counter hit xanga
March 26, 2023

මන්ත්‍රී වෙස්ගෙන ජාතික ආරක්ෂාව අනතුරේ දමන්නෝ!

Last Updated on May 2, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරිරෙන විට විපක්ෂයේ බහුතරයකගෙන් විවිධ හෙළිදරවු සිදුවු බව නොරහසකි. ඇතැම් ඒවා සaජුවම දේශපාලයය ඉලක්ක කරගත් හෙළිදරවුය. ඒ කාරයට හෙළිදරව් කල එක් අයෙකු වන්නේ හරීන් ප්‍රනාන්දුය.හරීන් අවසානයට නතර වුයේ රෝහලේය. ඔහු කියන් විදියට හදවතේ සැත්කමක් පවා කර තිබේ. හරීන් අත් අඩංගුවට ගන්න එපා කියා සජිත්, ජනපතිගෙන්ද ඉල්ලා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද දමා තිබේ.ජූලි 14 තෙක් හරින්ව අත් අඩංගුවට ගන්නේ නෑ කියා නීතිපතිවරයාද මේ වනවිට දැනුම් දිමක් කර තිබේ. ඒ නිසාම හරීන් ගැන දැනට කතා නොකර ඉමු.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද පසුගියදා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බරපතල හෙළිදරව්වක් කර තිබේ.එය දේශපාලනිකද නැත. මන්ත්‍රී නලින් කියන්නේ

පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් හෂීම් නමැත්තාට මැලේසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ SIS ප්‍රධානි මේජර් ජෙනරල් සුරේෂ් සලේ හමුවූ බවත්,ඔහු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම්ට සහාය දුන් බවත් ය. ඊට අමතරව යුද්ධ පුහුණුවක් සඳහා විදේශගතව සිටියදී එය අවසන් වන්නට පෙර මෙරට බුද්ධි අංශයේ ප්‍රධාන තනතුරක් ලබාදී ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කල අතරම මේ සම්බන්ධයෙන් සලේ මහතා පාස්කු කොමිසමට සාක්ෂි දීමට නොකැඳවූ බව මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියා. එය බරපතල චෝදනාවක් මෙන්ම හෙළිදරව්වක්ද වන බව නොරහසකි. මේ සියල්ලම මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙමින් ය.

නලීන් බන්ඩාර සිය චෝදනාව ඉදිරිපත් කර ඇත්තේ සහරාන් සහ මේජර් ජෙනරාල් සුරේෂ් විසින් පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට රහසිගතව සාක්ෂි දැරූ පුද්ගලයෙකු විසින් කරන ලද හෙළිදරව්වක් තමන් සතුව ඇති අකාරයටය. එය හරීන්ගේ අනාවරණයන්ට නොදෙවෙනිය.

කෙසේවෙතත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුරේෂ් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කල අතර මන්ත්‍රීවරයා කල එක් චෝදනාවක් සදහා අධ්‍යක්ෂවරයා එවලේම පිළිතුරු දිමටද කටයුතු කර තිබේ.එනම් පාස්කු කොමිසමට සාක්ෂි දීමට නොකැඳවූ බවට එල්ල කල චෝදනාවයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා සදහන් කර ඇත්තේ තමන් සය වතාවක් ගොස් පාස්කු කොමිසමට සාක්ෂි ලබාදුන් බවයි.ඒ අනුව නලින් බන්ධාර අඩුම තරමේ සරල තොරතුරු පවා නොදන්නා බව තහවුරු වි තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ සදහන් වන්නේ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් එම ප්‍රකාශය තුළින් තමාගේ මෙන් ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවීමට ඉඩ ඇති බවයි.

නලින් CID ගිහින් කිවේ මොනවාද?

නලින් බණ්ඩාරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටප්‍රකාශ සටහන් කර ගැනිමට හැකිය.ඒ සදහා අවස්ථා කිහිපයක්දිම නලින්ව ගෙන්වා තිබේ.මන්ත්‍රී නලින් බන්ධාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමන්ගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් පවසා ඇත්තේ මොනවාද?

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව ඔහු කළ චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඔහු සතුව නැති බවත් Lankaenews ඇතුලු වෙබ් අඩවි කිහිපයකින් උපුටා ගත් කරුණු කිහිපයක් පාදක කරගනිමින් එම චෝදනාව සිදුකර ඇති බවත් ය. ඒ හැරෙන්නට ඔහු චෝදනා පිළිබඳ සාක්ෂි හෝ වෙනත් ස්වාධීන තොරතුරු කිසිවක් ඔහු සතුව තිබි නැත. එය මොනතරම් ඛේදවාචකයක්ද!

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජනතාවගේ නියෝජිතයෙකු ලෙස පැමිණි අයෙකුගේ ප්‍රතිචාරය එයනම් අගුපිල් වල සිට කෑ මොර දෙන්නන් ගැන කවර කතාද?

ඒ අනුව එක් කරුණක් ඉතා පැහැදිලිය. හරීන්ගේ සිට නලින් දක්වාත්, ජාත්‍යන්තර මුදල් මත නැටෙවෙන සෑම රූකඩ වේදිකා මත මොරදෙන සියලුම දෙනා සිදුකරමින් සිටින්නේ කුමක්ද? ඔහුන්ගේ ස්වභාවය කුමක්ද?

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරින් සිතන්නේ ජනතාවගේ මනසෙහි කුණු ගොඩක් දැමීමෙන් තම වැරදි වසන් කළ හැකි බවයි. ඔවුන්ගේ එකම රාජ්‍ය සේවය වන්නේ ඔවුන්ගේ මනසට එන ඕනෑම ජරාවක් සමාජගත කිරීම සහ චරිතය ඝාතනය කිරීම සහ පටු ප්‍රචාරණය සඳහා රජයේ නිලධාරීන්ගේ හෝ වෙනත් පුද්ගලයින්ගේ කීර්ති නාමයට හානි කිරීම හා එමගින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් තෘප්තිමත් කර ගැනිමය.

සාක්ෂි නොමැති බිහිසුණු චෝදනා!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂා නනායකාරා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,අශෝක අබේසිංහ ද එවැනිම බරපතල චෝදනා පසුගිය කාලසීමාව තුල කරනු රටේ ජනතාව් නිරන්තරයෙන් දැකපු දෙයකි. නමුත් මෙම කිසිදු බිහිසුණු චෝදනාවකට අදාළව දැක්වීමට විශ්වාසදායක සාක්ෂි නොමැත. රටක ජාතික ආරක්ෂාව ඉතා වැඩගත් කරුණකි. 2015 දි ජාතික ආරක්ෂාවේ බිඳවැටීමෙන් ඇති වු ඛේදවාචකය අප්‍රියෙල් 21 ප්‍රහාරයයි.එම නිසා යම් අයෙකු ජාතික ආරක්ෂාවට අදාළව යම් කරුණක් හෙලිකරන්නේ නම් අදාළ චෝදනා රට සහ ජනතාව ඉදිරියේ සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බව අපගේ මතයයි.එය රටේ ජනතාවගේද මතය වනු නියතය.

මේ රටේ බුද්ධි අංශ මෙම අශිෂ්ට දේශපාලන කඳවුරේ ගොදුරක් බවට පත්වීම නව අත්දැකීමක් නොවේ. වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් රටේ බොහෝ බුද්ධි අංශ නිලධාරීන් අහිමි වී ස්ථිරවම අක්‍රීය වී ඇත. ඉතිහාසය පුරාම මේ සඳහා උදාහරණ තිබේ. විශේෂයෙන්ම විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය තුල එය බහුලවම දකින්නට ඇති කරුණකි.පසුගිය යහපාලන සමයේද එය රටේ ජනතාව හොදින්ම දුටු දෙයකි.

නින්දිත ලෙස භාවිතා වන මන්ත්‍රී වරප්‍රසාද!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විමත් පාර්ලිමේන්තුව තුල ඇති වරප්‍රසාද හේතුවෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බලය අනිසි ලෙස භාවිතා කරමින්, කිසිදු වගකීමක් හා වගවීමකින් තොරව ඕනෑම අශිෂ්ට කතාවක් කිරිමට සමත් වන අතර ඒ හරහා ආරක්ෂක අංශ වලට එල්ල වන බලපෑම් පිළිබඳව කිසිදු තක්සේරුවක් ඔහුන් සතුව නැති බව පෙනේ.

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කරන ආකාරය නින්දිතය. මේ රටේ සෑම පුරවැසියෙක්ම ඒ ගැන පිළිකුලින් යුතුව බලන බව දැන් පැහැදිලිය. තම වගකීම් ඉටු නොකර තම අසාර්ථකත්වය වසන් කිරීම සඳහා වෙනත් කෙනෙකුට දොස් පැවරීමේ නිර්ලජ්ජිත පුරුද්ද මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් උපත ලැබූ කුසලතාවයක් ලෙස පෙනේ.

සෑම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවෙන් පිටත පමණක් නොව පාර්ලිමේන්තුව තුළද වගකිව යුතුය.එය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.එය එසේ නොවන්නෙ නම් ඊට අදාළව නීති සකස් විය යුතුය.එසේ නොමැති නම් එවැනි මන්ත්‍රීවරුන් අවම වශයෙන් වසරක් හෝ ඊට වැඩි කාලයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යවා රටක් ඉදිරියේ හැසිරීමට අවශ්‍ය මූලික විනය ඉගැන්විය යුතුය.මන්ද දේශපාලන අශිෂ්ටත්වයේ මෙම ප්‍රාථමික සංස්කෘතියේ අවසානය දක්වා අප ක්‍රියා නොකරන්නේ නම් අපට රටක් ඉතිරි නොවන නිසාය.

අවසන වශයෙන් කිමට ඇත්තේ මන්ත්‍රීවරුන් ලෙස වෙස්වලාගෙන ජනතාවගේ බලය අනිසි ලෙස භාවිතා කරන නරුමයන් නීතිය හමුවට පැමිණවිමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළක් වහාම සකස් විය යුතුය. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද එයට හරස් විය යුතු නැත.එයට ඉඩද නොතැබිය යුතුය.ජනතාවගේ එකම අපේක්ෂාව වන්නේද එයයි.

-පණ්ඩුක හේරත් –