counter hit xanga
March 28, 2023

රනිල්, ජනතා අයිතියට බාධා එපා!

Last Updated on February 3, 2023 by Desman Chathuranga

ජනතාවගේ ඡන්ද අයිතියට බාධාකිරීම හෝ පැහැරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කිසිදු නායකයෙකු නොකල යුතු ක්‍රියාවලියක් බවත් වහාම ඡන්ද විමසීමට ඇති බාධක ඉවත් කරන ලෙස අවධාරණය කරමින් Paffrel සංවිධානය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් පත්කරගත් අට-වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලිපියක් යොමුකර තිබේ.

ගරු ජනාධිපති,
රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඇති බාධක ඉවත් කිරීම හා ඡන්ද විමසීම පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම

මෑත ඉතිහාසය තුළ පැවති මැතිවරණ අතුරින් දේශපාලන පක්ෂා හා ජනතාව තුළ වැඩිම අවිනිශ්චිතාවයක් ඇතිකළ මැතිවරණය මෙම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමයි.එයට රට තුළ ඇති ආර්ථික අර්බුදයත් ආණ්ඩුව ගනු ලැබූ විවිධ ක්‍රියාමාර්ග හා ආණ්ඩුව පාර්ශවයෙන් වරින් වර කරන ලද ප්‍රකාශ හේතුවූ බව නොරහසකි.

මේ වන විට නැවත වරක් ආණ්ඩුව පාර්ශවයෙන් සිදුකරනු ලබන ප්‍රකාශ හරහා මැතිවරණ ක්‍රියාවලියට යම් බාධාකාරී තත්ත්වයක් උදාවීමේ අවධානමක් මතුව ඇත. ඒ රාජ්‍ය ආයතනවලට ණය පදනමින් වැඩ නොකරන ලෙස ඔබතුමා උපදෙස් ලබාදී තිබීමයි. එමෙන්ම යම් හෙයකින් එවැනි ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් රාජ්‍ය නිලධාරීන් එයට පුද්ගලික වගකිව යුතු බව ප්‍රකාශ කිරීම හරහා රාජ්‍ය ආයතන මැතිවරණයකදී සාමාන්‍යයෙන් කරගෙන යනු ලබන වියදම් ප්‍රතිපූර්ණ ක්‍රියාවලියට බාධා මතුවිය හැක.

එබැවින් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ආර්ථික ගැටලුව මත රාජ්‍ය ආයතනවලට නිකුත් කරනු ලබන එවැනි නියෝග ඡන්ද විමසීම අවසන් වන තෙක් මැතිවරණ ක්‍රියාවලියට අදාල නොවන බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉදිරියේදී මීට අදාළව නිකුත් කරනු ලබන චක්‍රලේඛ මගින් මෙම කරුණු පැහැදිලිව ඇතුළත් කරන ලෙසත්ය.

රට තුළ බරපතල ආර්ථික ගැටලුවක් ඇති බව අපද පිළිගන්නා නමුදු ඒ හේතුකොටගෙන ජනතාවගේ ඡන්ද අයිතියට බාධාකිරීම හෝ පැහැරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කිසිදු නායකයෙකු නොකල යුතු ක්‍රියාවලියකි. ඔබවැනි නායකයෙකු එසේ ක්‍රියා නොකරනු ඇතැයි අප විශ්වාස කරමු.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන (ඇ) ව්‍යවස්ථාව අනුව නිදහස් හා සාධාරණ මැතතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් ඇති කිරීම හා තහවුරු කිරීම ජනාධිපතිවරයා ලෙස ඔබතුමාගේ වගකීමකි. එබැවින් එසේ කිරීම හරහා ඔබතුමාට දේශීයව හා ජාත්‍යන්තරය තුළ විශ්වාසය ගොඩනගාගැනීමට හේතුවක් වන අතර එකී විශ්වාසය ආර්ථික අර්බුදය විසඳීමටද පහසුවක් වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ