counter hit xanga
October 22, 2021

පුපුරා නොගිය කිලෝ 200ක බෝම්බයක්! හිටපු මුහුදු කොටි සාමාජිකයෙකුත් අල්ලයි!

Last Updated on May 29, 2021 by Panduka Herath

කෆීර් Kfir ප්‍රහාරක ජෙට් යානාවලින් හෙළන ලද පුපුරා නොගිය කිලෝ 200ක පමණ බෝම්බයක් පෙරේදා (27) කිලිනොච්චිය, උරුත්තිපුරම්, ශිවනගර් ප්‍රදේශයේ දී සොයාගෙන් තිබේ. ශිවනගර් ප්‍රදේශයේ ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා ශුද්ධ කරමින් සිටිය දී පොළව අභ්‍යන්තරයේ තිබී මෙම බෝම්බය හමුවී ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සදහන් කළේ.

දිගින් අඩි පහක් පමණ හා අඩි දෙකක විෂ්කම්භයෙන් යුත් මෙම බෝම්බය පසුගිය යුද සමයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කොට හෙළන ලද එකක් බවට සැක පළ කරන අතර වසර ගණනක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් බෝම්බය දැඩි ලෙස දිරාපත්ව ඇති අතර කොටස් කිහිපයකට කැඩී ගොස් තිබේ.

බෝම්බය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත භාරදීමට නියමිතව තිබුණි.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු යුද්ධ හමුදා අත්අඩංගුවට

මේ අතර පුනරුත්තාපනය වූ එල්ටීටීඊ මුහුදු කොටි සාමාජියෙකු යාපනයේ නගර් කෝවිල් මාළු තොටුපල ආසන්නයේ පොළව යට වලළා තිබු කිලෝග්‍රෑම් 2 ක් බරැති ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (28) දින හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා සතුව ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් 14ක්, පිස්තෝල සඳහා භාවිත කරන පතොරම් 45ක්, ක්ලේමෝ බෝම්බ 01ක්, 12.7 වර්ගයේ පතොරම් 01 ක් සහ ඩෙටනේටර් නූල් මීටර් 02ක් යුද්ධ හමුදා භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර අදාළ පුපුරන ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකට භාර දී ඇත.