Last Updated on September 30, 2022 by Lankae Cast
විරෝධතා මර්දනය කිරීම වෙනුවට විරෝධතා ව්‍යාපාරවල මූල හේතුවන, පද්ධතිය වෙනස් කිරීම සහ දූෂණය නැතිකිරීම මෙන්ම යහපාලනයේ සම්මතයන් දැඩි ලෙස පිළිපැදීම යන පියවර සහතික කිරීමට කටයුතු කරන ලෙස ජාතික සාම මණ්ඩලය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම කොළඹ, අධිආරක්ෂිත කලාප පිහිටුවීමේ නීතිය ඉවත් කර ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව සහ නීතිඥ සංගමය විසින් කර ඇති ඉල්ලීම් පිළිබඳව රජය සැළකිල්ල දැක්විය යුතු බවත් ජාතික සාම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
කොළඹ අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සහ මහජන විරෝධතා සම්බන්ධයෙන් පොලිසියට පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු බවට වන අවශ්‍යතාව රජය මහජන විරෝධතා මැඬලීමට ප්‍රමුඛත්වය දෙන බවට දර්ශකයන් වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් විරෝධතා ව්‍යාපාරවල නායකයන් ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම්, විරෝධතා ව්‍යාපාරයට සහභාගීවූවන් අහඹු ලෙස අත්අඩංගුවට ගැනීම් සහ විරෝධතා දැක්වීමේ අයිතිය තවදුරටත් සීමා කරන නීති දැඩි කිරීම් මගින්, විරෝධතා ව්‍යාපාරය සීමා කිරීම සඳහා දැනටමත් ගෙන ඇති පියවර මෙම තීරණ මගින් ශක්තිමත් කරනු ලබයි.
ඩොලරය අවප්‍රමාණය වීමත්, ආනයන සීමා කිරීමත්, මිල ඉහළ යෑමත් හේතුවෙන් ජනතාව මුහුණදුන් ආර්ථික දුෂ්කරතා මත මෙම විරෝධතා ව්‍යාපාරය නිර්මාණය විය. එය රට අස්ථාවර කිරීමට කෘතිමව නිර්මාණය කරන ලද්දක් නොවේ. එම විරෝධතාවන් පැන නැගුණේ රටේ අන්තර්ජාතික (විදේශ) ණය ආපසු ගෙවීමේ වගකීම් පැහැර හැරීමේ සන්දර්භය තුළ ආර්ථිකයේ බිඳවැටීම හේතුවෙනි. දිළිඳුතම ජන කොටස්වල ජන ජීවිතයට දැඩි ලෙස බලපාන, ආර්ථික තත්ත්වය අඛණ්ඩව පහත වැටීම සහ ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි රජයට සංවේදීතාවක් නොමැතිකම හේතුවෙන් විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව පවතී.
මෙම සන්දර්භය තුළ, සාමකාමී වාතාවරණයක් පවතින කොළඹ, අධිආරක්ෂිත කලාප පිහිටුවීමේ නීතිය ඉවත් කර ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව සහ නීතිඥ සංගමය විසින් කර ඇති ඉල්ලීම් පිළිබඳව රජය සැළකිල්ල දැක්විය යුතුය. ජාතික සාම කවුන්සිලය රජයෙන් ඉල්ලා සිටින්නේ විරෝධතා ව්‍යාපාරයේ මූල හේතුවන, පද්ධතිය වෙනස් කිරීම සහ දූෂණය නැතිකිරීම මෙන්ම යහපාලනයේ සම්මතයන් දැඩි ලෙස පිළිපැදීම යන පියවර සහතික කිරීමට කටයුතු කරන ලෙසයි.
ශ්‍රී ලංකාව මේ වන විට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මානව හිමිකම් සහ රාජ්‍ය පාලනය පිළිබඳ සිය ස්ථාවරය ආරක්ෂා කරමින් සිටී. මෙම ප්‍රශ්න ඇතුලත්කොට පෙර කවරදාකටත් වඩා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරුණු නව යෝජනාවලියකට රජයට මුහුණ දීමට සිදුව තිබේ. රට සතු අන්තර්ජාතික කීර්තියට මෙන්ම, ආර්ථිකමය වශයෙන් අන්තර්ජාතික සහයෝගය සහ ණය පහසුකම් ආකර්ෂණය කරගැනීම කෙරෙහි සෘණාත්මක තීන්දුවක් දැඩි ලෙස බලාපනු ඇත. ආර්ථික පසුබෑමකින් හෝ අන්තර්ජාතික අපකීර්තියකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතීම යන අභියෝග ජය ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපේක්ෂා කළ රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි.
-ජාතික සාම මණ්ඩලය
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?