counter hit xanga
March 28, 2023

ආර්ථික අර්බුදය හමුවේ මුළින්ම කඩාවැටීමට නියමිත කුමන අපනයන අංශයද?

Last Updated on October 25, 2022 by Lankae Cast

2020 සහ 2021 පළමු මාස 6 ඇතුලත පුහුණු ශ්‍රමිකයන් පිළිවෙලින් 40,581 සහ 30,797 දෙනෙකු ලංකාවෙන් පිටව ගොස් ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies (IPS) ) සඳහන් කරයි . එහෙත් , 2022 පළමු මාස 06 දී පමණක් 113,140 ක් ලංකාවෙන් විදේශ රටවල් කරා පිටව ගොස් තිබෙනවා . https://www.japantimes.co.jp කෙසේ වෙතත් , මේ සම්බන්ධව රජය සතුව නිවැරැදි තොරතුරු සොයා ගැනීමට නොහැකි බවද ඔවුන් ප්‍රකාශ කරනවා. මෙම සංඛ්‍යා මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පසුගිය දිනවල ගුවන් බලපත්‍ර ලබා ගැනීමට පැවති දිගු පෝලිම් නිරීක්ෂණය කිරීමේදී වටහා ගත හැකියි. ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත අනුව 2022 පළමු මාස 5 තුල ගුවන් බලපත්‍ර 288,645 ක් නිකුත් කර ඇති අතර , පෙර වර්ෂයේ අදාල කාල සීමාවේදී නිකුත් කොට ඇත්තේ බලපත්‍ර 91,331 පමණයි . මෙය මාස 5ක් තුල දෙගුණ වීමෙන් ඔබට යමක් වැටහෙනු ඇති.

මින් වඩාත්ම විදේශ ගත වන්නේ වෛද්‍යවරුන්, මෘදුකාංග ඉංජිනේරුවන් , විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් , විද්‍යාඥයන්, මූල්‍ය හා ගණකාධිකාරි ශිල්පීන් වැනි රටේ ජාතික ධනය වැයකොට නිර්මාණය කල ඉතා ඉහළ ශ්‍රම ඵලදායිතාවයක් තිබෙන තරුණ තරුණියන් වීම විශේෂ යි.

ලංකාවේ තිබෙන ප්‍රධාන පරිගණක සේවා ආයතන බොහෝ විට ඔවුන්ගේ සේවා සපයන්නේ ලෝකයේ තිබෙන ඉහළ පෙළේ සමාගම් වලට. උදාහරණ හැටියට, ලන්ඩන් කොටස් වෙළෙඳපොළ (London Stock Exchange ) , ඊබේ (Ebay ), ට්‍රැවල්බොක්ස් (TravelBox), ක්වොන්ටාස් සහ බෝයිං (Qantas Airways , Boeing ) සහ තවත් මෙවැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර සමාගම් . එහෙත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් , ලංකාවේ බොහෝ පරිඝණක සේවා සපයන සමාගම් වල සේවකයින් මේ වන විට පොදුවේ 30% කට ආසන්න පිරිසක් විදේශ ගත වී තිබෙන බව සඳහන් වෙනවා. ඒ තුල තම සේවා දායකයින්ට නොකඩවා පැය 24 පුරා සේවා සැපැයීම දුෂ්කර වී ඇති බව ව්‍යාපාර හිමියන් ප්‍රකාශ කරනවා. එහිදී ඔවුන්ට නව සේවා ගිවිසුම් ගත වීම් මග හැරීමට සිදුවන අතර පවතින සේවා සැපැයීම් පවත්වා ගෙන යාමට නොහැකි වී තිබෙනවා.

මෙසේ සේවකයින් අහිමි වීමත් සමග අදාළ සමාගම් කඩා වැටෙන අතර, නව පුහුණු සේවකයින් සපයා ගැනීමත් දුෂ්කර වී තිබෙනවා. මේ හේතුව නිසා බොහෝ පරිඝණක සේවා ආයතන වෙනත් රටවල ස්ථාන ගත කිරීම ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම ඉංදියාවේ හයිද්‍රාබාද් (තෙලෙන්ගානා), සිංගප්පූරුව, මැලේසියාව, සහ තවත් අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයක්ම ඔවුන්ට හිතකර සේවා මධ්‍යස්ථාන බවට මේ වන විටත් පත්කර ගෙන තිබෙනවා.

එම රටවල ව්‍යාපාර කිරීමේ පහසුව ඉතා ඉහළ අගයක් ගන්නා අතර බදු ප්‍රතිපත්තීන් සාධාරණ සහ සරල වීම තුල බොහෝ ආයෝජකයන් ආකර්ශනය කරගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එහෙත් , ලංකාවේ පවතින්නේ ඊට වෙනස් තත්ත්වයක්.

ඉහළ යන ආර්ථික අර්බුදය, නිතර වෙනස් වන බදු ප්‍රතිපත්ති , ආනයන සීමා, අපනයන බදු සහ සීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හේතුවෙන් මුළින්ම කඩා වැටීමට නියමිත අංශය වශයෙන් නම් කල හැක්කේ පරිඝණක සේවා අංශය යි. මන්ද , එම අංශය සඳහා ඉතා ඉහළ පළපුරුද්දක් සහ හැකියාවක් තිබෙන ශිල්පීන් , ඉංජිනේරුවන් සහ සැළසුම් කරුවන් අවශ්‍ය වීමයි. මේ වන විට මොවුන් විශාල වශයෙන් එංගලන්තය , ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවලට සිය පවුල් පිටින් සංක්‍රමණය වෙනවා.

පරිඝණක සේවා සඳහා මෙතෙක් පැවැති බදු විරාමය (0) ලබන අප්‍රේල් මාසයේ අහෝසි වන අතර එය 30% දක්වා ඉහළ දමා තිබෙනවා. වෙනත් ව්‍යාපාර සඳහා සමාගම් බද්ද මෙතෙක් පැවති 14% ඔක්තෝබර් 1වන දින සිට 30% දක්වා වැඩි කොට තිබෙනවා. එහෙත් කලාපයේ වෙනත් රටවල විශේෂයෙන්ම සිංගප්පූරුව , මැලේසියාව වැනි රටවල මෙම සීමාව 17% ක වැනි අඩු ප්‍රතිශතයක පවතිනවා. https://www.taxsummaries.pwc.com

එමෙන්ම , මෙම ක්ෂේත්‍රයේ සේවකයින්ගේ වැටුප් තල අනෙකුත් ක්ෂෙත්‍ර සමග සැසඳීමේදි ඉහළ අගයක් ගන්නවා. ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක නව බදු සංශෝධන සමග බොහෝ සේවකයින්ට තම වැටුපට 30%-36% ආදායම් බද්දක් ගෙවීමට සිදුවෙනවා. සිංගප්පූරුවේ පුද්ගල ආදායම් බද්ද වර්ෂයකට සිංගප්පූරු ඩොලර් මිලියන එකක් හෝ ඊට වැඩි වැටුප් ලබන්නෙක් ගෙවිය යුත්තේ උපරිම 22%කි. එය 2024 වන විට 24% දක්වා ඉහළ යෑමට නියමිතයි. https://taxsummaries.pwc.com

එමෙන්ම , සිංගප්පූරුවේ උද්ධමනය සාමාන්‍ය අගය 4%-5% වන අතර , සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (Monetary Authority of Singapore (MAS) ) පුරෝකථනය කරන අන්දමට මෙම වර්ෂය අවසානයේ එය 7.5% විය හැකි බවයි. එහෙත් , ලංකාවේ උද්ධමනය මේ වන විටත් 70.2% වී ඇති අතර ෆිච් රේටින් ( Fitch Ratings ) පෙන්වා දෙන අන්දමට මෙය තවත් ඉහළ යා හැකි බවයි. ලංකාවේ ආහාර උද්ධමනය මේ වන විටත් 95% ට ආසන්න වී තිබෙනවා .

එවන්, තත්ත්වයක් තුල ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳව ආයෝජකයන් දෙවරක් සිතා බලනු ඇති. ඔවුන්ගේ ආයෝජනයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ නම් (Return on Investment), තම සේවකයින් ආරක්ෂා කරගනිමින් , ඉහළ සේවාවක් තම සේවා ලාභීන්ට ලබා දීමට හැකි නම් , රටේ බදු ප්‍රතිපත්ති සැබෑ අර්ථයෙන්ම ප්‍රතිපත්තියක් වී එය මෙවලමක් නොවන්නේ නම් , එවන් රටක ව්‍යාපාර කිරීමට ඔවුන් බිය වන්නේ නැහැ.

ව්‍යාපාර වගේම ඉහළ ආදායම් ලබන පිරිස් බදු ගෙවිය යුතුයි. එහෙත් ඒ බදු සාධාරණ විය යුතුයි. රජය එසේ එකතු කරගන්නා බදු ප්‍රවේශමෙන් වියදම් කල යුතුයි . එහෙත් ලංකාවේ එය එසේ සිදුවන්නේ ද? 2023 අයවැය පළමු කියවීම නිරීක්ෂණය කලා නම් (විසර්ජන කෙටුම්පත ) ඔබට එය පැහැදිලි වනු ඇති.

පෞද්ගලික අංශය රටේ සංවර්ධනයේ එන්ජිම නම් (Private Sector is the Engine of the Growth ) , රටේ පවතින්නේ ඩොලර් අර්බුදයක් නම් , රජය විසින් කල යුතුව තිබුනේ නිසි විශ්ලේෂණයක් කොට කිසියම් සාකච්ඡාවකින් පසු මේ සම්බන්ධ තීරණ ගැනීමයි. එහෙත් දැන් සිදුවීමට යන්නේ රත්තරං බිජු දමන කිකිළිය බෙල්ල කපා මරා දැමීමයි . මෙහි ආදිනව ඉදිරියේදී දැක ගන්නට ලැබේවි.

ශාන්ත ජයරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රෙඩින් විශ්වවිද්‍යාලය, එංගලන්තය/ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු), ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය SLIDA