Last Updated on September 27, 2022 by Desman Chathuranga
ඉහළ මිලක් ගෙවිය හැකි පුද්ගලයන්ගේ අවධානයට වැඩි වශයෙන් ලක්නොවුවද, සෙමින් සෙමින් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය විවිධ පැතිවලින් අඛණ්ඩව පිරිහෙමින් තිබේ. පසුගිය මාස හතරක පමණ කාලය තුළ පෙට්‍රල්, ඩීසල් සහ ගෘහස්ථ ගෑස් යන භාණ්ඩවල සාපේක්ෂ, ස්ථාවර සැපයුමක් පවතී. දිගු පෝලිම් තවදුරටත් පෙනෙන්නට නැත. වාහන ඉන්ධන සඳහා වන සලාක ක්‍රමය, ඒ සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීමට සහ ඩොලර් ආරක්ෂා කරදීමේදී ඵලදායී වී ඇත. ගෘහස්ත ගෑස් පහසුවෙන් ලබා ගත හැකිය. මෙම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සියල්ලේම මිල, උද්ධමනයට හසුව තුන් ගුණයකින් වැඩි වී තිබේ. එහෙත් තමන් ගෙවූ මිලට වඩා දෙගුණයක් තෙගුණයක් ගෙවිය හැකි පුද්ගලයෝ, තම ආදායම් ඉහළ මට්ටමක පවතින නිසා, අතීතයේ මෙන් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු නොවීම පිළිබඳව සෑහීමකට පත්ව සිටිති. ඔවුන්ගෙන් වැඩිදෙනකු තවදුරටත් විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයන් නොවේ. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගෙන් සමහරක් අරගලයට එරෙහි රජයේ මර්දනයේ ආධාරකරුවන් බවට පත්ව ඇත.
විරෝධතා ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවේදී ඉන්ධන, ගෑස් සහ විදුලිය උග්‍ර හිඟයට එරෙහිව විරෝධතා දැක්වීමට දුප්පත් පොහොසත් භේදයකින් තොරව ජනතාව මහමගට පැමිණියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රජය පෙරළා දමන වෙනසක් සඳහා රටපුරා ඒකාබද්ධ ඉල්ලීමක් නිර්මාණය විය. එම ඒකාබද්ධ ඉල්ලීම තවදුරටත් නොපවතී. මන්ද අතේ මුදල් ඇති අයට ඉහළ මිලක් ගෙවා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කළ හැකි බැවිනි. ජීවිතය පවත්වාගත හැකි නිසා, මහමගට බැස විරෝධතා පැවැත්වීමෙන් තොර ජීවිතයකට ඔවුන් කැමති වනු ඇත. එහෙත් තමන්ගේ පෙර ජීවන රටාව අහිමිවූ බහුතරයක් පුද්ගලයෝ, ශිෂ්‍යයන්ගේ අඛණ්ඩ විරෝධතාවන්හි දැකගැනීමට ලැබෙන ආකාරයට, අනිවාර්යයෙන්ම කැරලිකාර යොමුවීමක් දැනවිය හැකි අතෘප්තියකින් පසුවෙති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පාලනය භාරගෙන ඇති අතර, එම පාලනයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමයි. ඔහු බලයට පත් වූ දා සිට, මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, ආර්ථිකය කඩාවැටීමට පෙර ජිවන තත්වයේ ‘මායිම්වල’ ජීවත් වූ විශාල පිරිසකගේ ජීවිත තිරසාර නොවන තත්වයකට පත් කර තිබේ. 80 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනිමින්, පසුගිය සතියේ කොළඹදී වීදි විරෝධතාවයේ නිරත වූ විශ්වවිද්‍යාල සිසුන්ව ප්‍රචණ්ඩ ලෙස විසිරවූ අතර, ඔවුන් තවදුරටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා ආදායම් නොලබන ජනතාවගේ නියෝජිතයන් බව විශ්වාස කිරීම අසාධාරණ නැත. වර්තමානය වන විට, වඩාත් ශුභවාදී අවස්ථාවන් උදාවීමේ පෙරළියක් සිදුවීමට පෙර, වසර පහක ආර්ථික දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් සලකා බැලිය යුත්තේ තවත් වසර පහක මර්ධනය කළ හැකිද හෝ සුදුසුද යන්නයි.
ගැටලුව වන්නේ රජය තවත් ණය ගනිමින් අතීතයේ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙන යමින් අර්බුදයේ රෝග ලක්ෂණ සමනය කිරීමට උත්සාහ කිරීමය. ජනවාර්ගික ගැටුමට මුල් වූ කරුණුවලට විසඳුම් සෙවීමට රජය අසමත් වූවා සේම අරගලය බිහිවීමට බලපෑ මූලික කරුණුවලට විසඳුම් සෙවීමටද ආණ්ඩුව අසමත් වී ඇත. මින් පෙර අවස්ථාවේදී සිදුවූ මර්දනය දශක තුනක යුද්ධයකට තුඩු දුන් අතර, කිසිදු දේශපාලන විසඳුමක් නොමැතිව, අද ජිනීවාහිදී රජයට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 2009 යුද්ධය අවසානයේ බලාපොරොත්තු වූ සාමයේ අරමුණ ඉටු නොවූ අතර, ආරක්ෂක අයවැය විශාලවීම අයවැය හිඟයට දායක විය.
නැවත නැවත තහනම් කිරීම
පොලිස් ප‍්‍රහාරවලට ලක්වන ශිෂ්‍ය විරෝධතාකරුවන්, බරපතළ ජිවන වියදම් ඉහළ යෑම මධ්‍යයේ ගෞරවාන්විත ජීවත ගතකිරීමට අපහසු වී ඇති අයයි. ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර යොදා ගනිමින් සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවරමින් රජය සමාජයට ලබාදෙන විශාල පණිවුඩය වන්නේ, ආර්ථික දුෂ්කරතා මුල් කර ගනිමින් සිදුකරන උද්ඝෝෂණවලට ඉඩ නොදෙන බවයි. මෙහිදී රජයේ සැලකිල්ල දෙගුණයක් විය හැකිය. පළමුව, විරෝධතා ආරම්භයේදීම පාලනය නොකළහොත්, මිනිසුන් විඳින දුෂ්කරතා හේතුවෙන් ඒවා නැවත වර්ධනය වී මෑත අතීතයේ මෙන් පාලනය කළ නොහැකි විරෝධතා ව්‍යාපාරයක් බවට පත්වනු ඇත. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම යනු රජය උපරිම පූර්වාරක්‍ෂක පියවර ගනිමින් සිටින බවට සලකුණකි. දෙවනුව, අරමුදල් ලබාදීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත්කර ඇති අවශ්‍යතාවක් වන්නේ දේශපාලන ස්ථාවරත්වයයි.
මින් පෙර අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කරන ලද්දේ, යුද්ධයේ උච්චතම අවස්ථාවේදී උතුර නැගෙනහිර ප්‍රදේශවල සතුරු ප්‍රහාරවලින් හමුදා කඳවුරු ආරක්‍ෂා කිරීම සඳහාය. මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බව පවසමින් එය හෙළා දකින නීතිඥ සංගමය, ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නියෝගයේ විධිවිධාන හොඳින් අධ්‍යයනය කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමය තුළ අරගලයේ තිබූ ශක්තිය සහ ජනප්‍රියත්වය තුළින් පෙන්නුම් කළේ රජයට පාලනය කිරීමට තිබූ ජනවරම අහිමි වී ඇති බවයි. විශාල ආරක්‍ෂක භටයන් පිරිසක් කැටුව ගියහොත් මිස, මහජනතාව සමග ගැවසීමට හෝ පාරට බැසීමට ආණ්ඩුවේ නායකයන්ට නොහැකි බව මේ වන විටත් දැකිය හැකිය. එමනිසා ඔවුන් තම පැවැත්ම දකිනුයේ ජාතික ආරක්ෂාවේ ප්‍රිස්මය තුළිනි.
ආර්ථික අර්බුදයේ ක්ෂනික ගැටලු විසඳීමට එක්ව ක්‍රියා කරන, අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත් ජාතික ආර්ථික සැලැස්මක් සහිත, මාස හයකින් පසුව නැවත මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන එකඟතාව මත ඇමැතිවරුන් 15 දෙනකුගෙන් සමන්විත කුඩා සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල කාලය තුළදී එකඟ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන විට බලාපොරොත්තු වූ රාජ්‍ය තාන්ත්‍රිකභාවය එයයි. විරෝධතා ව්‍යාපාරය තලා දැමීම කෙරෙහි ඔහු තුළ පවතින අවධානය පුදුමයට කරුණක් වන නමුත් නීතිය හා සාමයේ අවශ්‍යතාවයේ පදනම මත එය යුක්තිසහගත විය. ඔහු ඒ හා සමානව නීතිය උල්ලංඝනය කරමින් සිදුකෙරෙන දූෂණය සහ ආත්මාර්ථකාමී භාවිතයන් මර්දනය කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී. නමුත් මෙම අපේක්ෂාවන් තවමත් ඉටු වී නැත.
යාපනය උදාහරණය
හිටපු ජනාධිපතිවරයා යටතේ බලයේ සිටි, ආර්ථික අර්බුදය නතර කිරීමට අසමත් වූ දේශපාලනඥයන් පිරිසම නැවත පත්කිරීමෙන්, ඔවුන්ගෙන් විසඳුමක් ලැබේ යැයි බලාපොරොත්තු විය නොහැක. සමස්ත ජාතික අර්බුදයට විසඳුමක් ගැන ඔවුන්ට අදහසක් ඇති බව පෙනෙන්නට නැත. ඔවුන් දක්ෂ වන්නේ ප්‍රශ්න ගැන කතා කිරීමට මිස විසඳුම් ඉදිරිපත් කිරීමට නොවේ. ඒ අනුව බලන විට සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් නොමැති මොහොතක අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවක් පත්කිරීම ජනතාවට පෙනීයන්නේ සාධාරණ නොවන ලෙසටය. වැඩෙමින් පවතින වෛරයකින් යුතුව, ජනතාව දකින්නේ එම සමස්ත දේශපාලඥයන් පිරිසම බලයෙන් පහකර යවනතුරු, මෙය නොනැසී ප්‍රශ්නයේ කොටසක් ලෙස පවතිනු ඇති බවයි.
මෙම අඳුරු තත්ත්වය තුළ, යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සිසුන්ට දැඩි දඬුවම්දීම වෙනුවට සිසුන්ගේ සිත් දිනාගැනීම සඳහා රජයට අනුගමනය කළ හැකි ආදර්ශයක් සපයා ඇත. එය ආරම්භ වූයේ එක් පීඨ සභිකයකු තම සිසුන් උදෑසන දේශනයට උදේ ආහාරය නොගෙන පැමිණ සිටිනු නිරීක්ෂණය කිරීමත් සමගය. ඔහු කටයුත්ත ආරම්භ කරණ ලද්දේ, තම දේශනයට සහභාගිවන සිසුන්ට බිස්කට් සහ කෙසෙල් ලබා දීමෙනි. අනතුරුව ඔහුගේ තවත් සගයන් දෙදෙනෙකු, නොමිලේ ආහාර වේලක් ලබාදීම සඳහා පෙළඹවීමට ඔහු සමත් විය. ඒ මීට මාස තුනකට පෙරය. මෙම වැඩසටහන අද වන විට සිසුන් 1200 කට වැඩි පිරිසකට දිනකට ආහාර වේලක් සැපයීමට හැකි මට්ටමකට ප්‍රජා ක්‍රියාකාරීත්වයක් දක්වා ඉහළ ගොස් ඇත.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී සංහිඳියාව සහ යුක්තිය සඳහා රජය දක්වන කැපවීම පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටින මොහොතක, යාපනයේ විද්වතුන් රජය ජාතික වශයෙන් භාර ගතයුතු වගකීම, සිය ආධ්‍යාශයෙන්ම පෙන්නුම් කර තිබේ. රටේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් තම සිසුන් සඳහා ඔවුන් ප්‍රජා මුළුතැන් ගෙයක් පිහිටුවීම ප්‍රායෝගිකව ජාතික සංහිඳියාව වෙනුවෙන්ගත් පියවරකි. සිවිල් සමාජ මුලපිරීම්වලදී මෙන්ම, යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයද, මහා පරිමාණයෙන්ම රජය කළ යුතු දේ ක්ෂුද්‍ර මට්ටමින් පෙන්වා දී ඇත. සිවිල් සමාජයට ප්‍රජාවගේ සහයෝගය උත්පාදනය කර දියහැකිය. ඒ සඳහා ක්‍රමවත් සහයෝගයක් ලබාදීම රජයේ යුතුකමකි.
–ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය
More Stories
ලංකාවට රාජ්‍ය ව්‍යාපාර අකැපද?
අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!
ප්රජාතන්ත්රවාදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුවට උපදෙස් – ජෙහාන් පෙරේරා