counter hit xanga
October 21, 2021

ඕනෑම නිවැරදි තීරණයක් ගන්න දෙවරක් හිතන්නේ නෑ… වටේ යන්න එපා කෙලින්ම මට කියන්න

Last Updated on May 21, 2021 by Panduka Herath

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අතර කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදි අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කර සිටියා.

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත ගැනිම ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනපති අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව පෙන්වා දුන් ජනපතිවරයා PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊට අමතරව ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි. විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනපති ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි අවධාරණය කළා.