counter hit xanga
August 12, 2022

ආදරයේ අරගලයට අමතක වූ දෙමළාගේ ප්‍රශ්නය – සරෝජ් පතිරණ

Last Updated on June 26, 2022 by Lankae Cast

“ගෝඨා ගෙදර පල” ගමේ අරගලයේ පසුබෑමක් තිබුණත් පීඩනය දරාගන්න බැරුව රට පුරාම තැනින් තැන අරගලය මතුවෙමින්, යට යමින් තියෙනව.

අරගලයට අත තියන්නේ නෑ කියල ආපු රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතෙත්, දිනපතාම අරගලයට විරුද්ධ මර්ධනයත් උත්සන්නවෙමින් තියෙනව.

මුලදී ඒ ගැන කෝපාවිෂ්ඨ වුන සමාජය මේ වෙනකොට නිර්වින්දනය වෙලා වගේ.

පාසල්වලට, රාජ්‍ය ආයතනවලට සති දෙකක් working from home කිවුවත් මේ රටේ මිනිස්සු වැඩි දෙනක් දැන් ඉන්නේ ගෙදර නෙමෙයි, පෝලිම්වල. පෙට්ටියක් විතර පුංචි කඩ කෑල්ලක තියෙන communication centre එකක අම්ම වැඩ කරද්දී, පුතා smart phone එක අරගෙන Zoom එකෙන් පන්තියට සම්බන්ධ වෙනවා මම දැක්ක. මට හිතුනේ දරුවෝ කොහොමද මෙහෙම ඉගෙනගන්නේ කියල. මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම අරගලයක්. 

පාරට බැස්සත් බස් ධාවනය එහෙම පිටින්ම බිඳ වැටිලා. ඉඳල හිටලා සැමන් පැක් කරලා එන බස් එකක නැග්ගම බහින්නේ මුළු ඇඟ පතම තලාගෙන.

ඒ වගේම ඉන්ධන හිඟයත්, ආහාර හිඟයත් නිසා කළු ආර්ථිකයකුත් මතුවෙලා. සමහර three-wheel ඩ්‍රයිවර්ලා හයර් යනවා වෙනුවට කරන්නේ පෙට්‍රල් ටික අරගෙන ඩබල් මිලට විකුණන එක. ඇත්තටම ගම් පලාත්වල නම් දැන් ත්‍රී වීල් එකක් හොයාගන්න එකත් හරිම අමාරු වැඩක්. එහෙම නැත්නම hire එක ගිනි ගණන්.

මා මේ කිවුවේ දකුණේ බහුතර සිංහල ජනතාවගේ වේදනාව. හැබැයි, දශක ගණනාවක් තිස්සේ උතුරේ දෙමළ මිනිස්සු මේ වේදනාව මීටත් වඩා දරුණු විදියට විඳිමින් ඉන්නවා.

මුල් දවස්වල ගෝල්ෆේස් “ගෝඨා ගෙදර පල” ගමේ අරගලයේ අපි දැක්කේ උතුරේ දෙමලාගේ ප්‍රශ්න ගැනත් යාන්තමින් සහකම්පනයක් තිබුණ බවක්.

ජාතිවාදය එපා, අපිව ජාතිවාදයට තල්ලු කලේ පාලකයෝ ඒ නිසා අරගලය දිනාගෙන උතුරට නෑගම් යනවා වගේ බොහොම හෘදයාංගම අදහස් එදා අරගලයෙන් මතුවුනා. සම්පූර්ණයෙන්ම නොවුනත්, ටික දෙනක් හරි.

එත් අද ඒ සහකම්පනය, ඒ සහෝදරත්වය එහෙම පිටින්ම වගේ නැතිවෙලා ගිහින්. 

ආයෙත් සැරයක් හීනියට ජාතිවාදයේ නින්දිත හඬ මතුවෙමින් තියෙනව ඇහෙනවා.

ජාතිවාදය පතුරලා රට විනාස කරපු වීරවංශලා, ගම්මන්පිලලා, චන්න ජයසුමනලා කිසි දෙයක් සිද්දවුවුනේ නෑ වගේ දැන් ආයෙත් හෙමීට කල එලි බහින්න පටන් අරගෙන.

ඒ නිසාද කොහෙද පහුගිය දවසක ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් මෙහෙම කතාව කියල තිබුන.

ට්විටර් පණිවුඩයකින් ඔහු කියන්නේ සිංහල ජනතාව සමග සමීප වෙලා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ඔවුන්ට වටහා දීමට උත්සහයක් නොදැරීම දෙමළ ජනතාවගේ පැත්තෙන් සිදුවුණ ඓතිහාසික වරදක් කියල.

සුරේන් සුරෙන්දිරන් කියන්නේ එතැනදී සිංහල දේශපාලකයින් සමග කතා කිරීම නොවෙයි අවශ්‍ය කෙලින්ම සිංහල ජනතාවට ආමන්ත්‍රණය කිරීම කියල.

ඔහුගේ ඒ ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර ගොඩක් ලැබිල තිබුන.

විශේෂයෙන්ම ඝාතනයට ලක්වුණ නඩරාජා රවිරාජ් වගේ මන්ත්‍රීවරු සිංහල ජනතාව අමතන්න විශාල ප්‍රයත්නයක් දරපු බව හිටපු ජනාධිපති ප්‍රකාශක හරීම් පීරිස් එයට ප්‍රතිචාර වශයෙන් පෙන්නලා දීල තිබුන.

රවිරාජ් ඝාතනය කෙරුනෙත් සිංහල සමාජය තුල ඔහු ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් වීම නිසාම බවත් හරීම් පීරිස් පෙන්නලා දෙනවා. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ වේදනාව සිංහල භාෂාවෙන් සිංහල ජනතාවට කියාදීම ජාතිවාදී සිංහල දේශපාලකයින්ට දැවැන්ත අභියෝගයක් වුන නිසා.

සංවාදයට එක්වුණ අය දක්වපු අදහස්වලට පිළිතුරු දෙමින් සුරේන් සුරෙන්දිරන් කියන්නේ සරත් වීරසේකර, ගලගොඩ අත්තේ ඥානසාර සහ අතුරලියේ රත්න වැනි ජාතිවාදීන් සිංහල සමාජය තුල පමණක් නොවෙයි, දෙමළ සමාජය තුල අදත් ඉඳීවි ඒ වගේම හෙටත් බිහිවේවි කියල. විශේෂයෙන්ම දෙමළ සමාජය තුල ජාතිවාදී ප්‍රවණතා නැහැයි කියල දෙමළ ජනතාවට අවංකව කියන්න පුලුවන්ද කියල ඔහු ප්‍රශ්න කරනවා.

ඒ නිසා සිංහල සමාජයේත්, දෙමල සමාජයේත් ජාතිවාදීන් පසෙකට දමල, සිංහල සහ දෙමළ සමාජ තුල එකමුතුව කටයුතු කරන්න සූදානම් අය එක්වෙමු කියල ගෝලීය දෙමල සංසදයේ ප්‍රකාශකයා යෝජනාවක් කරනවා.

ඇත්තටම ගෝඨා ගෝ ගමේ තරුණ අරගලය ඉල්ලුවේ එදා වේල කන්න දෙන්න කියල නෙමෙයි; ඔවුන් ඉල්ලුවේ ගෑස් විතරක් නෙමෙයි.

අරගලය දිගින් දිගටම ඉල්ලන්නේ අලුත් රටක්. අලුත් චින්තන ධාරාවක්. අලුත් සමාජ ක්‍රමයක්. ඒක ආදරයේ අරගලයක්.

ඉතින් දෙමළ සමාජය මේ දිගු කරන හස්තයත් අපි ආදරෙන් වැළඳගනිමුද?

-සරෝජ් පතිරණ