counter hit xanga
October 26, 2021

මාළු ගැන බොරු කියන අයට හසුවෙන්න එපා!

Last Updated on May 31, 2021 by Panduka Herath

ධීවර කටයුතුවල නිරතවීම තහනම් කර ඇති පානදුරයේ සිට මා ඔය දක්වා හැර අනෙකුත් ප්‍රදේශවල සහ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදීමට කිසිදු බාදාවක් නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසිය .

වත්තල සිට මීගමුව දක්වා ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් සමග අද (31) දින මීගමුව නගර ශාලාවේදී පැවත්වූ සාකච්ජාවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට වෙළදපොලේ ඇති මාළු ආහාරයට ගැනීමට බියවිය යුතු නැති බවද යම් පිරිසක් මාළු පරිභෝජනයෙන් ජනතාව ඈත්කිරිම සදහා අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ මාළු සහ ටින්මාළු ආනයනය කරන ව්‍යාපාරිකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් විසින් වියහැකි බවයි.

ගිනිගත් X-Press Pearl නෞකාවෙන් ධීවරයන්ට එල්ලවී ඇති බලපෑම සහ ඒ සදහා මෙතෙක් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට සහ තවදුරටත් ගතයුතු පියවරයන් පිලිබදව සාකච්ජා කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කල රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා

“ධීවර කටයුතු වලදී දැනට තහනම් කර ඇති ප්‍රදේශ බෝයා සහ නාවිකහමුදාවේ යාත්‍රා යොදාගනිමින් සලකුණු කිරීමට පියවර ගන්නා බවද, පානදුරයේ දී වෙරළේ සිට කිලෝමීටර් 2 ක් ද, ගල්කිස්සේ සිට කිලෝමීටර් 3 ක් ද, කොළඹ වරාය නගරයේ සිට කිලෝමීටර් 8 ක දුරක්ද දැනට ලකුණු කර ඇති තහනම් කලාපයට අයත් වනවා. වත්තල දී මෙම දුර කිලෝමීටර 16 ක් දක්වා වැඩිවී මිගමුව කලපුවේ සිට කිලෝමීටර් 6 දක්වාද මාඔය මෝයේ දී කිලෝමීටර 2 ක් දක්වා ද අඩුවනවා.”

“දැනට සිදුකර ඇති ජලසාම්පල පරීක්ෂණ වල ලැබීඇති ප්‍රතිඵල අනුව ජලයට අහිතකර ද්‍රව්‍ය එකතුවී ඇතිබවට වාර්තා වී නැහැ.පරමාණුක බලශක්ති අධිකාරිය සිදුකල පරීක්ෂණ වලින් ජලයට විකිරණ ශීලි ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැතිබව වාර්තා වෙනවා. එමෙන්ම දැනට වෙළදපොලේ ඇති මාළු ආහාරයට ගැනීමට බියවිය යුතු නැතිබවද යම් පිරිසක් මාළු පරිභෝජනයෙන් ජනතාව ඈත්කිරිම සදහා අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ මාළු සහ ටින්මාළු ආනයනය කරන ව්‍යාපාරිකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් විසින් වියහැකියි.”