counter hit xanga
October 21, 2021

“විජාතික වෛද්‍ය ජුන්ටාව” සහ චීන Sinopharm!

Last Updated on May 10, 2021 by Panduka Herath

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වේගවත් වීමත් සමගින් ඔවුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය වුවහොත් ඔක්සිජන් හා වෙන්ටිලේටර්ස් යන්ත්‍ර චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ තානාපතිවෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර COVID-19 එරෙහිව චීනය විසින් හදුන්වාදුන් Sinopharm (සීනෝෆාම්) එන්නත ශ්‍රී ලංකාවේදි නිශ්පාදනය කිරීම සදහා චීන සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර ආරම්භ කල සාකච්ඡා මේ වනවිට සාර්ථකත්වයට පත්ව් තිබේන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් චීනයේ යහපත් ප්‍රතිචාර ඇති බවත් සාක්ච්ඡා ඉතා සතුටුදායක මට්ටමට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානපති කාර්‍යාලය වාර්තා සදහන් කළා.

චීනය ගැන ඇසු පමණින් භූමිතෙල් ඇඟ ගෑ ගැරඩින් මෙන් දගලන ඇතැමුන්ට නම් ඉහත පුවත් දෙකම දිරවන්නේ නැත. ඒ නිසාම පසුගිය කාලසිමාවේ චීනයේ එන්නතට එරෙහිව විවිධ අකාරයේ කුමන්ත්‍රණ දියත් කල කණ්ඩායම් ගැන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබේ.

චීනය මුලින්ම ලබාදුන් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 භාවිත කළේ නම් මේ වන විට එම එන්නතින් තවත් මාත්‍රා ලබාගැනීමට අවස්ථාව තිබුණ බවද ඔහු සිය සටහනින් පෙන්වා දි තිබේ.

සයිනොෆාම් ගැහිල්ල

චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ගෙන ආවේ මාර්තු මස 31 දිනය. එසේ වුවත් එය ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට අනුමැතියක් හිමි නොවූ නිසා සති 5ක කාලයක් මධ්‍යම එන්නත් ගබඩාවේ තැබීමට සිදු විය. චීනය ආරම්භයේ ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ විය. පසුව එය ලක්ෂ 6 දක්වා ඉහල නැංවිණි. ජනවාරි අන්තිම සතියේ හෝ පෙබරවාරි පළමු සතියේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාව තිබුන ද ඒ සඳහා අනුමැතියක් හිමි නොවීය. “අනුමැතියක් හිමි නොවීය” යනුවෙන් පවසනවාට වඩා “අනුමැතිය ලැබීම වැලක්වීය” යනුවෙන් පැවසීම නිවැරදිය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්‍රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්‍රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් “විජාතික වෛද්‍ය ජුන්ටාව”, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි. ආණ්ඩු බලය තිබිය දී මේ කණ්ඩායම පාලනය කිරීමට අපට නොහැකිදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔවුන් නටන්නේ තමන්ගේ හයියකින් නොව චීන විරෝධී එතෙර බලවේග සහායෙන් බව පැවසිය යුතුය.

විජාතික වෛද්‍ය ජුන්ටාවේ ඇතැම් අය මට කෙලින්ම පැවසුවේ “ සයිනොෆාම් එන්නත දෙන්න තියා කතා කරන්නවත් වටින්නේ නෑ, ඔය ජරාවනම් ලංකාවට ගේන්න දෙන්නේ නෑ” ආදී වශයෙනි. ඔවුහු ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන්නියක් ලවා සයිනොෆාම් එන්නතේ නුගුණ ගැන දිගට හරහට ලිපි ලියැවූහ. සෞඛ්‍ය සේවකයන්ගේ විද්වත් සංගමයක නමින් පෙනී සිටින පුද්ගලයෙක් සයිනොෆාම් එන්නත පිටුපස මාෆියාවක් ඇති බව මාධ්‍ය හමු පවත්වමින් මර ලතෝනි දෙන්නට විය ( එකී විද්වත් සංගමයේ අනෙකුත් විද්වතුන් කවුදැයි මම තවමත් සොයමි). “ජනතාවට මරු කැන්දන චීන සයිනොෆාර්ම් එන්නත ලංකාවට” යනුවෙන් වෙබ් අඩවි සිසාරා ලිපි පළ විය.

කොටින්ම සයිනොෆාම් එන්නතට විරුද්ධව විජාතික වෛද්‍ය ජුන්ටාව අමුවෙන්ම සටනට පිවිසියේය. ආණ්ඩු විරෝධී කණ්ඩායම්, මේ ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද, තනතුරු තානාන්තර බලාපොරොත්තුවෙන් සිට ඒවා නොලැබීම නිසා වෛරයෙන් පසු වූ පුද්ගලයන්, තම පාණ්ඩිත්වය ප්‍රකට කිරීමට චීනුන්ගේ නොහැකියාව පළ කළ පඬින් ආදී එකී මෙකී නොකී කණ්ඩායම්, පුද්ගලයන් සයිනොෆාර්ම් විරෝධී සටන අතට ගත්හ; ඔවුහු අපේ රටේ ජනතාව චීන බාල එන්නතෙන් මුදා ගැනීමේ මානව හිතවාදී අරගලය දියත් කිරීමට, හුදී ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ පතල කරුණාවෙන් සටන් බිමට පිවිසියහ; එකිනෙකා පරයා පුවත්පත් නිවේදන නිකුත් කරමින්, මාධ්‍ය හමු පවත්වමින් ඔවුහු සිය පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වේලාව පවා කැප කර මේ මහඟු ජාතික කරත්ව්‍යයට උර දුන්හ. අන්තිමට සයිනොෆාම් එන්නත ලංකාවේ භාවිතා නොකරන ලෙස දක්වමින් මටත් ,සෞඛ්‍ය ඇමතිතුමියටත් තවත් පාර්ශව කිහිපයකටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පැවරිණි.

විජාතික වෛද්‍ය ජුන්ටාවේ දිග පළල සහ කෙරුවාව අපට එතරම් ආගන්තුක නැති නිසා ඔවුන්ගේ සයිනොෆාම් විරෝධී ඊනියා අරගලය උස්සා පොලවේ ගැසීමට අපට එතරම් කල් ගත නොවීය. සයිනොෆාම් එන්නත ප්‍රමාදයකින් හෝ මාර්තු 31 ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වුයේ එහෙයිනි. චීන-ශ්‍රී ලංකා හොඳ හිත පළුදු කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චීනය අපට දුන් කොන්දේසි විරහිත සහයෝගය දුබල කිරීමත්, චීනය අපට ලබා දුන් ආර්ථික සහන අඩපන කිරීමත්, සයිනොෆාම් දේශපාලනයේ ඉලක්ක විය. සයිනොෆාම් විරෝධී ඊනියා සටන් පාඨවලට ආවැඩූ ඇතැම්හු ඒ පිටුපස කතන්දරය දැන නොසිටින්නට ඇත. මේ සටහන තැබුවේ ඔවුන් කඩේ ගිය බව පෙන්වා දීම ද අරමුණු කරගෙන ය.

දැන් සයිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 රෝගයට එරෙහිව යොදා ගත හැකි එන්නතක් ලෙස හදිසි ලැයිස්තුගත කිරීම් කර ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළ ඒ යොදා ගැනීමේ බාධාවක් නැත. එසේ වුවත් විජාතික වෛද්‍ය ජුන්ටාව සහ අන්තේවාසිකයන් මගින් ක්‍රියාත්මක වූ ඊනියා සයිනොෆාම් විරෝධී සටනින් රටට සිදු වූ පාඩුවට, COVID-19 මර්ධන වැඩ පිළිවෙලේ වූ ප්‍රමාදයට වග කියන්නේ කවුද? ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කවුරුන් හෝ ඉදිරිපත් වේද ?

චන්න ජයසුමන