Last Updated on September 27, 2022 by Desman Chathuranga
මුළු අනාගතයක් අවදානමේ හෙළීමේ වගකීම් විරහිත හැසිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට අයිතීන් උදෙසා කාන්තාවෝ බල කර සිටි.නිවේදනයන්ක් නිකුත් කරමින් ඔහුන් සදහන් කරන්නේ එන් නතර නොවි රටේ ජනතාවගෙන් වගකිවයුත්තන් සමාව ඉල්ලිය යුත්යි බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආහාර පාලන රසායනාගාරය මගින් නිකුත් කර ඇති වාර්තාවට අනුව මේ වන විට වෙළෙඳපොළේ ඇති සහ රජය මගින් බෙදා දී ඇති ත්‍රිපෝෂ මිනිස් ශරීරයට අහිතකර ආහාරයක් බවට සනාථ වී තිබේ. මේ වාර්තාව නිකුත් කර ඇත්තේ 2022 අගෝස්තු 24 දිනය. එසේම බෙදා හැර ඇති ත්‍රිපෝෂ මිනිස් ශරීරයට අහිතකර ආහාරයක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමහර ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල පමණක් දැනුවත් කර ඇති බවද ප්‍රාදේශීය සායන මගින් ගැබිණි මව්වරුන්ට හා දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදුන් ත්‍රිපෝෂ පැකට් යම් ප්‍රමාණයක් පමණක් හොර රහසේම නැවතත් එම සෞඛ්‍යය කාර්යාලවලට එකතු කරගෙන ඇති බවද දැනගන්නට ඇත. එසේම පෞද්ගලික ආයතන මගින් අලෙවි කරනු ලබන ඒ හා සමාන ආහාර තුළද මෙම විෂ සංඝටකය ශරීරයට අහිතකර ප්‍රමාණයෙන් අඩංගු වී ඇති බව සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කර ගෙන තිබේ.
කෙසේ වුවද මෙම අනාවරණය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් මේ පිළිබඳව ඍජුව වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා සිදු කර නොමැත. ගැබිණි මව්වරුන්ගේ හා කුඩා දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා ප්‍රධාන ආහාර වේලක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ පැකැට්ටුවේද මෙම සංඝටකය අඩංගු වී ඇති බවට පැවැති සැකයක් මත කරන ලද පරීක්ෂණයකින් මෙම තත්වය සනාථ වී ඇතත් මේ පිළිබඳව වගකිවයුතු ඇමතිවරයා හා බලධාරීන් නිහඬව සිටියේ මන්ද යන්න ගැටලුසහගතය. මේ පිළිබඳව ජනතාව දැනුවත් නොකරමින් හිතාමතාම මව්වරුන්ට හා දරුවන්ට වස කවන්නට අවස්ථාව සලසා දුන්නේ ඊට අදාළ ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු.
බිලියනයකට ඇෆ්ලටොක්සින් කොටස් 20ක් පමණක් උපරිම ලෙස තිබිය හැකි ප්‍රමිතිගත තත්වයක මෙම සාම්පල්වල කොටස් 122ක් තරම් ඉහළ අගයක් තිබූ බවට අනාවරණය වී තිබිණි. විශේෂයෙන් ගැබිණි මව්වරුන් හා දරුවන් විශාල ලෙස පාවිච්චි කරනු ලබන ආහාර වර්ගයක් මෙලෙස ශරීරයට විෂ සහිත වීම අතිශය භයානකය. මේ තත්වය තුළ මරණය අත්කර දිය හැකි හා දිගුකාලීනව පිළිකා අවදානම ඇතිකරවිය හැකි ආහාර ජනතාවට ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් මෙම අසංවේදී පාලකයින් විසින් බාර අරගෙන තිබේද යන සාධාරණ ප්‍රශ්නය ජනතාවට මතුවී ඇත. මේ වන විටත් මෙම විෂ සංඝටක අධික ලෙස අඩංගු ත්‍රිපෝෂ වෙළඳපලේ හා පාරිභෝගිකයා ළඟ ඇත. එහෙත් පරිභෝජනය කිරීම අහිතකර බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර විසින් නිකුත් කරන ලද වාර්තා තිබියෙදී ඒවා වෙළඳපොළින් ඉවත් කිරීමට සහ පරිභෝජනය නොකරන ලෙසට ජනතාව දැනුවත් කිරීමට පියවර නොගන්නේ මන්ද? එසේම මෙම සංඝටක සහිත ත්‍රිපෝෂ නිෂ්පාදනයට සහ අලෙවියට වගකිවයුතු ආයතනවලට හා ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව කටයුතු නොකරන්නේ මන්ද? ජනතාවට ඇති ගැටලු මේවාය.
මේ තත්වය තුළ අසත්‍ය ප්‍රකාශ කරන බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන්ට සහ ජනතාවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා තමාගේ වගකීමෙන් හා වගවීමෙන් නිදහස්වීමට තැත් කරන බව ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශවලින් පැහැදිලි වේ. විෂ සහිත ආහාර ලබාදීමට කටයුතු කිරීම හා තත්ව සහතික ලැබීමෙන් පසුවත් ජනතාව දැනුවත් නොකිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් විසින් බාර ගත යුතුය. මුළු අනාගතයක් අවදානමේ හෙළීමේ වගකීම් විරහිත හැසිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කර සිටින අපි, මේ පිළිබඳව ඔහු දරුවන්ගෙන්, මව්වරුන්ගෙන් හා රටේ ජනතාවගෙන් සමාව ගත යුතු බවටද අවධාරණය කරමු. මේ පිළිබඳව ජාතික මට්ටමින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව ඇති අතර මෙම නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් ජීවිත අවදානමට ලක්වූ ජනතාවට වන්දි ගෙවිය යුතුව ඇත.
එසේම අසංවේදීව හා වගකීම් විරහිතව, ජනතාවට වස කවමින් ඔවුන්ගේ ජීවිත උදුරා ගැනීමට, නොසැලකිලිමත්ව ඉඩහරින මිනීමරු පාලකයින් පන්නා දැමීම වෙනුවෙන් පෙරට එන ලෙස අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එසේම ජාතික වගකීමක් ලෙස සලකා අනාගතය වෙනුවෙන් මෙම සමාජ අපරාධයට එරෙහිව හඬ නඟන ලෙස අපි සියලු සංවිධානවලටද ආරාධනා කරමු.
සමන්මලී ගුණසිංහ
ලේකම්
අයිතීන් උදෙසා කාන්තාවෝ
2022.09.23
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?