counter hit xanga
March 26, 2023

ලංවිම පාඩු ලැබීම් ගණනය කරන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීම් අත්හිටුවන්න

Last Updated on January 4, 2023 by Lankae Cast

පසුගිය වසරේ ලංවිම අය හා වැය සම්බන්ධ පූර්ණ, සවිස්තරාත්මක වාර්තාවක් ලබන සතියේ රැස්වන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් විදුලිබල ඇමතිවරයාට දන්වන්නැයි වෙළෙඳ කලාප සේවක, සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එතෙක් විදුලිය ගාස්තු පිළිබඳ කිසිදු තීන්දුවක් නොගන්නා ලෙස ද නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
විදුලිය ගාස්තු වැඩි කිරීම හා අදාලව ජනපති වෙත යොමු කළ දෙවන ලිපිය

2023 ජනවාරි 03 වන දින

ගරු ජනාධිපති,
රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපති තුමනි

ලංවිම පාඩු ලැබීම් ගණනය කරන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීම් අත්හිටුවන ලෙස ඉල්ලීම

ඉහත මාතෘකාව යටතේ මෙම ජනවාරි 01 වන ඉරිදා දින ඔබ වෙත යොමු කළ ලිපියෙන් අප සංගමය ඉල්ලා සිටි අයුරු, ඊයේ ජනවාරි 02 වන සඳුදා දින පැවති ඇමති මණ්ඩල රැස්වීමෙහිදී විදුලිය ගාස්තු ඉහළ දැමීමේ තීන්දුව කල් තැබීම ගැන මේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි වැටුප් ශ්‍රමිකයින් ඇතුළු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අපි අපගේ කෘතඥතාව මෙහි සටහන් කරන්නෙමු.

එළෙස කල් තැබීමේ සැබෑ අර්ථය විය යුත්තේ අපගේ ලිපියෙහි සඳහන් කළ අයුරු විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන ගණන් අපතේ යෑම් හා දූෂණ මණ්ඩලයේ වගකීම් විරහිත හා දූෂිත තීන්දු හේතුවෙන් වන හෙයින්, ඒ සම්බන්ධ පූර්ණ ප්‍රසිද්ධ විමසීමකින් පසු විදුලිය ගාස්තු පිළිබඳ තීන්දු ගැනීමේ අවස්ථාවක් විදුලිය පාරිභෝගිකයින් වන පුරවැසියනට ලබා දීමය.

එබැවින් අවම වශයෙන් 2022 වසරේ ලංවිම අය හා වැය සම්බන්ධ පූර්ණ, සවිස්තරාත්මක වාර්තාවක් ලබන සතියේ රැස්වන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් විදුලිබල ඇමතිවරයාට දන්වන මෙන් මෙයින් අප සංගමය නැවත ඉල්ලා සිටින්නේ, එතෙක් විදුලිය ගාස්තු පිළිබඳ කිසිදු තීන්දුවක් නොගන්නා ලෙසද ඉල්ලමිනි.

ස්තුතියි.
මෙයට විශ්වාසි,

අ/ක ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

පිටපත් –
සියලු කැබිනට් අමාත්‍යවරුන් වෙත