counter hit xanga

ඇත්තෝ ගුවන්ගත වේවි… නැත්තෝ දිවංගත වේවි..

Last Updated on May 1, 2021 by Desman Chathuranga

ඉන්දියාවට අලුත් දෙවියෙක් හදාගන්න එක මහ කජ්ජක් නෙවෙයි. බයිස්කෝප් තුන හතරක චණ්ඩීන්ට වැටෙන්න නෙලුවොත් නළුවා දෙවියෙක්. ක්‍රිකට් මැච් කිහිපයක සෙන්චරීස් දැම්මොත් කොල්ලා දේව දූතයෙක්. එහෙම බිහිවෙච්ච හැට හුටහමාරක් දෙවිවරුන් විකුණාගෙන මඩිය තරකර ගන්න පූජකයන්ට හිතේ හැටියට යකා නටන්න දෙන එක මෝඩි මහත්තයාගේ දේශපාලන උපායක්. ඒ බව තේරුම් ගන්න බැරි නූගත් ඉන්දියානුවන්ටනම් නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා දෙවියෙක් නෙවෙයි දිව්‍ය ලෝකයක්. එහෙම කියන ගමන්ම නා නා ප්‍රකාර මහා ජනසන්නිපාතයක් එක්ක ඉන්දියාව ඉස්සරහට ඇදගෙන යන්න උන්නැහේ දරන වෑයමත් අගය කළ යුතුමයි.

“අගමැතිතුමාගේ දක්ෂ, සංවේදී, කැපවූ සහ දූරදර්ශී නායකත්වය යටතේ ඉන්දියාව කෝවිඩ් -19 පරාජය කරන ලද බව අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. වෛරසයට එරෙහි සටනේදී ඉන්දියාව ආඩම්බර හා ජයග්‍රාහී ජාතියක් ලෙස ලොවට පෙන්වා දීම සම්බන්ධයෙන් පක්ෂය සිය නායකත්වයට අනිවාර්යයෙන්ම ප්‍රශංසා කළ යුතුයි. ” මීට සති කිහිපයකට කළින් පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ ආණ්ඩු කරන භාරතීය ජනතා පක්ෂය (BJP)විසින් එහෙව් යෝජනාවක් සම්මත කර ගත්තා.

බීජේපිය මුලින් එහෙම කිව්වට දැන් ඉන්දියාව හෙල්ලිලා ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අල්ලපු වත්තේ ඉන්න අපිට ඇති අවදානමත් සුළුපටු නැහැ. කොරෝනා මරණ ප්‍රමාණය බුබුළු ගසමින් උඩට එනවා. දවසකට සිදුවන මරණ ප්‍රමාණය 3000ත් පැනලා ඉවරයි.මිනිස්සු මැරෙන්නේ මීමැසි පොදියකට භූමිතෙල් ගැහුවා වගේ. නව දිල්ලිය වැනි ප්‍රධාන නගර විසාලා මහනුවර පරාදයි.

දැන් ඉන්දියාවට තියෙන අළුත්ම ප්‍රශ්ණය මිනිස්සු ජීවත් කිරීමම නෙවෙයි. මැරෙන මිනිස්සු ආදාහනය කරන්නෙ කොහොමද කියන එකයි. සුසාන භූමි ඉදිරිපිට තමන්ගේ පවුලේ අයගේ මළසිරුරු ඔතාගෙන පැය ගණන් පෝලිමේ ඉන්න මිනිස්සු එමටයි. ඉඩ මදි නිසා දැන් නවදිල්ලියේ Car parks හා ක්‍රීඩා පිට්ටනි වලත් සමූහ ආදාහනය සිදුකරනවා. දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වූ අසරණයන්ගේ සංවේදී පිංතූර ලොව පුරා මාධ්‍ය හරහා සැරිසරනවා. සමහර වාර්තා වලට අනුවනම් මරණ ප්‍රමාණය මීට වඩා පස් ගුණයකින් පමණ වැඩි විය හැකියි. මරණ පුළුස්සා දමන්නට දර නැති නිසා තියෙන ගස් ටිකත් කපන්න ලෑස්තියි කියලා අද මාධ්‍ය වාර්තාවක සඳහන් වුණා.

වසංගතය ඉන්දියානුවන්ගේ ආත්ම විස්වාසය බිංදුවටම බස්සලා තිබෙනවා. ඒත් කොරා්නා හමුවේ මන්දගාමීව වැඩ කරමින් ඉල්ලන් කාපු පළමු නායකයා මෝඩි නොවෙයි. ඒ වගේම කළින්ම අපි තමයි හොඳටම කළේ කියලා දුවන්නන් වාලේ දුවලා සෙත්තපෝචිචි වෙච්ච පළමු වැන්නාත් මෝඩි නොවෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිට ජොකෝ විඩෝඩෝ දක්වා ගොඩක් උන්නැහේලා ඒ ලිස්‍ට් එකේ ඉන්නවා.
ඒත් මෝඩිගේ ආණ්ඩුව ඒ හැමදෙනාටම වඩා විනාශකාරී තීරණ කිහිපයක් ගත්තා. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය දිනාගන්න විශාල මැතිවරණ රැළි පැවැත්වූවා. කුම්බමේලා හින්දු ආගමික උත්සවය උඩ දම දමා ප්‍රවර්ධනය කළා. ඒ බීජේපියේ හින්දු ජාතිකවාදය කට්ට කුමංජල් වලින්ම මාකට් කර ගන්න පුළුවන් නිසා බවයි ලෝප්‍රකට Financial Times පුවත්පතේ මතය.

කොහොමින් කොහොම හරි ඊයෙ පෙරේදා වෙනකම්ම සමීක්ෂණයක් තිබ්බොත් මෝඩි මහත්තයාගේ ජනප්‍රියත්වය 70% ක් බවයි කියවෙන්නේ. කොරෝනා හරියට පාලනය කළා කියල ගස්සගත්ත සීල් එක තමයි ඒකට හේතුව. මෝඩිගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න ආසන්නම හේතුව තමා කොරෝනා අස්සේ සහන මල්ලක් දීපු එක. මාසයක් පාන් සලාකයකට වකුගඩුවක් විකුණනන්න සූදානම් අසරණ මිනිස්සුන්ට මෝඩිගෙ සහන මල්ල ඉහටත් උඩින්.

මෝඩි මහත්තයා බලයට එන්නේම හින්දෝත්තමවාදය කරපින්නා ගෙන. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය කියල ලේබල් එකක් අලවාගෙන හිටියාට වැසිකිළි පෝච්චියකින් උනත් රවට්ටන්න පුළුවන් බහුතරයක් එහේ ඉන්නවා. එහෙව් රටක මෝඩිගේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාකට් කරන්න පුළුවන් මරු භාණ්ඩ තුනක් ඉන්දියාවේ තියෙනවා. එකක් තමයි ඉන්දියාව අල්ලන් ඉන්න දෙයියො සෙට් එක. ඊළඟට හිමාල අඩවිය. ඒ වගේම ගංගා නම් ගංගාව.

දැන් මෝඩි මහත්තයාට ඉල්ලා අස්වෙන්නැයි සමාජ මාධ්‍ය වල කොලු කුරුට්ටෝ ගේම ඉල්ලනවා. ඒත් ඒකට අපේ හිතවත් සකර්බර්ග මහත්තයා ඉඩ දෙන්නේ නැහැ. එයාගෙ ලොක්කා වූ බයිඩන් ජනාධිපතිතුමා ඉඩදෙන්නෙත් නෑ. මොකද නැගී එන චීනයට එරෙහිව කලාපයේ බලය පතුරුවන්න ගාන්ධිලාට වඩා මෝඩිලා වැදගත් බව උන්නැහේ හොඳින්ම දන්නවා.

කොහොම නමුත් මෝඩි ෆේල් නෑ. ළඟදී හඳට‍ත් රොකට් යැව්වා. දේවදාසලා ලක්ෂ ගාණක් අමුඩ ගස්සලා වතුරට බස්සන මංගල්ලෙකට ඉඩ දුන්නා. එහෙම නොකළොත් තමන් ගොඩනගා ගත් දේශපාලන දේවාලයට සීල් තියන්න වෙන බව උන්නැහේ දැන ගත්තා. මෝඩි මහත්තයා එක පාරටම නත්තල් පප්පා වගේ රැවුලක් වවා ගෙන අළුත් වටයකින් අඩව්වකට ලක ලෑස්ති වුණේ ඒකයි. එතුමා අධිවේගයේ යද්දී ඒ වේගයෙන් එලවන එක මැද මාවතේ ගමන් කරන ගාන්ධිලාට ලෙහෙසි නැහැ. මහත්මා ගාන්ධිලා, ජවහර්ලාල් නේරුලා හීන මවපු ඉන්දියාව නෙවෙයි දැන් තියෙන්නේ.

ඉන්දියාව අපේ අසල්වැසියා. ලොකු අයියා. අපේ ළඟම නෑයෑ. අපේ ඉතිහාසයම ලියැවෙන්නේ ඉන්දියාව එක්ක. ලොකු අයියා අපිට පරිප්පු දාපු අවස්ථා වගේම උදවු කරපු හැටිත් අපි අමතක කළ යුතු නැහැ. උපන්ගෙයි මෝඩ ගති තිබුණත් බහුතර ඉන්දියාන්වන් අවංකයි.අහිංසකයි.
අළු දුවිලි වගේ මැරී වැටෙන මිනිස්සු හරිම අසරණයි. සල්ලිකාරයන්ට, ධනකුවේරයන්ට මේ වසංගතයෙන් පැන යන එක අමාරු නැහැ. ඇත්තම කිව්වොත් ඇත්තෝ ගුවන්ගත වේවි. නැත්තෝ දිවංගත වේවි.

-ශානක ලියනගම ( ලෝකය එකම යායක්)-