Last Updated on January 16, 2023 by Lankae Cast
*** ගොබෙල්ස් වාර්තාකරණයේ වත්මන් හෙළිදරව්ව
*** අධිකරණයට ඒමටවත් ශක්තියක් නෑ
කිසිවෙකුගේ විරෝධයක් හෝ අභියෝගයකින් තොරව හිතුමතේ කටයුතු කරන විට ‘පාළු ගෙයි වළං බිඳිනවා’ යැයි අපේ ගැමියෝ කීහ. ඔවුන්ගේ කටේ මසුරං දැමීමට සිතෙන මේ කතාව එදා ගමේ – ගොඩේ වැඩවලට වඩා වටින්නේ අද ය. නැතහොත් වර්තමානයට ය. ඒ ‘පාළු ගෙයි වළං බිඳින්නෝ අද වැහි වැහලා ඇති නිසාය. ඒ අතරින් ද කප් ගසා ඇත්තේ අපේ ජනමාධ්‍යය. විශේෂයෙන්ම අකාසේ සිට හැම දේම දකින බව කියන අකුරු දෙකේ නාළිකාව මේ සම්බන්ධයෙන් ගිනස් වාර්තාව තබා ඇත්තේය. වහෙං ඔරෝ කතා අවශ්‍ය නැත. මේ නාළිකාව ‘හිරු ටීවී’ එකය.
හිරු එක ගැන මේ වළං කතා ඇත්තේ අද ඊයේ සිට නොවේය. එය ආරම්භ වූ දා සිට බොහෝ විට කළේ තම ව්‍යපාරික හෝ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් හිතුමතේ පාළු ගෙයි වළං බිඳින එකය. ඊට හේතුව ද පැහැදිලිය. තමන්ට එරෙහිව වන, තම දේශපාලන, ආර්ථික, ව්‍යාපාරික හෝ පුද්ගලික න්‍යාය පත්‍රවලට බධාකාරී වන, එරෙහිව වන හෝ අභියෝග කරන ඕනෑම ආයතනයක්, පුද්ගලයෙක් වහාම බිමට සමතලා කළ යුතුය. අතුගා දැමිය යුතුය. එවැන්නක් නොකළහොත් සියල්ල අවුල්ය. අවාසි, පාඩු බොහෝය.
මේ සඳහා ලාභම සහ පහසුම ආයුධ ඔවුන් සතුය. ඒ ‘ජනමාධ්‍ය’ සතු නිසඟ, නැතහොත් ස්වභාවික ශක්තියයි. ජනතාව ජනමාධ්‍ය කියන දේ විශ්වාස කරන්නේය. ඔවුන් තමන්ට වඩා බොහෝ දේ දන්නා බව විශ්වාස කරන්නේය. ඇත්ත, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බව විශ්වාස කරන්නේය. හිරු ඇතුළු ඊනියා බහුතරයක් ජනමාධ්‍ය විනාශ කරන්නේ, අවභාවිත කරන්නේ ජනතාව තුළ තිබෙන මේ විශ්වාසයයි. ඔවුන් තුළ ජනමාධ්‍ය කෙරේ ඇති විශ්වාසයයි. ගරුත්වයයි.
විශ්වසනීයත්වය තඹ නොවටී
එහෙත් මේ ඊනියා ජනමාධ්‍යකරුවන්ට, මුදලාලිලාට ජනතාවගේ විශ්වාසය හෝ ගරුත්වය තඹ සතයක් වටින්නේ නැත. ඔවුන්ට ඒ සියල්ලටම වඩා තම දේශපාලන, ව්‍යාපාරික න්‍යාය පත්‍ර, හිතමිතුරු ව්‍යාපාරික මාෆියාවන් වටින්නේය. ඔවුන් සමග හවුලේ සිදුකරන කූඨ ව්‍යාපාර වටින්නේය. ඒ නිසා ජනතාවගේ විශ්වාසය බල්ලට දමා තම මඩිය තර කර ගැනීම, හිතවතුන්ට ලාභ ප්‍රයෝජන ලබාදීම වටින්නේය.
මේ සියල්ල වසා දමන කඩතුරාව ‘මාධ්‍ය බලයයි’ ඒ නිසා අභියෝගයකින් තොරව, ප්‍රශ්න කිරීමකින් තොරව, හිතුමතේ කටයුතු කිරීමට මේ ඊනියා මාධ්‍ය වලට ලයිසන් ලැබී ඇති සේය. දැවැන්ත ධනයක් ඇති, දේශපාලන හයිකාරකම් ඇති, ඒ නිසා ම උපයා ගත් බල වළලක් ඇති රූපවාහිනී නාළිකාවක් සමඟ හැප්පෙන්න කොයි බලවතත් බය ය. එවැන්නකට එඩිතර නැත. ඒ එවැනි අභියෝගයක් කළ මොහොතේ සිට තමන්ට මුහුණ දීමට සිදුවන දේ ගැන ඔවුන් සක්සුඳක් සේ දන්නා නිසාය. එවැනි දේ දැක ඇති නිසාය. එවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය නිලධාරියෙකුට, රාජ්‍ය ආයතනයක සභාපතිවරවයකුට, අධ්‍යක්ෂවරයකුට මේ මාධ්‍ය මාෆියාව සමඟ හැප්පීම යනු සිතාගත නොහැකි දෙයකි. කළ නොහැකි දෙයකි. ඔවුන් අවසානයේ තෝරා ගන්නා මග වන්නේ මේ මාධ්‍ය මාෆියාව දෙස බලා සුසුම්ලෑමය. සිදු වුණ සියල්ල පුද්ගලිකව විඳදරා ගැනීමය.
අපට මේ ආකාරයෙන් ඊනියා මාධ්‍ය මාෆියාවේ ගොදුරු බවට පත්ව සුසුම් හෙළන දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු සිය දහස් ගණනක් පහසුවෙන් මේ භූමිය තුළින්ම සොයා ගත හැක්කේය. ‘අපි කියලා මොනවා කරන්න ද ? අපි කොහොමද එයාලා එක්ක හැප්පෙන්නේ. ඒ නිසා අපි නිර්දෝෂ බව දැන දැනත්, අපිට මහා අගයතියක් සිදු වුණ බව දැන දැනත් කට පියා ගෙන ඉන්නවා’ මේ මාධ්‍ය මාෆියාවේ පහසු ගොදුරු බවට පත් බහුතරයක් කියන කතාවය. එය වෙනස් වුණා නම් ඒ තවත් වචන කිහිපයකින් පමණය.
මෙවැනි මානසිකත්වයක් නිසා ජනමාධ්‍ය පාළු ගෙයි වළං බිඳින කොට පමණක් නොව තමාගේ නිවසින් පන්නා දැමුවත් බොහෝ දෙනෙක් කිසිවක් කරන්නේ නැත. ඔවුන් මේ ඊනියා මාධ්‍ය මාෆියාව හමුවේ එතරම් අසරණය. සරණයක් අහිමිය.
එහෙත් මේ කතාව හැමදාම සිද්ධ විය යුතු නැත. සිදුවන්නේ ද නැත. මන්ද ගහෙන් ගහට කොට කොටා ගියත් කෙහෙල් ගසට කෙටූ දාට ඕනෑම කොට්ටෝරුවෙකුගේ හොට පැටලෙන නිසාය. අද හිරු නාළිකාවට එවැනි දෛවෝපගත ඉරණමකට මුහුණ දීමට සිදුව ඇත. කතාව තවම අධිකරණය හමුවේ තිබෙන නිසා බොහෝ දේ කීමට හෝ නඩුවට හානිවිය හැකි, උසාවියට අපහාසයක් විය හැකි කිසිවක් ලිවීමට අවස්ථාවක් නැත. එවැන්නක් සිදු වුවහොත් එය ‘පනින රිලවුන්ට ඉණිමං බැඳීමක්’ විය හැකිය.
එහෙත් පසුගිය 05 වැනිදා කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වූ හිරු නාළිකාවට එරෙහි අපහාස නඩුව ගැන යමක් පැවසිය යුතුමය. රටේ කඩිනමින් ජනතාවගේ අවධානය යොමු විය යුතු, ජනතාවගේ පමණක් නොව බලධාරීන්ගේ ඇස්කන් යොමු කළ යුතු සිදුවීම්, අපරාධ හා දූෂණ සිය ගණනක් තිබියදී හිරු නාළිකාව පසුගිය ඔක්තෝබර් මස 28 වැනිදා අලුත්ම කතාවක් කරළියට ගත්තේය. ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ‘සාෆි නගර්’ නම් ගම්මානයේ වැලි කැණීමක් ගැන හෙළිදරව්වක්ය. රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුවන බව කියමින් කරළියට ගෙන ආ එම වාර්තා මගින් ඍජුව චෝදනා එල්ල කළේ එවකට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති මංජුල ප්‍රසාද් හේවගේ මහතාටය. ඒ ඔහුට අයත් පුද්ගලික සමාගමක් අදාළ වැලි කැණීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව වාර්තා කරමිනි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වත්මන් සභාපතිවරයාට අයත් සමාගමක්ම, එම ආයතනයේ විෂය පථයට අයත් කටයුත්තක් අනීතිකව හා දූෂිත ආකාරයෙන් සිදුකරන බව හෙළි කිරීම ජනතාවගේ පමණක් නොව දේශපාලන බලාධිකාරියේ ද ක්ෂණික අවධානය දිනා ගන්නා කරුණකි. එනිසා ම සිදුවිය යුතු ආකාරයෙන් එය සිදු වුණේය. හිරු නාළිකාව ද හැකි උපරිම බර යොදා සති ගණනාවක් තිස්සේ අඛණ්ඩව මාධ්‍ය වාර්තාකරණයේ නියැලුණේය. ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්ව තිබුණේ අදාළ සභාපතිවරයා වහාම සේවයෙන් ඉවත් කිරීමය. එය මස් රාත්තලම ඉල්ලා සිටින යෝජනාවක් බව බැලූ බැල්මට පැහැදිලි වුණත් හිරු නාළිකාව සමඟ තවත් මාධ්‍ය ආයතන කිහිපයක් සහ දේශපාලනඥයින් කිහිප දෙනකු පෙළ ගැසීම සමග තත්ත්වය වඩාත් සංකීර්ණ වුණේය. පාර්ලිම්න්තුවේ පවා මේ ගැන කතා හා ප්‍රශ්න කිරීම් සිදු වුණේය. මේ සියලු සිදුවීම් මැද හිරු අඛණ්ඩව දැඩිව වාර්තාකරණයේ නියැලුණේය.
ගොබෙල්ස් වාර්තාකරණයක්
මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ලංකාවේ බොහෝමයක් මාධ්‍ය තම දේශපාලන, ව්‍යාපාරික හා පුද්ගලික න්‍යාය පත්‍ර හමුවේ ඒකපාර්ශ්වික වාර්තාකරණය අමු අමුවේම අනුගමනය කරන්නේය. ජනතාව මේ ඒකපාර්ශ්වික වාර්තාකරණය කොතරම් දුරට විශ්වාස කරන්නේ ද ? නැද්ද ? යන්න ඔවුනට වැදගත් නැත. අවශ්‍ය වන්නේ ‘ජෝෂප් ගොබෙල්ස්’ කී ආකාරයට ‘එකම බොරුව ඔබ සිය වරක් කියන්න. ජනතාව එය සත්‍යයක් බවට විශ්වාස කරනු ඇත’ යන නාසි ආත්තෝපදේශය, නැතහොත් නාසි ප්‍රචාරක මූලධර්මය, පරමාදර්ශය ක්‍රියාවේ යෙදවීමය. ඒනිසා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයට ගන්නා ලද මෙම පුවත වෙබ් නාළිකා තුළ ද, ෆෙස් බුක් පිටුව තුළ ද පසුදින උදෑසන පුවත්පත් සිරස්තල කියවන විට ද කරළියට ගත්තේය.
‘එකම බොරුව සිය වතාවක් ‘ අපූුරුවට සිදු වෙමින් තිබුණේය.
මේ ගොබෙල්ස් වාර්තාකරණයේ බලපෑම හමුවේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ එවකට සභාපතිවරයා ජනමාධ්‍ය හමු පවත්වමින්, මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට කොපමණ උත්සාහ කළත් ප්‍රයෝජනයක් අත් නොවුණේ ලංකාවේ බොහෝ ජනමාධ්‍ය අනුගමනය කරන තවත් පරමාදර්ශයක් නිසාය. ඒ අනෙක් මාධ්‍ය ආයතනයක් සිදු කරනු ලබන ඕනෑම සාවද්‍ය වාර්තාකරණයක් ඉවසා සිටීමය. ඒ හමුවේ මුනිවත රැකීමය. මේ නිසා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයාගේ කතාවට මාධ්‍යවලට අවධානයක් යොමුු නොවීය. හිරු දිගින් දිගටම පාළු ගෙයි වළං බිඳමින් ජයග්‍රාහී ගමනක් ගියේය.
කෙහෙල් ගහට කෙටීම
මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට හිරු නාළිකාව සමඟ ඇති ගනුදෙනුව නිසි පරිදි බේරා ගත හැකි එකම මාවත අධිකරණයට යාම පමණක් බව සභාපතිවරයා සිතුවේය. ඒ අනුව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපති සෙනරත් හේවගේ මංජුල ප්‍රසාද් මහතා අධිකරණය හමුවේ හිරු නාළිකාවට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා සිටි අතර එම නඩුව පසුගිය දෙසැම්බර් 15 වැනි දින කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ විභාගයට ගැනුණේනය. ඒ අනුව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපති සෙනරත් හේවගේ මංජුල ප්‍රසාද් මහතාට එරෙහිව අපහාසාත්මක හා සාවද්‍ය පුවත් විකාශනය වාරණය කරමින් සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගම හෙවත් ‘හිරු ටී.වී නාළිකාවට’ සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව 2022 දෙසැම්බර් මස 29 වැනි දින දක්වා බලපැනැත්වෙන පරිදි වාරණ නියෝගයක් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් නිකුත් කළාය.
ඊට පසුව පසුගිය 05 වැනිදා මෙම නඩුව අධිකරණය හමුවේ යළි විභාග වූ අවස්ථාවේ අදාළ නඩු විභාගය අවසන් වන තෙක් හිරු නාළිකාවට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරුවරිය පියවර ගත්තාය.
මෙය ඉතාම පැහැදිලිව මෙරට මාධ්‍ය අත්තනෝමතිකත්වයට එරෙහිව පුරවැසිවෙයක් ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. මන්ද මාධ්‍ය බලය හමුවේ මෙවැනි වාරණ නියෝග ලබා ගැනීම පුද්ගලයින් හා ආයතන ඉදිරිපත්වීම අතිෂය දුර්ලභ නිසාය.
මාධ්‍ය මාෆියාවට එරෙහි ජයග්‍රහණයක්
මේ සමග ජනතාවගේ සහ සමස්ත ජනමාධ්‍ය කර්මාන්තයේ අවධානය යොමු විය යුතු තවත් සුවිශේෂ කරුණක් තිබේ. ඒ පසුගිය 05 වැනිදා විත්තිකාර හිරු නාළිකාව වෙනුවෙන් කිසිම නීතිඥයෙක් අධිකරණය හමුවේ පෙනී නොසිටීමය. තම ආයතනය විසින් පුරා මාසයකට අධික කාලයක් පුරා අඛණ්ඩව හා දැවැන්ත ලෙස මෙහෙයවනු ලැබූ මාධ්‍ය ව්‍යාපෘතියකට එරෙහිව අධිකරණය ඉදිරියේ විත්තිකරුවෙක් වීමට සිදු වූ විට ඒ වෙනුවෙන් කරුණු කියා සිටීමට තරම් හිරු නාළිකාව දුර්මුඛ වීම විමතියට කරුණකි. මෙය ඉතාම පැහැදිලිව ඔවුන්ගේ ආයතනයේ කීර්තිය, ඔවුන් සිදුකළ හෙළිදරව්ව සම්බන්ධ ඍජු ව අදාළ නඩුවකි. එහෙත් ඔවුන්ට ඒ් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කීමට දෙයක් නැති සෙයකි. අපට මෙයින් වැටහී යන්නේ කුමක්ද ? ඒ ගැන තීන්දුවක් ගැනීම පාඨක ඔබට භාරය.
එහෙත් මේ ගැන උන්නදුවක් දැක්වූ මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් කිහිප දෙනකුම මේ ලියුම්කරු සමග ප්‍රකාශ කළේ ‘ඔවුන් පාළු ගෙයි වළං බින්ඳාට මුහුණට මුහුණ දෙන්න බයයි. ඒකට හේතුව තමයි මේ මාධ්‍ය මාෆියාව ඉතාම පටු ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් ගොනුවීම. ඔවුන්ට අවශ්‍ය එපමණයි. ඒ නිසා අධිකරණය හමුවට යාමට ඔවුන්ට ධෛර්යක් නැහැ. ඉතාම පැහැදිලිව කෙටි කාලීනව හෝ මේ ලබාගත් වාරණ නියෝගය අතිෂයින් වැදගත් ජයග්‍රහණයක්’ යනුවෙනි.
මේ සමඟ තවත් කරුණු ගණනාවක් අප හමුවේ නිරාවරණය වෙයි. ඒ මේ රටේ ප්‍රමුඛ රාජ්‍ය ආයතනවලට ඉහළ නිලධාරීන් සහ බලධාරීන් පත් කරන්නේ සහ ඔවුන්ගේ පැවැත්ම තීරණය කරන්නේ ඊනියා මාධ්‍ය මාෆියාව විසින් ද යන්නයි. මන්ද මෙම මාධ්‍ය මාෆියාවට තමන්ගේ ව්‍යාපාරික අරමුණුවලට, ව්‍යාපාරික න්‍යාය පත්‍රයන්ට එරෙහිව වන හෝ බාධාකාරී නිලධාරීන් හෝ බලධාරීන් පන්නා දැමීමට අවශ්‍ය වන්නේ ‘ගොබෙල්ස් පන්නයේ මාධ්‍ය මෙහෙයුමක් පමණය. ඒ වෙනුවෙන් දරදිය ඇදීමට සහ සාක්ෂිකරුවන් වීමට කැමැති බොහෝ දෙනෙක් පසහුවෙන්ම ආයතනිකව සහ සමාජය තුළින් සොයා ගත හැකිය. ඊට පසු අභියෝගයකින් තොරව තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ හැකිය.
හිරු නාළිකාවට එරෙහිව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපති මංජුල ප්‍රසාද් හේවගේ මහතා විසින් පැවරූ නඩුව සහ එ් වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීමට පවා හිරු නාළිකාව අධිකරණයට නොපැමිණීම හරහා අපට කියා පායන්නේ ඊනියා මාධ්‍ය වාර්තාකරණයන් හා මෙහෙයුම් දෙස බලා රාජ්‍ය පාලනයට අදාළ වැදගත් තීන්දු – තීරණ ගැනීමේ අවදානමයි.
මේ ගැන දේශපාලන බලාධිකාරිය මෙන්ම රාජ්‍ය පරිපාලනයේ මුල් පුටු දැඩි අවධානයක් යොමු කළ යුතුය. තම අසීමාන්තික වාර්තාකරණය හමුවේ වින්දිතභාවයට පත් පාර්ශ්වයක් පිහිට පතා අධිකරණයට ගිය විට, එම නඩුව විභාගයට ගන්නා විට තම පාර්ශ්වයෙන් කරුණු කියා පෑමට නීතිඥයෙක් පවා ඉදිරිපත් නොකරන ඊනියා මාධ්‍ය නාළිකාවලට සැබෑ න්‍යාය පත්‍ර සහ වුවමනා එපාකම් ගැන අප වඩ වඩාත් සංවේදී විය යුතුය. එය කලින් කීවා සේ දේශපාලන බලාධිකාරියට මෙන්ම පොදු ජනතාවට ද අදාළය.
–ගජබා නාගහවත්ත
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?