counter hit xanga
October 22, 2021

සාලි ගැන විමර්ෂණ පාස්කු කොමිෂමේ නිර්දේශ මතයි!

Last Updated on June 3, 2021 by Panduka Herath

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස පාස්කු කොමිෂන් සභාව විසින් සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියා. ඒ මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහැරීම සඳහා සිදුකර ඇති බව කියන මැදිහත් වීම සම්බන්ධයෙනි.

පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව මාවනැල්ල බුදුපිළිම කැඞීම පිළිබඳව සාක්ෂි කැඳවා විමර්ශන සිදු කළත් අසාද් සාලි මහතාට එරෙහිව කිසිදු නිර්දේශයක් සිදුකර නොමැති බව පවසමින් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා විවෘත අධිකරණය හමුවේ දැක්වූ කරුණුවලට පිළිතුරු ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මේ බව කියා සිටියා.

අසාද් සාලි මහතාට එරෙහිව ජනාධිපති කොමිෂන් සභාව විසින් කිසිදු නිර්දේශයක් කර නොමැති බවට ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා කළ ප‍්‍රකාශය සත්‍ය නොවන බවට පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විවෘත අධිකරණය හමුවේ මේ බව අනාවරණය කර සිටියා.

කෙසේ නමුත් අසාද් සාලි මහතා විසින් ඔහු අත්අඩංගුවට ගැනීම අභියෝග කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම අත්හිටුවමින් පෞද්ගලික හේතුන් මත ඉවත්වන බව ද විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී දැනුම් දුන්නේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගෙන සිටින තමා වහාම මුදාහැරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා අසාද් සාලි මහතා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 14 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ.