counter hit xanga
March 26, 2023

ලලිත් – කුහන් අතුරුදහන් කිරීමේ නඩුවෙන් ගෝඨාභය “වහන්” කළ දීපාලී විජේසුන්දර….!

Last Updated on October 1, 2022 by Desman Chathuranga

දියණියගේ විවාහයට අත්සන් කළ මහින්දගේ තෑග්ග , නවීන මෝටර් රථයක්…. ..!!

දීපාලී සහ පවුලේ ආරක්ෂාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය ගෙන් පොලිස් බල ඇණියක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වසර 11 ක් තිස්සේ අධිකරණයට වෙට්ටු දැමූ ගෝඨාභය රාජපක්ෂගේ කතාව ඊයේ ඔබ හමුවේ තැබුවෙමි. ඊට ප්‍රතිචාර දැක්වූ සැමට බෙහෙවින් ස්තුතියි……!!!

අද ….! ගෝඨාභයගේ එකී වෙට්ටු දැමීම සදහා අභියාචනාධිකරණයට මුවාවී රැකවරණය දුන් රාජපක්ෂ පවුලේ හිතවතියක් වූ හිටපු විනිසුරු දීපාලී විජේසුන්දර ගැනයි…………!

වර්ෂ 2011 දෙසැම්බර් 09 වන දින නාදුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබ අතුරුදහන් කළ ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අභියාචනාධිකරණයේ “හබයාස්කෝපුස්” පෙත්සමක් ගොනු කරන්නට විය. ඒ අනුව අභියාචනාධිකරණය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය ය.

ඉන්පසු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂට වතාවන් තුනක් නොතීසි නිකුත් කළද ඔහු එකී අවස්ථා තුනටම වෙට්ටු දමා සාක්ෂි ලබාදීම මග හැරියේ ය. පළමුව පෞද්ගලික හේතුවක් නිසා පැමිණිය නොහැකි බව දන්වා , දෙවැනි දින අසනීප බව දන්වා පැමිණියේ නැත. ඉන්පසු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ තුන්වන නොතීසියට අනුව ගෝඨාභය රාජපක්ෂ අධිකරණය මගහැරියේ අලුත් උප්පරවැට්ටියකිනි. ඒ අභියාචනාධිකරණයෙන් ලබාගත් අනීතික වාරණ නියෝගයකට අනුවය.

දීපාලී විජේසුන්දර සහ අභියාචනාධිකරණයේ අනීතික නියෝගයට එරෙහිව අභියාචනයක්

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි ලබාදීමෙන් වැළකී සිටීමට ගෝඨාභය රාජපක්ෂ ලබාගත් වාරණ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නැවතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අධිකරණයේම අභියාචනායක් ගොනු කළේ ය. රාජපක්ෂ හිතවතියක් වූ විනිසුරු දීපානි විජේසුන්දරගේ නිරුවත එළියට ආවේ මෙහිදීය.

මෙවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලය ඇත්තේ දෙසතියකට පමණක් බවත් , එහෙත් මේ වාරණ නියෝගය සති 06 ක් වැනි දීර්ඝ කාලයකට ලබාදීම නීති විරෝධී බව අභියාචනය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නුවන් බොපගේ පෙන්වා දී තිබේ.

ඊට අමතරව මෙවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමේදී ප්‍රති පාර්ශ්වයට නොතීසි නිකුත් කර ඔවුන් ගෙන්ද කරුණු විමසිය යුතු බවට නීතියේ ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කර නැති බවද , වාරණ නියෝගය ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති කරුණු දෙකම කිසිසේත්ම යුක්තිසහගත නොවන බව පෙන්වා දීමට සැරසෙද්දී විනිසුරු දීපාලී විජේසුන්දර ඊට එරෙහි වී එකී කරුණු දැක්වීමට අද දින ඉඩ ලබාදිය නොහැකි බව තරයේ ප්‍රකාශ කර ඇත. ඒ සදහා දෙසැම්බර් 03 වැනි දිනට දින ලබාදී තිබේ.

දීපාලී විජේසුන්දර අභියාචනාධිකරණය හාස්‍යයට ලක්කිරීම…….!

වාරණ නියෝගය අභියෝගයට ලක්කළ කරුණු අතරින් පළමු චෝදනාව වූයේ සති 06 ක කාලයක්, එනම් 2019 සැප්තැම්බර් 24 සිට දෙසැම්බර් 03දක්වා වාරණ නියෝගයක් ලබාදීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි. එවැනි චෝදනාවක් තිබියදීම නැවතත් වාරණ නියෝගයේ චෝදනාවට ලක්ව ඇති එම සති 06 අවසන්වන දිනට එනම් 2019 දෙසැම්බර් 03 දින ඊට එරෙහිව කරුණු දැක්වීමට දින ලබාදීම තරම් විහිළුවක් තවත් තිබේද ?

ඒ අන් කවර හේතුවක් හෝ නිසා නොව 2019 නොවැම්බර් 17 දින ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගත් විට ජනාධිපති “මුක්තිය” පෙන්වා ස්ථීර ලෙසම අධිකරණය මග හැරීමට අවස්ථාව ලබා දීම පිණිස ය. 2019 දෙසැම්බර් 03 වැනි දින එය එසේම සිදුවිය. විධායක ජනාධිපති වරයෙකු අධිකරණයට කැඳවීමට නොහැකි බව දන්වමින් ඉහත අභියාචනා නිෂ්ප්‍රභා කළේ ය.

විනිසුරු දීපාලී විජේසුන්දරගේ දියණියගේ මංගල්‍ය සහ රාජපක්ෂලා……!

විනිසුරු දීපාලී විජේසුන්දර මහාධිකරණ විනිසුරු වරියක් ලෙස කටයුතු කරන සමයේ ඇයගේ දියණියගේ විවාහයට අත්සන් තැබීම සදහා පැමිණ ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. අත්සන් කිරීමෙන් පසු ඔහු නව යුවළට පිරිනැමූ තග්‍යය වූයේ නවීන මෝටර් රථයකි. එපමණක් නොව ඇය අභියාචනාධිකරණයට පත් කරනු ලබන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. තම අභිමතයට ඉහළ අධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ ඒකාධිපති බලය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවකට ජනාධිපතිවරයා සතු කරගෙන තිබුණි. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් නියත වශයෙන්ම දීපාලි විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වීම වළැක්විය නොහැක.

දීපාලී විජේසුන්දර අභියාචනාධිකරණ විනිසුරු වීමෙන් පසු ඇයට සහ පවුලේ අයවළුන්ට ආරක්ෂාව පිළිබද ගැටලුවක් ඇතැයි කියමින් එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් සැළකිය යුතු පොලිස් බලඇණියක් දීපානිගේ මුළු පවුලටම ලබා දී තිබේ. මෙතරම් කිට්ටු මිත්‍ර සබදතාවක් ඇති විනිසුරු වරියක් ගෝඨාභය රාජපක්ෂගේ නම ඈදී ඇති පෙත්සමක් විභාග කිරීම සදහා විනිසුරු අසුනේ අසුන් ගැනීමම ලැදියාවන් පිණිබද (Conflict of interest) බරපතල ප්‍රශ්නයකි. මෙකී නඩුව පමණක් නොව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව කුප්‍රකට සුදු කොඩි නඩුවේ තීන්දුවටද දීපානි විජේසුන්දරගේ බරපතල මැදිහත් වීමක් තිබේ.

අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව පෙරටුගාමීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

අභියාචනාධිකරණයේ ඉහත අනීතික තීන්දුවට එරෙහිව පෙරටුගාමි සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය එකී අභියාචනය විභාග කිරීමට තීන්දු කර තිබේ. ඒ අනුව 2022 ඔක්තෝබර් 19 වැනි දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් අතුරුදහන් කිරීමේ අපරාධයේ “යුක්තිය” කෙලෙස ඉටුවේදැයි අපි බලා සිටිමු. අධිකරණයෙන් “වහන්” වූ ගෝඨාභයගේ ජනාධිපති “මුක්තිය” දැන් ඇලීයාවට ගොස් තිබේ. අරගල කරුවනි…..! එකී කාරණාව පමණක් වුවත් සෑහේ. නුඹලාට ස්තූතියි….!!!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත

සබැඳි ලිපිය- ලලිත් – කුහන් අතුරුදහන් කිරීම : ගෝඨාභය රාජපක්ෂ වසර 11 ක් තිස්සේ අධිකරණයට වෙට්ටු දැමූ හැටි !