counter hit xanga
October 22, 2021

වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු!

මානවයාට දිය හැකි දරුණුම හිංසනයන් දෙන රට ලංකාව!

Last Updated on June 28, 2021 by Panduka Herath

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු ඝාතනය වු විට ඝාතනයට ලක් වුණු පුද්ගලයාගේ චරිතය සහ ඔහු කොතරම් දරුණු පුද්ගලයෙක් ද යන්න සඳහන් කරමින් එම ඝාතනය සාධාරණීයකරණය කිරීමට පොලිසීය උත්සහ කරන බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පවසයි.

ඊයේ (26) දිනට වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව – SLCAT හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් කොවිඩ් වසංගතය තුල වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු! යන තේමාව යටතේ පැවැත්වු සංවාදයට එක්වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා මේ බව් කියා සිටියා.

එසේම ඉහළ පොලිස් නිලධාරීන්ගේ අණට පොලිසීයේ පහළ නිලධාරීන් විසින් සිදු කරන ඝාතනයකදී කිසි විටෙකත් ඉහළ නිලධාරියා පහළ නිලධාරීන් ආරක්ෂා කිරීමක් හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමක් සිදුවන්නේ නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම වර්ෂයේ දී පමණක් පොලිස් අත්අඩංගුවේ සිටියදී බරපතළ අපරාධ කරුවන් තිදෙනෙකු සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වු බවත් පසුගිය මැයි මාසයේදී සිදු ව ඇති ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පවා පැමිණිලි ලැබී තිබු අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අදාළ පොලිස් ස්ථානවලට දුරකථන ඇමතුම් ලබාදී තොරතුරු ලබා ගැනීමට පවා උත්සාහ කර තිබුණු බවද ඔහු පවසයි.

පොලිසියේ ඇතැම් නිලධාරින් තමන්ගේ භාරයේ සිටින සැකකරුවන් ඝාතනය කිරීමට සූදානම්ව සිටින බව පෙනී යන බවත් .පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් ඝාතනය වීම පිළිබඳව මහජන මතයක් ඇති කිරීමට හැකි වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න අප සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇතැයිද ඒ් මහතා අවධාරණය කර සිටියි.

පොලිස් භාරයේ සිටින අයෙකු මරණයට පත් වුනොත් ඒ පිළිබඳව අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් අවාසනාවට ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවෙන් පොලිස් ඒකකයක් ලංකාවේ නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම තමුන්ට මෙවැනි සිද්ධියක් වන තුරුම බොහෝ මහජනතාව උත්සාහ කරන්නේ ඒ සිද්ධිය සාධාරණීකරනය කිරීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මෙහිදි අදහස් දැක් වු මහනුවර මානව හිමිකම් කාර්යාලය අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා.

අද 1994 අංක 22 දරන වදහිංසාවට ලක්වූවන්ට සහය දීමේ පනත තුළ නඩු පැවරීම් සිද්ධ වෙන්නේ නැති තරම්. ඒ නිසා තොරතුරු දැන ගැනීමේ පනත පදනම් කර ගනිමින් එවකට වැඩබලන පොලිස්පතිවරයාගෙන් අපි ලිඛිතව විමසීමක් කළා. ඒ යටතේ වදහිංසා සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකරන්නේ ඇයි කියා සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයා වෙත තොරතුරු ලබා නොදෙන්නේ ඇයි කියා, අපි විමසීමක් කළා.

නමුත් පොලිස්පතිවරයාගේ පිළිතුරේ සදහන් වූනේ වදහිංසාවට පත්වූවන් වාර්තා නොවන බවයි. ඔහුගේ පිළිතුර අනුව 2015දී එක් අයෙකුවත් නැහැ, 2016දී දෙදෙනෙකු ද 2018දී දෙදෙනෙකු ද වාර්තාවී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ පිළිතුර අපිට සැබවින්ම පිළිගත හැක්කක් නොවෙයි. වදහිංසා සිද්ධි සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂම සහ නීතිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

නමුත් පොලිස්පතිවරයා ඉතාමත්ම පහසුවෙන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ වද හිංසාවට ලක් වී ඇත්තේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් කියලා. අවුරුද්දකට දෙදෙනෙකු වැනි ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වාර්තාවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

රජයේ පාර්ශවයෙන් වදහිංසාවට එරෙහි ව නඩු පැවරීම් මේ වන විට සිදුවන්නේ ඉතාමත් ම දුර්වල තත්වයකයි, සැබවින් නඩු පැවරෙන්නේ නැති තරම්.එනිසා නීතිපතිගෙන් ඉල්ලීම් කරන්න අවශ්‍ය වන්නේ වදහිංසාව පිළිබඳ නඩු නොපවරා නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් පනතේ වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ යුතු බවයි.

මේ සඳහා සියලු දෙනාම ඒකරාශීව කටයුතු කළ යුතුයි. නැත්නම් රජය සහ නීතිපති ප්‍රකාශ කරන්න පුළුවන් ලංකාව තුළ වධ හිංසා වක් සිදු වන්නේ නැහැ ඒ තුළින් පීඩාවට පත්වූවන් වාර්තා වන්නෙ නැහැ කියලා රජයේ පාර්ශවයෙන් ප්‍රකාශයක් නිකුත්වන්න පුළුවන්.එනිසා මම සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව මෙම වර්ෂයේ දී දැඩි උනන්දුවක් දැක්වීම ඉතාමත්ම වැදගත් කියලා. ඒ පිළිබඳව අපි ඉල්ලීමක් සිදු කරමු. 1994 අංක 22 වදහිංසාව වැලැක්වීමේ පනත යටතේ ඒ චූදිතයන්ට එරෙහිව නඩු පවරන්න කියලා.

ශ්‍රි ලංකා මනව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා අසත්කුණනාදන් මෙනෙවිය,

ජලය වැසිකිලි ඇතුළු පහසුකම් නොමැති වීම නිසා බන්ධනාගාර ගත වූවන් දැඩි අසීරුතාවයට පත් වෙනවා. බන්ධනාගාර ගත වූවන් ගහනවා නවදාහක් පමණ මෙරට සිටින බව අප විශ්වාස කරනවා. බන්ධනාගාර ගත වුවහොත් බන්ධනාගාරය තුළ විශාල වශයෙන් වධ හිංසාවට ලක් වීම් සිදුවෙනවා. පරුෂ වචනයෙන් බැන වැදී පහර දීම් ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම ආදිය බන්ධනාගාර තුළ නිරන්තරයෙන්ම සිදු වනවා. බන්ධනාගාරයට ගිය සෑම අවස්ථාවකම විවිධ හේතු මත වදහිංසාවට ලක්වෙනවා, ආහාර ලබා ගැනීමේදී පවා පෝලිමේ සිටින අවස්ථාවේදී ඔවුන්ට විවිධ තාඩන පීඩනවලට ලක් වීමට සිදු වෙනවා.

නිදසුන් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. බන්ධනාගාරයේ සිට රෝහල්ගත කරන පුද්ගලයන් පවා අපට දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවක මානව හිමිකම් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. වහාම පරීක්ෂණ විමර්ශන ආදිය සිදුකිරීම ඉතාමත් ම වැදගත්. මානව හිමිකම් කොමිෂන් සභාවට බලය නෑ කියලා ඇතැම් විට නිලධාරීන් විශ්වාස කරන්න පුළුවන්. නමුත් පැමිණිල්ලක් ලැබුණු වහා ස්වාධීන කටයුතු කිරීම තුලින් සමාජයට යහපතක් කිරීමට හැකි වෙනවා. සමාජය තුළ ත්‍රස්තවාදීන් වශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පවා මෙවැනි වද හිංසාවට ලක් වීම වැළැක්විය යුතුයි. විශේෂයෙන්ම covid තත්ත්වය තුළ ඒවා වැළැක්වීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා ,

වදහිංසාව කියන්නේ වසංගතයක්. මෙය සෑම වසරකම අඩුවැඩි වශයෙන් පැවතුණා.කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනතාවට දැන් දැනුමක් තිබෙන නමුත් මේ වදහිංසාව සම්බන්ධව, එය ඉවත් කර ගන්නේ කොහොමද කියා දැනුමක් නැහැ.

මේ වදහිංසා වසංගතය අධිවසංගත තත්ත්වය පත් වු විට අතුරුදහන් කරවීම් හා ඝාතන සිදු වෙනවා. ලෝකයේ වෙනත් බොහෝ රාජ්‍ය දියුණු වී ඇත්තේ මේ මානව හිමිකම් කඩ කිරීම අවම කිරීම නිසා. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. ඇතැම් අවස්ථාවල පුද්ගලයින් අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් ලංකාව තිබුණේ ඉහළම තැනට. නීතියට පිටින් සිදුවෙන ඝාතන වල අඩුවක් නැහැ. මානවයාට දිය හැකි දරුණුම හිංසනයන් දෙන රටක් මේ ලංකාව.