counter hit xanga
October 26, 2021

සැප වාහන අවුල ශ්‍රේෂ්ඨාධිකරණයට!

සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා!

Last Updated on June 17, 2021 by Panduka Herath

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ JVP හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබේ.

නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කර ඇති සිය පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවය

ඒ අනුව, එලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් අයැද ඇති අතර, යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත්, එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රදානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් අයැද තිබේ.