counter hit xanga
October 22, 2021

ඊද් මුබාරක්!

Last Updated on May 13, 2021 by Panduka Herath

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් සමග අපේ මුස්ලිම් බැතිමතුන් එක්ව සමරන ඊදුල් ෆිතර් උත්සවය ප්‍රීතිමත් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාමසාන් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටි.

රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් ෆිතර් මංගල්‍යයට ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවය. එකී යහපත් සියලූ ප්‍රාර්ථනා ඉටු වේවා යි ඊදුල් ෆිතර් මංගල්‍යය වෙනුවෙන් මම සුබ පතමි.

උස් පහත් භේදයකින් තොරව සියල්ලෝ එක්ව රාමසාන් සමය ගත කොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුව ද එහි සාමාජීය අර්ථය ද අගනේය. රාමසාන් සමය පවිත්‍ර ජීවිත සේ ම ආත්ම දමනය හුරුවීමට ඇති වටිනා අවස්ථාවක් ලෙස ඉස්ලාම් භක්තිකයෝ සලකති. වැඩිහිටියන් විසින් ගත කරන එම රාමසාන් සමය දූ දරුවෝ ආභාස කොට ගනිති.

වර්තමානයේ ලෝකයට මුහුණ දීමට සිදුව ඇති කොවිඩි ව්‍යසනයෙන් ලෝ වැසි ජනතාව නිදහස් කර දෙන්නැයි යන ප්‍රාර්ථනය ද අපේ ඉස්ලාම් භක්තිකයන් තුළ වන්නට ඇත. මුළු මහත් ජනතාවගේ ප්‍රාර්ථනයත් කැපවීමත් පවතින වසංගතයෙන් නිදහස් වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකි. රාමසාන් සමය ඒ සදහා ඉවහල් කර ගැනීම අගනේය.

සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන් වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයකි. ශුද්ධ වූ අල් කුරානය අදහන සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගේ සාමූහික කැපවීමත්, අධිෂ්ඨානයත් ඒ සඳහා තව තවත් යොමු වනු ඇතැයි විශ්වාස කරමි.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් සමග අපේ මුස්ලිම් බැතිමතුන් එක්ව සමරන ඊදුල් ෆිතර් උත්සවය ප්‍රීතිමත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි.

ඊද් මුබාරක්!

ගෝඨාභය රාජපක්ෂ

මේ අතර රාමසාන් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ලොව පුරා විසිරී සිටින ඉස්ලාමීය බැතිමතුන් සමඟ එක්ව ඊද්-දුල්-ෆිතර් උත්සවය සමරන ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට තමන්ගේ සුභාශිංසනය පළ කරන බවයි.

ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන අල් කුරාණයේ නියම කොට ඇති පරිදි මාසයක් පුරා ඉටුකරන රාමසාන් උපවාසය ආගමික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද ලොවට ගෙනඑන පණිවුඩය ඉතා වැදගත් වේ.

උපවාස කාලයේ දී අන්‍යයන්ගේ කුස ගින්න පිළිබඳව නිවැරදි අදහසක් ඇතිවීම මගින් ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගශීලී සමාජයක් උදෙසා උස් පහත් භේදයකින් තොරව පෙළගැසෙනු ඇති බව මාගේ විශ්වාසයයි.ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබූ ඉස්ලාමීය ජනතාව ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් සමඟ අන්‍යෝන්‍ය සුහඳත්වයෙන් කටයුතු කර තිබේ.

මෙම විශ්වාසය පළුදු නොකරමින් ඉදිරියට යාම සඳහා ඉස්ලාමීය ජනතාවට තිබෙන අවශ්‍යතාව අප රජයක් ලෙස තේරුම් ගෙන ඇතිබව ද අද වැනි දිනයක සිහිපත් කළ යුතුය.

ලොව පුරා පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මේ වසරේ දී ද ඊද්-දුල්-ෆිතර් චාරිත්‍රයන් උත්සව සිරියෙන් සැමරීමට නොහැකිවුව ද මේ හා බැඳී පවතින ආගමික චාරිත්‍රයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමාවන්ට යටත්ව ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

උපවාස කාලයේ දී සෞඛ්‍ය පිළිවෙත් අනුව නැමදුම් සඳහා පල්ලිවලට විශාල පිරිස් වශයෙන් රැස් නොවීමට වගබලා ගනිමින් නිවෙස්වල සිට ආගමික චාරිත්‍ර ඉටුකිරීමට වගබලාගත් සියලුම ඉස්ලාම් බැතිමතුන්ට මාගේ ප්‍රණාමය හිමිවේ. සමස්ත ලෝකයම මෙවන් වසංගත අර්බුදයකට මුහුණ දී සිටින කාල වකවානුවක රාමසාන් උපවාසයෙන් අර්ථවත්වන ආගමික සාරධර්ම අන් හැමගේ යහපත සඳහා යොදවන්නැයි මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය සහිත රෝග බියෙන් තොර සාමය සතුට පිරි ප්‍රීතිමත් ඊද්-දුල්-ෆිතර් උත්සවයක් වේවා !

මහින්ද රාජපක්ෂ,
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
අග්‍රාමාත්‍ය