counter hit xanga
March 28, 2023

අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා

Last Updated on March 16, 2023 by Lankae Cast

2022 වසර ආරම්භයේදී ආර්ථිකයේ සිදු වූ ආපසු හැරීම දේශපාලන ක්ෂේත්‍රයට ක්ෂණික බලපෑමක් ඇති කළේය. අගනුවර සිසාරා මහාමාර්ග සාගරයක් බවට පත්වනතුරු, විශාල ජනකායක් විරෝධතාවන් පැවැත්වීමට විථි බටහ. දැන්, වසරකට පසු ආර්ථික අර්බුදය පාලනය වන බවට ඇඟවීම් ලබාදී ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම අත්සන් කිරීමට තව දින කිහිපයක් පමණක් තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ, පවතින ආණ්ඩුව නොසැලෙන බව පෙන්නුම් කර ඇත. එහෙත් ආණ්ඩුවේ සාර්ථකත්වය තිරසාර වීමට නම්, එහි ප්‍රවේශය ගැන, නැවත සිතා බැලිය යුතු අංශ තුනක් පවතින බව දැකගත හැකිය.

ආණ්ඩුව සිය ප්‍රවේශය නැවත ක්‍රමාංකණය කළ යුතු, ගැටලු සහිත ක්ෂේත්‍ර තුනක් හඳුනාගත හැකිය. පළමුවැන්න වන්නේ, පළාත් පාලන මැතිවරණය අවිනිශ්චිත අනාගතයේ දී නොව, කඩිනමින් ආසන්න අනාගතයේදී පවත්වන බව දැනුම්දීමය. මැතිවරණ යනු ජනතවගේ හෝ පාලකයන්ගේ අවශ්‍යතාව මත පවත්වන්නක් නොවේ. එය මැතිවරණ නොපැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කෙරන ව්‍යාජ තර්කවලින් එකකි. මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසකි. කොමිෂන් සභාව විසින් නියම කරන ලද අප්‍රේල් 25 දිනයේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වඩාත් සුදුසුවේ. කෙසේ වෙතත් මේ සඳහා රජය විසින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළයුතු බැවින්, මෙම දිනයට මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳව දිගින් දිගටම සැකයක් පවතී. මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැති බවට ආණ්ඩුව කරන ප්‍රකාශය ඒත්තු ගැන්විය නොහැක්කක් වන්නේ, අදාළ මුදල රජයේ එක් දිනක වියදමටත් වඩා අඩු බැවිනි. 

දෙවැනි ගැටලූව වන්නේ රජය අධිකරණයට එල්ල කරන අභියෝගයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පදනම් වන්නේ සංවරණ සහ තුලන ක‍්‍රමය මතය. අධිකරණය රාජ්‍යයේ ප්‍රධාන ආයතන ත්‍රිත්වයෙන් එකකි. අධිකරණ පද්ධතියේ උත්තරීතර ආයතනය වන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ, මැතිවරණය ප්‍රමාද කිරීම සඳහා, මුදල් නැතැයි කියමින් රජයට නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි බවයි. අධිකරණයේ මෙම තීන්දුවට ගරු කළ යුතුය. එය නොතකා හැරීමෙන් පාලනයේ අර්බුදයක් නිර්මාණය වනු ඇති අතර, එය රටට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අර්බුදය තීව්‍ර කරනු ඇත. නීතියේ ආධිපත්‍යයට ගරු නොකරන පරිසරයක් විසින්, තම ආයෝජනවල ආරක්‍ෂාව සම්බන්ධයෙන්, අනාගතයේ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයන්ට ඍණාත්මක පණිවිඩයක් යැවිය හැකිය. අවාසනාවකට ආණ්ඩුවේ මැතිඇමතිවරු රජයේ භාණ්ඩාගාරයට මඟ පෙන්වීමක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය අභියෝගයට ලක් කරමින් සිටිති.

තුන්වන ගැටලූව ඇත්තේ ආරක්ෂක අංශ යොදා ගනිමින් අඛණ්ඩ වීථි විරෝධතා නැවැත්වීමට රජය ගන්නා උත්සාහයන් සම්බන්ධයෙනි. මිනිසුන්ගේ සාමාන්‍ය ආර්ථික ජීවිතයට බාධාවක් මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසයට බාධාවක් වනු ඇතැයි යන පදනම මත නිදහසේ වීථිබැස විරෝධතා දැක්වීමේ අයිතිය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇත. බොහෝදුරට වෘත්තීය සමිති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල විරෝධතා දක්වන පිරිස්වලට එල්ලකෙරෙන ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ අත්අඩංගුවට ගැනීම් වැනි ප්‍රවෘත්ති ආශ්‍රිත දර්ශන සෑම දිනකම පාහේ දැකගැනීමට ලැබේ. හමුදා නිල ඇඳුමින් සැරසී සිටින පුද්ගලයන් විරෝධතාකරුවන්ට පොලුවලින් පහර දෙන අයුරු මෑත කාලීන දර්ශනවල දක්නට ලැබිණි. සිවිල් කැලඹීම් මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදා ගැනීම නීතිය උල්ලංඝණය කිරීමකි. විශේෂයෙන් හමුදා නිල ඇඳුමින් සිටින පුද්ගලයන්ට හඳුනාගැනීමේ ලාංඡන නොමැති වීම සහ ඔවුන් ම්ලේච්ඡ ලෙස හැසිරීම ගැටලුකාරී වී ඇත.

එක්සත් ජනපද ස්ථාවරය

සන්නද්ධ බලය යොදවා මහජන විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහයෙන් ගැටලුව විසඳෙන්නේ නැත. මහජන උද්ඝෝෂණවල යෙදී සිටින කොටස් අත්හැර දැමීමේ හැකියාවක් නොමැත. ඔවුන් අයත් වන්නේ රටේ ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් වැඩි දායකත්වයක් සපයනු ලබන, රටේ ජනතාව අතුරින් පහළම සියයට 80ටය (හෝ ඊට වැඩි). ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය දරන වර්තමාන උත්සාහයන් රටේ දුප්පත් කොටස්වලට අසමාන ලෙස බලපෑම් එල්ලකරමින් තිබේ. උදාහරණයක් ලෙස ගත්කල, ඉහළ ආදායම් මට්ටමේ සිටින පුද්ගලයන්ට වඩා, ආර්ථික ස්ථරයේ පහළම සිටින කණ්ඩායම්වලට බලපෑ, මෑත කාලීන විදුලිය ගාස්තු ඉහළ නැංවීම ඔස්සේ මෙම බලපෑම පැහැදිලිව දැකගත හැකිවිය.

මර්දනකාරී ක්‍රම මගින් විරෝධතා ජය ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, රට තුළ පවතින බහුවිධ අර්බුදවලින් ගොඩඒමේ මග සෙවීමේ මූලික ප්‍රතිපත්තිවලට රජය යා යුතුව තිබේ. පළමුව, රටේ පාලනයේ පදනම ප්‍රජාතන්ත්‍රවාදය බව සැළකිල්ලට ගත යුතුය. නීතියට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පණ ලබාදෙන පියවරකි. මැතිවරණ නීතිය නොසළකා හැරීමෙන්, රට තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය ඛාදනයට ලක්වේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික නීති සමුළුව අමතා පසුගියදා කළ දේශනයේදී මේ බව පැහැදිලි කළාය.

“සිවිල් සමාජ සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් සහ ස්වාධීන අධිකරණයක සුදුසුකම්ලත් නීතිමය නියෝජනයක් හරහා රජයේ ක්‍රියාවලිය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමට පුරවැසියන්ට හැකියාව ලබා දී ඇති බව” පැහැදිලි කරමින් තානාපතිනි චන්ග් පළාත් පාලන මැතිවරණයේ වැදගත්කම අවධාරණය කළාය. ඇය අධිකරණයේ වැදගත්කම සහ විරෝධතා දැක්වීමේ අයිතිය ගැන ද අවධානය යොමුකළාය. “ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා පීඩාවට පත්ව ඇති අතර, නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතියි… ශ්‍රී ලාංකිකයන්ට තම එදිනෙදා ගැටළු සාමකාමීව ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ට සිය රජයේ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට ඇති අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ලැබෙනු ඇත.” ශ්‍රී ලංකාවේ “නිදහස් මැතිවරණ පිළිබඳ සාඩම්බර ඉතිහාසය විසින් එම අයිතීන්ට අනුබල දෙන” බව ද ඇය එහිදී සඳහන් කළාය.

ප්‍රතිපත්ති ගැන නැවත සිතාබැලිය යුතුය

අමෙරිකානු තානාපතිවරියගේ අදහස් පිළිබඳව විශේෂ උනන්දුවකින් සලකා බැලියයුතු වන්නේ, ශ්‍රී ලංකාව යළිත් සිය ආර්ථිකය වර්ධනය කර ගැනීමට සහායක් බලාපොරොත්තු වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිටුපස සිටින බලවතා ඇමෙරිකාව වන බැවිනි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයේ සුහදතාවට උපකාර කළ හැකි, සිය ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය සහ IMF කොන්දේසි නැවත සළකාබැලීමේ අවශ්‍යතාවයක් රජය හමුවේ පවතී. ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන බර රටේ ජනතාව අතුරින් දුප්පත් කොටස් මත පැටවිය නොහැක. නිදසුනක් වශයෙන්, වත්මන් බදු ව්‍යුහය ඔස්සේ, වැඩි දියුණු කළ සෘජු සහ වක්‍ර බදු මගින් මධ්‍යම පන්තිකයන්ට දෙවරක් බදු පනවා ඇත. ඔවුහු පුද්ගලයන් සහ පවුල් වශයෙන් ආර්ථික තිරසාරත්වයේ මායිම්වල ද සැරිසරමින් සිටිති. ආර්ථීක ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව රජය නැවත සලකා නොබලන්නේ නම්, දෙවැනි අරගලයක් ඔස්සේ ජනතාව නැවත මහමගට ගෙනඒමට රජයට හැකියාව පවතී.

පසුගිය වසර ආරම්භයේදී, මුලින් කුඩා කණ්ඩායම් වශයෙන් උද්ඝෝෂණ කිරීමට පටන් ගත්තේ ගම්බද ගොවීන්ය. ඔවුන් අනුගමනය කරමින් පසුව විරෝධතාවන්ට එක්වූයේ වෙරළබඩ ප්‍රදේශවල ධීවරයන්, වඩු කාර්මිකයන් සහ අවසානයේ නාගරික මධ්‍යස්ථානවල මධ්‍යම පාන්තිකයන් ය. ඒ හා සමාන සංසිද්ධියක් අද ද දැකිය හැකිය. වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ කණ්ඩායම්ද ඇතුළුව වැඩි වැඩියෙන් කණ්ඩායම් විරෝධතාවලට එක්වෙමින් සිටියි. කාලෝචිත සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ මූලධර්මය ආරක්ෂා කිරීමට මෙන්ම, මැතිවරණයක අවශ්‍යතාවය රජයට ඒත්තු ගැන්වීම සඳහා සිවිල් සමාජ සංවිධානවල මුලපිරීමක්, විපක්ෂයේ දේශපාලන පක්ෂවලද සහභාගීත්වයෙන්  පසුගියදා එකම වේදිකාවක පැවැත්විණි. ඡන්ද බලය සුරැකීමේ සිවිල් සමාජ සාමූහිකය විසින් කැඳවා තිබූ එම රැස්වීමේදී “ඡන්ද අයිතිය සුරකින බවට මහජන නියෝජිතයන්ගේ ප්‍රතිඥාව” අත්සන් කිරීමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම ප්‍රමුඛ නියෝජිතයෝ එක් වූහ. ඊට සහභාගීවූ දේශපාලන පක්ෂ, පුළුල් ලෙස විවිධ මතවාදයන් සහ වාර්ගික කණ්ඩායම් නියෝජනය කළේය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය රැකගැනීමේ කාරණයේදී ඔවුහු කිසිදු භේදයකින් තොරව එක්ව නැගී සිටියහ.

ජාතික හා අන්තර්ජාතික වශයෙන් ආයෝජක විශ්වාසය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන අධිකරණ තීන්දුවලට සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ව්‍යවස්ථාමය විධිවිධානවලට රජය ගරු කළ යුතු අතර, එසේ නොමැති වුවහොත් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ අපේක්ෂාවන් සාර්ථක නොවනු ඇත. රජයේ ප්‍රතිපත්ති පැහැදිලි බවත්, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන බවත් ආයෝජකයන් දැනගත යුතුය. ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකදී, මැතිවරණ සහ විරෝධතා දැක්වීමේ නිදහස යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් රජය තම ජනතාවගේ, විරුද්ධ පක්ෂවල සහ සිවිල් සමාජයේ හඬට ඇහුම්කන්දීම වඩාත් අවශ්‍ය වේ. එසේ නොමැතිවීම, අපේක්ෂා කරන දේශපාලන ස්ථාවරත්වයට සහ ආර්ථික ප්‍රකෘතියට හිතකර වන්නේ නැත. රජයේ සංවර්ධන උපාය මාර්ග සඳහා සමාජයේ සෙසු කණ්ඩායම්වල කැමැත්ත සහයෝගීතාව අවශ්‍ය වේ. එසේ නොවුවහොත්, එය වේගවත් ආර්ථික වර්ධනයක් කරා රට ගෙන යා යුතු ගමනේ, විදේශ ආයෝජන නොපැමිණීමට හේතුවන නොසන්සුන්තාවක් නිර්මාණය කරනු ඇත.