counter hit xanga
October 18, 2021

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට FUTA එරෙහි වෙයි!

FUTA lankaecast

Last Updated on May 8, 2021 by Panduka Herath

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නැවත සක්‍රීය කිරීම හරහා රටේ උසස් අධ්‍යාපනයේ සීඝ්‍ර මිලිටරිකරණයට, වාණිජකරනයට මෙන්ම අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා ගුණාත්මකභාවය සහ අරමුණු හා අභිමතාර්ථයන්වල පරිහාණියට මග පාදනු ඇති බව FEDERATION OF UNIVERSITY TEACHERS’ ASSOCIATIONS (විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය) නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම සම්මේලනය විසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිලිබඳ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශය

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නැවත සක්‍රීය කිරීම සඳහා දැරෙමින් පවතින උත්සාහය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය බරපතල අවධානය යොමු කොට සිටී. 2018 දී මෙම පනත් කෙටුම්පත මුල් වරට ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආචාර්ය ප්‍රජාව ඊට සිය දැඩි විරෝධය ප්‍රකාශ කලේය. බරපතල ලෙස උපකරණාත්මක වූ මිලිටරි පන්නයේ තීරණ ගැනීමේ රාමුවක් තුල ගාස්තු අය කරන සමාන්තර උසස් අධ්‍යාපන පද්ධතියක් වර්ධනය කිරීම මගින් මෙම පනත් කෙටුම්පත ලංකාවේ රාජ්‍ය උසස් අධ්‍යාපන පද්ධතිය මූලධාර්මික වෙනසකට භාජනය කිරීමට උත්සාහ කරයි. මෙම පනත අනුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රටේ අනෙක් සියලු විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පාලනය වන 1978 විශ්ව විද්‍යාල පනත විසින් ස්ථාපනය කල නියාමන රාමුවෙන් පිටත ස්ථානගත කෙරේ. මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය රටේ උසස් අධ්‍යාපනයේ සීඝ්‍ර මිලිටරිකරණයට, වාණිජකරනයට මෙන්ම අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා ගුණාත්මකභාවය සහ අරමුණු හා අභිමතාර්ථයන්වල පරිහාණියට මග පාදනු ඇත.

1978 විශ්ව විද්‍යාල පනත යටතේ විශ්ව විද්‍යාල පිහිටුවා තිබෙන්නේ පහල සිට ඉහලට ව්‍යුහගත වූ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනමය ක්‍රමවේදයක් යටතේ විශ්ව විද්‍යාල ස්වාධීනතාවය නම් මූලධර්මය ගරු කෙරෙන ආකාරයටය. මෙම ක්‍රමවේදය තුල, විශ්ව විද්‍යාලයේ අධ්‍යයන තීන්දු පලමුව දෙපාර්තමේන්තු මට්ටමේ දී ගැනෙන අතර, ඉක්බිති පීඨ මට්ටම හරහා සනාථන සභාව හා විශ්ව විද්‍යාල සභාව යන ව්‍යුහයන් ඔස්සේ අවසානයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන් කරයි. තවද මෙම තීරණ මෑතක දී ස්ථාපිත කල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධ වූ කවුන්සිලය වෙත ද යොමු කෙරේ. මෙම ක්‍රමවේදය මගින් අධ්‍යන පාඨමාලා, අධ්‍යන නිර්ණායක, පාඨමාලාවල අභිමතාර්ථයන් හා අනෙක් සියලු අධ්‍යයන කටයුතු හැකි තාක් පුලුල් පරාසයක පරදු පාර්ශවයන්ගේ දායකත්වය සහිතව තීන්දු වන බවට වග බලා ගැනේ. අධ්‍යයන තීරණ ගැනීම පටු හා උපයෝගිතාවාදී ආකාරයකට නොව සමානාත්මතාවාදී ලෙසකට සිදුවන බවට තහවුරු කරගැන්ම සඳහා මෙම ක්‍රමවේදය උපකාරී වේ.

මීට සපුරා පටහැනි ලෙස, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත තුලින් යෝජනා කෙරෙන්නේ ඉතාම අත්තනෝමතික, ඉහල සිට පහලට ව්‍යුහගත වූ, අමාත්‍යංශ මට්ටමේ සෘජු දේශපාලන මැදිහත්වීම සහිත පරිපාලනමය ආකෘතියකි. පනත් කෙටුම්පත විසින් යෝජනා කොට තිබෙන පරිපාලන සභාවට ඉතාම පුලුල් බලතල පවතින අතර එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර ව්‍යුහයක් නිර්මාණය වනවා පමණක් නොව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මොඩලයේ ගාස්තු අය කරන අධ්‍යාපනය ලංකාවේ උසස් අධ්‍යාපන පර්යාය පුරාවට ව්‍යාප්ත කිරීමට ඊට සීමා රහිත බලයක් ද ලැබී තිබේ. තවද පනත් කෙටුම්පත විශ්ව විද්‍යාලයේ පාලනය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අත නොව ආරක්ෂක අමාත්‍යංශය මත රඳවයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මුලින්ම පිහිටුවනු ලැබුවේ මිලිටරි ඇකඩමියක් ලෙසය. නමුත් දැනට සිදුවෙමින් තිබෙන්නේ එහි මිලිටරි පන්නයේ උසස් අධ්‍යාපන ආකෘතිය පුලුල් සිවිල් ජනතාවක් වෙත ව්‍යාප්ත කිරීමය. යෝජිත පනත සම්මත වුවහොත් එම ක්‍රියාවලිය වඩාත් ආක්‍රමණශීලී හා විධිමත් ආකාරයකින් සිදුවනු ඇත. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ සම්ප්‍රදායකට උරුමකම් කියන ලංකාව වැනි සමාජයක් මත මින් ඇති කරන බලපෑම නිශේධනීය එකකි. යෝජිත පනත් කෙටුම්පත අනුව, ආරක්ෂක අමාත්‍යවරයාට – තවත් හමුදා නිලධාරීන්ගේ මඩුල්ලක් සමග එක්ව – අධ්‍යයන පාඨමාලාවල අන්තර්ගතය, ස්වභාවය සහ අනෙක් සියලු  පැතිකඩ සම්බන්ධව තීරණ ගැනීමේ බලය පවතී. මෙම ක්‍රමවේදය තුල තීන්දු ගැන්මට අදාල අනෙකුත් පරදු පාර්ශවයන් ගණනාවක් තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් පිටමං කරනු ලැබෙන අතර ගන්නා තීන්දු තීරණ අතිශය උපයෝගිතාවාදී මිලිටරි ආකෘතියක් යටතේ ගැනෙනු ඇත. ඉහලින් ලැබෙන අණ ප්‍රශ්න නොකොට පිලිපැදීමේ මිලිටරිමය සංස්කෘතිය ගෝලීය වශයෙන් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් පිලිගනු ලබන විශ්ව විද්‍යාල විවේචනාත්මක චින්තනයේ අඩවියක් විය යුතු බවට වූ ප්‍රතිමානය සමග බරපතල ලෙස පරස්පර වේ.

පනත් කෙටුම්පතේ පහත දැක්වෙන නිශ්චිත ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි වශයෙන්ම අන්තරාදායක බව අපි සලකමු.

යෝජිත පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් පහත දැක්වෙන නිශේධනීය ලක්ෂණවලින් යුක්ත සමාන්තර විශ්ව විද්‍යාල පරිපාලන ව්‍යුහයක් නිර්මාණය වනු ඇත.

I කොටස – කෙටුම්පතෙහි 2(1) වගන්තිය අනුව විශ්ව විද්‍යාලය 1978 විශ්ව විද්‍යාල පනත අනුව පාලනය නොවේ. ඒ අනුව විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියාමනයෙන් බැහැරය. කෙටුම්පත දක්වන පරිදි මෙම විශ්ව විද්‍යාලයට ආරක්ෂක හමුදාවල සාමාජිකයන්ට පමණක් නොව ඕනෑම අයෙක්ට සේවය සැපයිය හැක. (4(බී) වගන්තිය – හමුදා සාමාජිකයින්, රජයේ සේවකයින් හා අනෙක් අයට සේවය සැපයිය හැක). පනත පහත කටයුතු සඳහා විශ්ව විද්‍යාලයට බලය පවරයි; සිසුන් බඳවා ගැනීම (5 (ඒ) වගන්තිය), ඇතුලත් වීමේ සුදුසුකම් තීරණය කිරීම (IV කොටස – 19 (ඒ) වගන්තිය), අධ්‍යයන කටයුතුවල ගුණාත්මකභාවය පවත්වාගැනීම (19 (බී) වගන්තිය), ගාස්තු අය කිරීම (5 (1) වගන්තිය), උපාධි ප්‍රදානය (5(ජී) වගන්තිය) සහ ලාභය විශ්ව විද්‍යාල පරිපාලනය සුදුසු යැයි සිතන ව්‍යාපාර කටයුතු මත ආයෝජනය කිරීම (5(වයි) වගන්තිය). උපාධි ප්‍රදානය කිරීම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා නොවේ. එම විශ්ව විද්‍යාලය මගින් ස්ථාපිත කල හෝ ඊට අනුබද්ධ වෙනත් ආයතනවල සිසුන්ට ද උපාධි පිරිනැමිය හැක. (5(ජී), 5 (ඕ), 5(පී) හා 5 (කිවු) වගන්ති).

විශ්ව විද්‍යාලය හා උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට අයත් නොවන අතර එය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයටය. ආරක්ෂක අමාත්‍යංශය මෙම පනත බලාත්මක කිරීම හා පරිපාලනය කිරීම සම්බන්ධ වගකීම දරයි (6(1) වගන්තිය). පනත අනුව ආරක්ෂක අමාත්‍යවරයාට විශ්ව විද්‍යාලයේ පරිපාලන සභාව වෙත නියෝග නිකුත් කල හැකි අතර එම සභාව එකී නියෝග පිලිපැදීමට බැඳී සිටී (6(2) හා 6(3) වගන්ති). ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, උපකුලපති, හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් විය යුතුය (10(1) වගන්තිය). විශ්ව විද්‍යාලයේ වැදගත් කටයුතු ගණනාවක් පරිපාලන සභාව මත පැවරෙන අතර මෙම සභාව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ‍ලේකම්, හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී, හමුදාපති, නාවික හමුදාපති, ගුවන්හමුදාපති හා ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරියෙක් විය යුතු උපකුලපති යනාදීන්ගෙන් ද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරන නියෝජිතයන්ගෙන් ද සමන්විත වේ (18(2) වගන්තිය). 

සිසුන්ගේ බඳවා ගැනීමේ නිර්ණායක, අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සුදුසුකම්, උපාධි ප්‍රදානය සඳහා පිහිටුවන අනුබද්ධ ආයතනවල ගුණාත්මකභාවය නියාමනය කිරීම ආදී සියලු වගකීම් මුලුමනින්ම පාහේ හමුදා නිලධාරින්ගෙන් යුක්ත මණ්ඩලයක් අත රඳවා තිබේ. මෙය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ සම්භාව්‍ය ප්‍රතිමානයක් වන විශ්ව විද්‍යාල විවේචනාත්මක චින්තනය සඳහා ඉඩ තිබෙන කලාපයක් විය යුතු බවට වූ අදහස වෙනුවට ඉහල සිට පහලට ව්‍යුහගත වූ මිලිටරි සංස්කෘතියක් විශ්ව විද්‍යාලය මත ආරෝපණය කිරීමෙහිලා හේතු වනු ඇත. 

ජාතික ආරක්ෂාවේ නාමයෙන් විරුද්ධ අදහස් යටපත් කිරීම.

පනත් කෙටුම්පතෙහි 7 වගන්තිය අනුව ආරක්ෂක අමාත්‍යවරයාගේ අදහස අනුව ජාතික ආරක්ෂාව අනතුරට ලක්කල හැකි, ජාතික ප්‍රතිපත්තිවලට පටහැනි (කවර ජාතික ප්‍රතිපත්තිය දැයි පනත් කෙටුම්පත සඳහන් කරන්නේ නැත) හෝ විශ්ව විද්‍යාලයේ සුමට ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන යම් තත්වයක් පාලනය කිරීම සඳහා සුදුසු යැයි සිතන සියලු ක්‍රියාමාර්ග ගැනීමේ බලය පාලක සභාවට ඇත. පනත් කෙටුම්පතට අනුව, ජාතික ආරක්ෂාවට, ජාතික ප්‍රතිපත්තියට හෝ විශ්ව විද්‍යාලයේ දෛනික කටයුතුවලට බාධාකාරී වන සිදුවීම් විශ්ව විද්‍යාලය තුල සිදුවන සංසිද්ධීන්ට අදාලය. කෙසේ වුවද, ‘සුදුසු යැයි සිතන සියලු ක්‍රියාමාර්ග ගැනීමට’ ඉහල පෙලේ හමුදා නිලධාරීන්ගෙන් යුක්ත පාලක සභාවට ලබා දී තිබෙන පුලුල් බලය අවශ්‍ය නම් විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවන සංසිද්ධීන් ද ආවරණය වන ලෙස ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබේ. අයිතිවාසිකම් වෙනුවෙන් සමාජය තුල පැන නගින යම් යම් ව්‍යාපාරයන් විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරීත්වයට බාධා වන ඒවා ලෙස අර්ථ දක්වා ඒවා මර්දනය කිරීමේ හැකියාවක් මෙමගින් නිර්මාණය කොට ඇත. එබඳු අර්ථනිරූපණයක් සාධාරණීකරනය කිරීම සඳහා අමාත්‍යවරයාගේ අභිමතය ප්‍රමාණවත්ය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන උසස් අධ්‍යාපනය හමුදා පාලනය යටතට ගෙන ඒම හා ලිහිල්ව නියාමනය වන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සඳහා දොර විවෘත කිරීමට හේතු වන මෙම උත්සාහය පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සියලුම ආචාර්යවරුන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, සිවිල් සමාජයෙන් හා රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

රොහාන් ලක්සිරි

ලේකම්, විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය