counter hit xanga
March 26, 2023

ආගමික සිද්ධස්ථානවලට සූර්ය පැනල ලබා දෙන්න

Last Updated on September 21, 2022 by Lankae Cast

ආගමික සිද්ධස්ථාන සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති දැඩි විරෝධය පිළිබඳව නොපමාව රජයේ අවධානය යොමුකරවිය ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති, හිටපු කතානායක කරු ජයසූරියගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ තිබෙන සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ලෝකයේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවධියක ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වුවත් හතර ගුණයකින් ගාස්තු වැඩි කිරීම නිසා බොහෝ ආගමික මධ්‍යස්ථාන විශාල අපහසුතාවයකට පත්ව ඇත. එමෙන්ම අනෙකුත් පාරිභෝගික බිල්පත් සදහා හතර ගුණයක් වැනි අසාමාන්‍ය වැඩි වීම් වලට යටත් නොවන විට ආගමික ස්ථානවලට පමණක් මෙසේ ගාස්තු වැඩි වන්නේ මන්ද යන්න ගැනද බලධාරීන් විසින් සොයා බැලිය යුතුව ඇත.

ජනසමාජය ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන හා සමාජීය වශයෙන් විශාල සේවාවන් ඉටුකරන  ආගමික මධ්‍යස්ථානවලට සහනයක් සැළසෙන පරිදි විකල්ප ක්‍රියාමාර්ගයන් හදුන්වාදෙමින් අවශ්‍ය මගපෙන්වීම් හා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. එහිදී රජයටත් ජනතාවටත් බරක් නොවන අන්දමට සෑම ආගමික මධ්‍යස්ථානයකම සූර්ය පැනල මඟින් (සෝලා) විදුලිය ලබාදීමට හැකි බව එම ක්ෂේත්‍රයේ වියතුන් විසින් දැනටමත් පෙන්වාදී තිබේ.

මෙම යෝජනාව අප විසින් දීර්ඝ ලෙස අධ්‍යයනය කළ අතර විදුලි ඉංජිනේරු මතය වූයේ ද  මෙරට පිහිටි බොහෝ පන්සල් කෝවිල් පල්ලි ආදී ස්ථානවලට සූර්යය පැනල මඟින් විදුලිය ලබා දිය හැකි බවයි. එහිදී අප තවදුරටත් රජයට යෝජනා කළේ මහජන මුදල් භාවිතා කරනවා වෙනුවට මේ සඳහා අන්තර්ජාතික ප්‍රදාන හා දැනට ක්‍රියාත්මක අනෙකුත් පරිසර ආධාර ක්‍රම යටතේ මෙම යෝජනා ක්‍රමය දියත් කළ හැකි බවයි.

අප විසින්  ඒ පිළිබදව මේවන විටත් ගරු ජනාධිපතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැතිතුමා හා විදුලිබල මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. බුද්ධශාසන අමාත්‍යතුමන් මෙහිදී වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බවත්, ගරු ජනාධිපතිතුමන් විසින් මෙහි අවශ්‍යතාවය වටහාගෙන ඇති බවටත් එහිදී අපව දැණුවත් කර තිබේ. ඒ අනුව එකී අවධානය නොපමාවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගනු ඇතයි අප තරයේම අපේක්ෂා කරන්නෙමු.
 –කරු ජයසූරිය, සභාපති, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය