counter hit xanga
October 18, 2021

සිංහල ආහාර හා විහරණ නැතිතැන කොවිඩ් පාලනය අසීරුයි!

FOODC lankaecast

Last Updated on May 31, 2021 by Panduka Herath

කොවිඩ් හෝ කොරෝනා යනුවෙන් හඳුන්වන ප්‍රතිශ්‍යා තත්වයේ රෝගය ආගන්තුකව මිනිස් සිරුරට පැමිණියකි. ලෝකයේ ඖෂධ මාෆියාව විසින් සහ ලෝක බල ආධිපත්‍ය ට නතු වූ විද්‍යාඥයන් විසින් චීනයේ කරන ලද අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙසට මෙම ආගන්තුක වෛරසය පැතිරීම සිදු විණි යැයි පළ කරන මතයද අපට ඉවත දැමිය නොහැකිය.වෛරසය පිටුපසින් පැමිණි එන්නත්කරණය මෙම ඖෂධ මාෆියාවේ කූඨප්‍රාප්තිය ලෙසට ද හඳුන්වනු ලැබේ.කෙසේ වෙතත් ලංකාවට මෙම ආගන්තුක රෝගය පැමිණි මුල් අවස්ථාවේ දී එය පාලනය කරන ලද්දේ රට පුරා ඇඳිරි නීතිය ඇතිකොට සංචරණ සීමා දැමීමෙනි. නමුත් අවාසනාවකට සංචාරකයන් ගෙන්වා ගැනීමට තිබෙන හදිස්සිය මත දැන් දෙවන වතාවටද වඩා බිහිසුණු කොරෝනාවක් රට තුළට ඇතුල් කරගෙන තිබේ.

මෙම රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ දී මාස කීපයක් ජනකාවට නිවෙස් වලට වී සිටීමට සිදු විය. ඒ කාලවකවානුවේ දී තමන්ගේ ගෙවත්තේ කුඹුරේ වැඩපළ කරමින් බොහෝ නිසංසල ලෙස ඔවුහු ජීවිත ගත කළහ. තමන්ගේ රැකියා අහිමි වුවද මෙම ජීවනරටාව ගත කිරීමට ඔවුහු පුරුදු වූහ. ඊට අමතරව ඉඟුරු කොත්තමල්ලි ඇතුලු දේශීය ජීවන රටාවේ පුරුදු වී තිබූ ඖෂධ වර්ග රාශියකට නැවත ප්‍රවිෂ්ඨ වීමටත් හැකි විය. මෙම තත්වය නිසා කාලයක් තිස්සේ අමතක කරනු ලැබූ සිංහල ජීවන රටාවේ ස්පර්ශය ලබන්නට බොහෝ දෙනෙකුට හැකිවිය.එහි ප්‍රතිඵලය වූයේ රෝගය පැතිරීම පාලනය වීමයි.

බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ද පසුව නිදහස ලැබීමෙන් අනතුරුව ලබා දුන් අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා නිසාත් අපගේ මුතුන් මිත්තන් ගේ ජීවන රටාව ක්‍රමානුකූලව ජනතාවගේ බැහැර විය.ගැමියන් ගේ දරුවන් නගරයට ප්‍රවිෂ්ඨව දොස්තර සහ ඉංජිනේරු වෘත්තීන්ට පිවිසීම සිදු විය.මෙවැනි පුද්ගලයන් තමන්ගේ දෙමාපියන් අනුගමනය කළ සරල ජීවන රටාව අවඥාවට ලක් කළහ. සිංහල ආහාර හා විහරණ ගර්හාවට ලක් කළහ. උදාහරණයක් වශයෙන් රාත්‍රී ආහාර වේලට කරවිල සහ වම්බටු එක් කර ගැනීම දෙමාපියන් සිදු නොකලද ඒ ගැන තැකීමක් නොකල අලුත් පරපුර එයට විරුද්ධව මත පළ කළහ.උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුන කල්හි ඉඟුරු කොත්තමල්ලි පානය කොට ආම පාචනය කරගත් දෙමාපියන් ලුණු කැඳ ලබා ගැනීමෙන් ලංඝනය කරගත් පුරුද්දක් තිබුණි.

ආම පාචනය සිදු වූ විට උණ බැස යන අතර දෙහි කොළ පාවට්ටා කොළ ආදිය තම්බා ශරීරයටම දුම්ඇල්ලීමෙන් තවදුරටත් උණ බැස ගොස් සැහැල්ලුව ඇති කරගත්හ.දරුවන්ට මේ සිරිත් විරිත් අරහං විය.’ඔවුහු උණක් හෙම්බිරිස්සාවක් පැමිණුන කල්හි වේදනා නශකයක් ගෙන වැඩි දුරටත් අවශ්‍ය නම් දොස්තර වරයෙකු මුණ ගැසී ප්‍රතිකාර කර ගත්හ. ගර්භණී මාතාවකටසහ සූතිකාවකට දෙන ආහාර වට්ටෝරු රැසක් අප අතර තිබුණි. එකක් නම් සූතිකාවකට නැති නම් ගර්භය සැහැල්ලු කර ගත් කාන්තාවකට දෙන කායම් හොද්දයි.ගර්භය හොඳින් පිරිසිඳු කොට ලේ දොස් ඉවත් කර ගැනීමට දෙන මේ කායම් හොද්ද නූතන ඉස්පිරිතාල වලට තහනම් විය.නිවසේ දී දරු ප්‍රසූතිය සිදු කළ කාන්තාවන් ක්‍රමයෙන් අඩු වීම නිසා කායම් හොද්දත් දැන් අභාවයට යමින් ඇත.කායම් හොද්දත් මිරිස් හොද්දත් තැම්බුම් හොද්දත් යන වර්ග තුනම අවස්ථා තුනක විවිධ හේතු කාරණා මත දෙන ඖෂධීය ආහාරයන්ය.මෙම ආහාර විහරණ ප්‍රතික්ෂේප කිරීම ජාතියේ වර්තමාන ඛෙදවාචකයට ප්‍රබල හේතුවකි.

අතීත මුතුන් මිත්තන් සොබා දහමේ තිබෙන ආහාර ලබා ගැනීමට වාසනාවන්ත විය. පරිසරයේ ඉබේ වැවෙන මේ ආහාර වර්ෂයේ සෑම අවස්ථාවකම සෑදෙන්නේ නැත. කොස් කාලයට කොස් දෙල් කාලයට දෙල් විවිධ වන පළතුරු මෙන්ම ඖෂධීය ගුණයෙන් හෙබි පලා වර්ග ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.මානව ආරම්භයේ දී ස්වයං ජාත ඇල් වීය ලැබුණු සේම මෙම පැලෑටි වර්ග ද ආහාර පිණිස සුදුසු දැයි යන්න හඳුනාගැනීමක් විය. එසේම ඒ ආහාර සකස් කර ගැනීමේ දැනුමක්ද මේ ජනතාවට තිබුණි.පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි මෙම දැනුම ඇත්තෙන්ම විශ්මිතය. විවිධ එළවලු වර්ග යන්හි තිබෙන සැර ගතිය කසට ගතිය මෙන්ම විස ගති ඉවත් කර ගැනීමට ඔවුහු කලේ තම්බා දිය හැරීමත් ගොරක හෝ සියඹලා භාවිතයත්ය. වෙල් අල කොළ ඇඹුල උදාහරණයට ගත හැකිය. ගොරක අණ්ඩක් දෙකක් දමා පෝෂණීය රසවත් ආහාරයක් ඉන් සකස් කරගත්තේ විය. වෙල් වැඩ කරන කාලයට මේ ඇඹුල කෙතරම් ප්‍රයෝජනවත්දැයි ගොවීන් දනී.වෙලට යන ගෙවිලියන් අල කොළ ගිරාපලා ලුණු විල මුගුණ ගොටුකොළ පමණක් නොව හතු වර්ගද ගෙදර රැගෙන එති. අල කාලයට අල ගලවා ගත් විට වේල් ගණනාවකට පිරිමහින බව ඔවුන් දැන සිටියහ.හේන ඔවුන්ගේ ආහාර ගබඩාවයි. ඉරිඟු කුරහන් මෙන්රි තණ පමණක් නොව අබ අසමෝදගම් තම්පලා මෑ හේන් මිරිස් ලබු පුහුල් වට්ටක්කාද ඉන් ලබා ගැනීමට හැකිවේ.නිකිණි මස ආරම්භයේ සිට නවම් මැදින් මාස දක්වාම මේ ආහාර සංචිතය වරින් වර ප්‍රයෝජනවත් විය.

මෙකී ආහාර විහරණ පිළිබඳ දැනුම පරම්පරාවේ පැවැත්ම අනුව ගලා ගෙන ගියද නිදහස් අධ්‍යාපනය ආරම්භ වීමත් සමග යම් කිසි කඩා වැටීමක් සිදු වූ බව පැහැදිලිය. පාසලේ ඉගෙන ගන්නා දරුවාට මේ පාරම්පරික දැනුම පාසලෙන් දීමට උත්සාහ කලේ නැත. සියල්ලම විද්‍යාවේ කෝවේ දමා මකා ගත් විට භෞතික සම්පත් සියල්ල ලැබෙන්නේ යැයි උගන්වාලූහ.මේ නිසා අතරමං වුණ දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු තමන්ගේ ශ්‍රේෂඨ ඉතිහාසයට අවමන් කිරීමට පුරුදු වූහ. ඉන්පසු විශ්ව විද්‍යාල මට්ටමේ දී ඒවා වියුක්ත දැනුමක් ලෙසට ඇතැම් විට උකහා ගත්තද ගැමි ජීවන රටාවෙන් පරිබාහිරව ක්‍රියාකිරීම මත මේ දැනුම ජීවිතයට එකතු වන්නේ නැත. . වර්තමාන කොවිඩ් වසංගතය හමුවේ අප මුහුණ දෙන බරපතලම අභියෝගය මෙයයි.

පළමු කොවිඩ් රල්ල අවසන් වූ පසු ජනතාව සුපුරුදු පරිදිම කොත්තු රයිස් කඩ සොයා ගෙන ගිය ආකාරය අප දුටුවෙමු. නිවසේ සාදා ගත් ආහාරයෙන් ලැබෙන ඖෂධීය ගුණය මේ ජනතාවට වෙළඳ පළ ආහාරයෙන් ලැබෙන්නේ නැත.වස විස සහිත කිරිපිටි රස කාරක මෙන්ම විවිධ කෘතිම පාන වර්ග පරිහරණයෙන් සිදුවන වින්නැහිය සුළු පටු නොවේ. ගෙදර දොර ළිඳෙන් ලැබෙන පිරිසිඳු ජලය පයිප්ප වතුරෙන් ලැබෙන්නේ නැත.එවැනි පුද්ගලයන් තුල ව්‍යාධි ක්ෂමතාවය නොහොත් ප්‍රතිශක්තිය ඇතැයි සිතන්නට නොහැකිය.වසංගත තත්වයකදී රෝග කාරක විසබීජය ක්ෂණිකව සිරුර පුරා දුවන අතර ආහාර විහරණ පිළිබඳ තිබෙන අල්ප සහ විකෘති දැනුම නිසා තත්වය තවදුරටත් උත්සන්න වෙයි.නිතර ශීතල ජලය පානය කිරීම අයිස්ක්‍රීම් සහ ශීත කළ බීම වර්ග මෙවැනි ලෙඩ වැඩි කර දීමට හේතු වේ. දේශීය වෛද්‍ය ක්‍රමය අනුව රෝගයක් සමනය කල හැක්කේ ආහාර විහරණ සහ චිකිත්සාව මතයි.

බටහිර ලෝකයෙන් පැමිණි නූතන දැනුම තුළ ආහාර විහරණ පිළිබඳ ධර්මතාවයක් නැත. වෙළෙඳ පලේ විකිණීමට තිබෙන බොහෝ ආහාර වානිජ පරමාර්ථ සහිත විස එක් කල ආහාරයන්ය.වර්තමාන සෞඛ්‍ය ක්‍රමවේදය තුළ මෙවැනි අරමුණු අගය කරන අතර කෘතිම ඖෂධ වැඩි වැඩියෙන් ගැනීමට අනුබල දෙයි.එහෙත් වසංගත ව්‍යසනයක් පැමිණි පසු ඔවුන්ට ඉතිරි වන්නේ නිරෝධායනය පමණි. කොවිඩ් ව්‍යසනය තුළින් මේ පාඩම ඉගෙන නොගත හොත් ජාතියක් වශයෙන් අපට ඉදිරියට යෑමට හැකිවන්නේ නැත.

මතුගම සෙනෙවිරුවන්