counter hit xanga
October 22, 2021

2024 ට “ඞීල්” දේශපාලනය වලංගු නැත!

පොහොට්ටුව තුළ ජනපති-අමාත්‍යවරු සහ ජනපති-මන්ත‍්‍රීවරු අතර තිබිය යුතු ප‍්‍රමාණයේ කතිකාවතක් නොමැත. දුරස්ථභාවයක් ඇත. අමාත්‍ය මණ්ඩලය තුළ කැපී පෙනෙන පළමු පෙළේ හෝ දෙවන පෙළේ නායකයන් මතු වී නැත.

Last Updated on June 18, 2021 by Panduka Herath

2019 නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ නව විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූහ. මීළඟ ජනාධිපතිවරණය නියමිත 2024 දීය. දැනටමත් කොවිඞ් හමුවේ මාස 60න් මාස 22ක් ගෙවී ගොස්ය. ඉතිරිව ඇත්තේ මාස 38කි. අවසන් වසර උදාවන විට යළි ජනාධිපතිවරණ උණුසුම මතුවනු ඇත. එසේනම්, ගෝඨාභයට වැඩ කරන්න ඉතුරුව ඇත්තේ අවමව මාස 28කි. උපරිම මාස 38කි. මේ පවතින යථාර්ථයයි.

ශ‍්‍රී ලංකාව වර්තමානයේ ති‍්‍රත්ව අර්බුදයකට මුහුණ පා සිටි. ගෝලීය ආර්ථික අවපාතය, ගෝලීය කොරෝනා වසංගතය සහ දේශීය ආර්ථික අර්බුදයය. මුල් දෙක පාලනයෙන් බාහිර සාධකයි. තුන්වැන්න, අපේ නිර්මාණයක් යැයි කීවොත් නිවැරදිය. දේශීය ආර්ථික අර්බුදයද රට මින් පෙර මුහුණ නොදුන් අර්බුදයකි. රාජ්‍ය ආදායම, විදේශ විනිමය, ගෙවුම් ශේෂය, ප‍්‍රාග්ධන අර්බුදය සහ ණය උගුල එහි ප‍්‍රධාන ලක්ෂණයි.

2005 – 2020 දක්වා ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙහි (එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය) නායකත්වය අර්බුද මතුවුනි. ඉදිරි වසර 10 තුළද මතුවනු ඇත. ඊට හේතුව, ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙක තුළ පළමු පෙළේ සහ දෙවන පෙළේ නායකයින් මතු නොවීම නිසා ජාතික නායකත්ව අර්බුද නිර්මාණය වීම පුදුමයට හේතුවක් නොවේ.

මෙම දේශපාලන ධාරාවන් දෙකට අදාල නොවූවද, බාහිර සාධක හේතු කොටගෙනද, ජාතික මට්ටමෙන් අර්බුද මතුවිය. ඒවා පළමුවන ජාතික විමුක්ති කැරැල්ල (1971), කළු ජූලිය (1983), තිස් වසරක ත‍්‍රස්තවාදී යුද්ධය, 1988 – 89 ඝාතන දේශපාලනය (දෙවන ජ.වී.පේ. කැරැල්ල) ජාතික මට්ටමෙන් අනාගත නායකයන් රැසක්ම රටට අහිමි විය. (පේ‍්‍රමදාස, ලලිත්, ගාමිණී, රංජන් විජේරත්න, විජය කුමාරතුංග, හර්ෂ අබේවර්ධන ඉන් සමහරකි.)

ඉදිරියේදී මතුවන්නාවූ ජාතික නායකත්ව අර්බුදය

ඉදිරියේදී මතුවන්නාවූ ජාතික නායකත්ව අර්බුදයට බලපා ඇති මනෝමූලික සාධක තේරුම් ගැනීමට පහසුවීමට, නිදහසින් පසු (1948) ඉතිහාසය වෙත ආපසු හැරී බැලිය යුතුය.

පළමු අගමැති ඞී.එස්. සේනානායක ආණ්ඩුවට පළමු, දෙවන සහ තුන්වන පෙළේ නායකයින් පෙළගැසී සිටියහ. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ඩඞ්ලි සේනානායක ඒ අතරින් කැපී පෙණුනු අයයි. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවල සිට පුහුණු ලබා පන්නරය ඇති කරගත් නායකයන් විය. ඔවුනොවුන් අතර ගැටුම් තිබුණද, රටට අර්බුදයක් නොතිබුණි. 1956 බලයට පැමිණි නව දේශපාලන ධාරාව වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නායකයින් බිහි විය. සී.පී. ද සිල්වා, ඩබ්ලිව්. දහනායක, ඒ.පී. ජයසූරිය, මෛත‍්‍රීපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න, ස්ටැන්ලි සොයිසා, ජයවීර කුරුප්පු, බදුර්දීන් මහමුඞ්, ටී.බී. සුබසිංහ ඉන් සමහරෙකි. අනපේක්ෂිත හදිසි බණ්ඩාරනායක ඝාතනය නිසා පක්ෂය තුළ සිදු වූ බෙදීම් සමනය කරලීමට බණ්ඩාරනායක මහත්මිය නායකත්වයට ගෙන ඒමට බල කෙරුණි. එය වසර තුනක් තුළ පැන නැගි තත්ත්වයකි. බණ්ඩාරනායක මහතා පළමු හා දෙවන පෙළ නායකයන් රැසක් බිහි කර තිබුණි. පී.බී.ජි. කලූගල්ල, එම්.පී.ද සොයිසා, මොන්නෑකුලම, නිමල් කරුණාතිලක, පියසේන තෙන්නකෝන් මහානාම සමරවීර, ඞී.ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ ඉන් සමහරෙකි.

1960 සහ 1970 බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ නව නායකයන් රැසක් බිහිවිය. ජෝර්ජ් රාජපක්ෂ, ෆිලික්ස් බණ්ඩාරනායක, එස්.කේ.කේ. සූරියආරච්චි, කිංග්ස්ලි වික‍්‍රමරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, දි.මු. ජයරත්න, මෛත‍්‍රීපාල සිරිසේන, කේ.බී. රත්නායක, ටී.බී. තෙන්නකෝන්, රෙජි රණතුංග, අනුරුද්ධ රත්වත්තේ, නන්ද එල්ලාවල, විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, රිචඞ් පතිරණ, ලක්ෂ්මන් ජයකොඩි, මහින්ද රාජපක්ෂ ඉන් සමහරෙකි.

ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ එක්සත් ජාතික පක්ෂය තුළ පළමු සහ දෙවන පෙළ නායකයන් රැ සක් බිහිවිය. ආර්. පේ‍්‍රමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රොනී ද මැල්, රංජන් විජේරත්න, ෂාවුල් හමීඞ්, නිශ්ශංක විජේරත්න, වින්සන් පෙරේරා, ඊ.එල්. සේනානායක, බකීර් මාකර්, ඞී.බී. විජේතුංග, රනිල් වික‍්‍රමසිංහ ඉන් සමහරෙකි.

1994 – 2004 චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේ අලූතින් නායකත්වයට පැමිණියේ, එස්. බී. දිසානායක, මංගල සමරවීර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්ද රාජපක්ෂ, අනුරුද්ධ රත්වත්තේ, දී. මු. ජයරත්න, රත්නසිරි වික‍්‍රමනායක මෛත‍්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල වැනි බොහෝ අය බණ්ඩාරනායක මැතිණියගේ සමයේ ඉදිරියට පැමිණි අය විය. එස්. බී. දිසානායක සහ මංගල සමරවීර යූ.ඇන්.පි.යට ගිය බවද, මෙහිලා සඳහන් කළ යුතුය. ආපසු පැමිණි අයෙකු වූයේ අනුර බණ්ඩාරනායකයි. අලූතින් බිහි වූ නායකයින් නැති තරම්ය.

2005 – 2015 දක්වා වූ මහින්ද රාජපක්ෂ පාලන සමයේ අලූතෙන් පක්ෂ නායකත්වයට පැමිණි අය වූයේ, පළාත් සභා දේශපාලනයෙන් බිහිවූ අයවේ. පිටතින් ආ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි අයෙකු වූයේ බැසිල් රාජපක්ෂය. ඔහු අනුරත් සමඟ යූ.ඇන්.පි.යට ගිය අයෙකි. එහෙත් අඛණ්ඩව මහින්ද රාජපක්ෂ සමග සිටි අයෙකු විය. යූ.ඇන්.පී.යේ සිට සහ යූ.ඇන්.පී.යට ගොස් ආපසු ආ ඉහළ පෙළේ නායකයන් වන්නේ එස්. බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දුය. අකල් මරණයට ලක් වූ අනුර බණ්ඩාරනායක සහ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහින්දට අහිමි වූ සමීපයන් විය.

මහින්ද රාජපක්ෂගේ දෙවන වාරය අවසන් වන විට නායකත්ව අර්බුද මතුවුනි. ජනාධිපතිවරණය දිනාගත හැකි අනුප‍්‍රාප්තිකයකු සූදානම් කර නොතිබිණි. එම තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂට 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ගෙන් ඒමට ඇතුළතින් මෙන්ම පිටතින් බල කෙරුණි.යුද්ධය නිමා කර තිබීම මහින්දගේ වාසියට හේතු වූ සාධකයකි. ඒ අනුව 2015 ජනාධිපතිවරණයට යළි මහින්ද තරග කළේය. පක්ෂය තුළ අර්බුද ඇතිවීමට හේතු විය. මෛත‍්‍රිපාල සිරිසේනට ආරාධනය ලැබුණේ අනික් කඳවුරේ තිබූ අර්බුදයක් සමනය කිරීමටය. නොසිතූ දෙයක් සිදුවිය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති විය.

ඞී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන දක්වා යූ.ඇන්.පි.යට නායකයන්ගෙන් අඩුවක් නොවීය.එහෙත් 2010 සහ 2015 ජනාධිපතිවරණය සඳහා පිටතින් අපේක්ෂකයන් සොයා යාමට යූ.ඇන්.පි.යට සිදුවිය. සරත් ෆොන්සේකා සහ මෛත‍්‍රීපාල සිරිසේන බාහිර අපේක්ෂකයින් දෙදෙනා විය. හේතුව කුමක්ද? රනිල් වික‍්‍රමසිංහ යටතේ යූ.එන්.පි.ය තුළ නව ජාතික මට්ටමේ නායකයන් බිහි නොවූවාට වඩා, බිහිවීමට ඉඩ ලබා නොදුන්හ. කරු ජයසූරිය රට පිළිගත් නායකයෙකි. එහෙත් ඔහුට අවස්ථාවක් නොලැබිණ. තලතා අතුකෝරාල, ඞී.එස්. සේනානායක කාලයේ සිටි දැවැන්ත පවුලක පිළිගත් කාන්තාවකි. ඇයටද අවස්ථාවක් නොලැබුණි.

සජිත් පේ‍්‍රමදාස අපේක්ෂකයා කරනවාට වඩා පක්ෂය දෙකඩ වීමට ඉඩ හැරිම

රනිල්ට තරගයකින් ජය ගැනීමට බැරි බව දැන දැනත් නව නායකත්වයක් බිහිවීමට ඉඩ නොලැබීම රටේ අහේතුවකි. 2019දී යූ.එන්.පි.ය දෙකඩ වන්නේ මෙම තත්ත්වය තුළය. සජිත් පේ‍්‍රමදාස අපේක්ෂකයා කරනවාට වඩා පක්ෂය දෙකඩ වීමට ඉඩ හරින එක හොඳ බව රනිල්ගේ පිළිගැනීම විය. ඉහතින් දැක්වූ ඉතිහාසය ගෙන හැර පෑවේ ඉදිරි දශකය (2020 – 2030) සඳහා ජාතික දේශපාලනත්වයේ පවතින නායකත්ව රික්තය කෙරෙහි අවධානය යොමු කරලීම සඳහාය.

2024 ජනාධිපතිවරණය (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකළ හොත්) පැවැත්වීම වළක්වාලිය නොහැකිය. ඒ සඳහා ප‍්‍රායෝගිකව ඉතිරිව ඇත්තේ මාස 26ක් තරම් අඩු කාලයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූයේද, සුවිශේෂී දේශපාලන තත්ත්වයක් තුළය. විකල්ප නායකයෙකු පක්ෂය තුළ බිහි නොවීම 1951 පිහිටවනු ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ‘පොහොට්ටුව’ නොහොත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් අලූත් පක්ෂයක් යටතේය. ප‍්‍රධාන පක්ෂ දෙකම (එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය) දෙකඩ වූ තත්ත්වයක් යටතේය.

එම දෙකඩවීම් දෙකටම හේතු වූයේ නායකත්ව අර්බුදයයි. යූ.එන්.පී.ය යළි ගොඩ නගා සිටුවීමට මහත් වෑයමක් දරනු බව පෙනේ. කොම්ප‍්‍රදෝරු ධනපති පන්තියේ මෙන්ම යූ.ඇන්.පි.ය තුළ සිටින ජාතික ධනේශ්වර ස්ථරයන් නව නායකත්වය සඳහා මහත් වෑයමක් දරයි. සජිත් පේ‍්‍රමදාස ගැන පැහැදීමක් නැත. රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආපසු පැමිණි පසු සැබෑ විපක්ෂ නායකයා තමන් බව පෙන්වීමට ක‍්‍රියා කරනු ඇත.

පොහොට්ටුව තුළ ජනපති-අමාත්‍යවරු සහ ජනපති-මන්ත‍්‍රීවරු අතර තිබිය යුතු ප‍්‍රමාණයේ කතිකාවතක් නොමැත. දුරස්ථභාවයක් ඇත. අමාත්‍ය මණ්ඩලය තුළ කැපී පෙනෙන පළමු පෙළේ හෝ දෙවන පෙළේ නායකයන් මතු වී නැත. රට නොපිළිගන්නා අය නායකයින් වශයෙන් ප‍්‍රදර්ශනය වන බව සැබෑය. විසිවන සියවසේ තුන්වන දශකය පෙර දශකවලට වඩා බෙහෙවින් වෙනස් බව පොහොට්ටුවේ වත්මන් නායකයන් තේරුම් ගත යුතුය. ජාතික හා ජාත්‍යන්තර අභියෝග රැසකි. ඒ සඳහා දැනුම, දැක්ම, අවබෝධය, අත්දැකීම් මෙන්ම පන්නරය ඇති අය අමාත්‍යමණ්ඩලය තුළ අල්පය. දේශපාලනඥයෙකු නොවන රටේ පළමු ජනාධිපතිවරයා වන ගෝඨාභය හමුවේ ඇත්තේ ද ප‍්‍රබල හා තීරණාත්මක අභියෝගයකි.

නායකත්ව රික්තක!

සමාජ, ආර්ථික, විදේශ, ආරක්ෂක, තාක්ෂණ, නව ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග අවශ්‍ය වකවානුවක ගුණාත්මක වශයෙන් ඉහළ නායකත්වයක් නොතිබීම රටට අහිතකරය. මහින්ද රාජපක්ෂ අගමැති ජනප‍්‍රියභාවය, රජය සතුව ඉතිරිව ඇති එකම සම්පතයි. ඔහුගේ නික්ම යෑමත් සමග ඇතිවන රික්තය පිරවීමට ගෝඨාභයට හැකිද? වෙනත් විකල්ප ඇත්ද? මේ අනුව ශ‍්‍රී ලංකාවේ ජාතික දේශපාලනයේ ඇතිවිය හැකි ජාතික නායකත්ව රික්තය පිරවීම අර්බුධයක් වී තිබෙන්නේ චන්ද්‍රිකා, මහින්ද සහ රනිල්වි කල්ප පළමු, දෙවන හා තුන්වන පෙළ නායකයන් බිහි නොකිරීමයි.

නව ලිබරල්වාදය බිහිකළ වරප‍්‍රසාද, ප‍්‍රතිලාභ අවස්ථාවාදී දේශපාලනය මෙන්ම බුද්ධිමත්, උගත්, දක්ෂ, පන්නරයක් ඇති නායකයින් බිහි නොකිරීම වත්මන් නායකත්ව අර්බුදයට හේතුවයි. “ඞීල්” දේශපාලනය තවදුරටත් වලංගු නැත. පවතින දේශපාලන සංස්කෘතිය නිසා රට තුළ මේ පිළබඳ බුද්ධිමත් කතිකාවක් සමාජය තුළ ඇති කිරීම මෙම ලිපියේ අරමුණයි.

  • දේශපාලන ලියුම්කරු-