වන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ආර්ථික ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳ පොදු සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙන නමුත් රික්තකයක් තුළ දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කළ නොහැකි බව ද ජාතික සාම මණ්ඩලය අවධාරණය කරයි.

ජාතික සාම මණ්ඩලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මැතිවරණ යනු දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකි

ආර්ථික ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳ පොදු සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඕනෑම අනවසර විරෝධතාවක් මර්දනය කිරීමට ආරක්ෂක අංශ යොදා ගන්නා බවට ඔහු විසින් මෑතක දී කළ ප්‍රකාශය, වත්මන් ආර්ථික දුෂ්කරතාවන් තවදුරටත් උත්සන්න වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරන බවට සළකුණකි. කඩිනමින් මහ මැතිවරණයක් නොපවත්වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නීත්‍යනුකුලභාවයෙන් හෝ බලහත්කාරයෙන් දේශපාලනයේ ස්ථාවරත්වය සහතික කළ හැකිය. එහෙත් රික්තකයක් තුළ දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කළ නොහැක. පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රශ්න මෙන්ම ජාතික මට්ටමේ ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬ නැගීමට දේශපාලනඥයන් අවශ්‍ය වේ.

එමනිසා, දේශපාලන ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ලෙස දේශපාලනයේ විවිධ මට්ටම්වල මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එවිට වර්තමානයට සුදුසු යැයි හැඟෙන තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම මතය ප්‍රකාශ කිරීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය ගන්නා තීරණ සම්බන්ධයෙන් රජයට මගපෙන්වීමක් සහ ජනතාවට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් එමගින් ලැබෙනු ඇත. පළාත් පාලන මැතිවරණය වසරක කාලයක් කල් දමා ඇති අතර, එය තවදුරටත් කල් දැමීමේ ඇති නීතිමය හැකියාවේ උපරිමයට පැමිණෙමින් තිබේ. එමනිසා මෙම මැතිවරණ පැවැත්විය යුතුය.

2018 සිට පළාත් සභා මැතිවරණය කල් දමා ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්කෙරෙන පළාත් සභා විසින් රාජ්‍ය පාලනයේ බර බෙදාගනු ලබයි. පළාත් සභා හරහා බලය බෙදා හැරීමේ අරමුණ වූයේ රට තුළ ජනවාර්ගික සහජීවනය වර්ධනය කිරීමයි. එම මැතිවරණ කල්දැමීම නිසා, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද, බලය බෙදීම විහිළුවට ලක් කරන ආණ්ඩුකාරවරුන් විසින්, පළාත් පාලනය කරමින් සිටින තත්වයක් නිර්මාණයවී තිබේ. රටේ 75 වැනි නිදහස් සංවත්සරය සමරන අවස්තාව වන විට දෙමළ ජනතාවට බලපාන ගැටලුවලට විසඳුම් ලබා දෙන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

මේ වසරේ මැයි සිට ජූලි දක්වා කාලය තුළ අගමැතිවරයා, ඇමැතිවරු සහ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවූ මහජන විරෝධතාවලින් පසුව රජය සහ ජනතාව අතර නිර්මාණයවූ දුරස්ථභාවයක් පවතී. මෙම දුරස්ථභාවය අවසන් කිරීමේ පළමු පියවර ලෙස, පළාත් පාලන සහ පළාත් සභා යන මැතිවරණ දෙකම නොපමාව පවත්වන ලෙස ජාතික සාම මණ්ඩලය ඉල්ලා සිටියි. එමගින්, නීත්‍යානුකූල සහ ජනතාවගේ පිළිගැනීම ඇති තීරණ හරහා දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ රජයට ජනතාව සමඟ පුළුල් ලෙස සන්ධානගතවී කටයුතු කළ හැකිය.