counter hit xanga
October 22, 2021

මානවහිමිකම් කොමිෂමට ගිය එන්නත්කරණය!

Last Updated on May 30, 2021 by Panduka Herath

එන්නත්කරණය සම්බන්ධයෙන් විධිමත් ප්‍රමුඛතා ලේඛනයක් සහ සුදුසු ප්‍රායෝගික ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස Human Rights Commission Of Sri Lanka (ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට) පැවරී ඇති බලතල අනුව, එම කොමිෂන් සභාව මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

කොමිෂන් සභාවේ සභාපති ජගත් බාලසූරියගේ අත්සනින් යුතුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත මේ ලිඛිත දැනුම්දීම ‘කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමුකර තිබේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් සංවිධාන රැසක් ක්‍රමවේදය සම්බන්ධයෙන් කොමිසමට පැමිණිල් කර ඇති බවත් ඒ අනුව අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා ලබන ජුනි 15දාට පෙර එන්නත්කරණය සඳහා සකස් කරන ප්‍රමුඛතා ලේඛනයක් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස ද, මෙය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් පැවරී ඇති බලතල අනුව කරනු ලබන දැනුම්දීමක් බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උපුටා ගැන්ම ‘කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධවයි’ ලිපියෙනි.

කොවිඩ් 19 තත්ත්වය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙස AstraZeneca (ඇස්ට්‍රාසෙනිකා), Sputnik (ස්පුට්නික්) සහ Sinopharm (සයිනොෆාම්) ආදී වශයෙන් වූ විවිධ එන්නත් වර්ග හඳුන්වා දී ඇත. මෙකී එන්නත් ලබාදීමේදී වඩාත් සාධාරණ හා විනිවිදභාවයෙන් යුක්තව එම කටයුත්ත සිදු නොවන්නේ යැයි ප්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවයේ හා වෙනත් සේවාවල විවිධ සංවිධාන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.

එසේ හෙයින් මෙම කටයුත්තේදී සත්‍ය වශයෙන් මෙන්ම සෘජු ලෙස කොවිඩ් ආසාදිත රෝගීන් සමග ගැටෙන්නා වූ හා එමගින් ආසාදනය විය හැකි කණ්ඩායම් වෙත ප්‍රමුඛතාව ලබාදීම සුදුසු බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.

ඒ අනුව දරනු ලබන්නා වූ තනතුරු හා වෙනත් උපකල්පිත ප්‍රමුඛතාවන් සැලකිල්ලට භාජනය නොකරමින්, මෙම රෝගය මර්දනය සඳහා සෘජුවම දායකත්වය සපයන කණ්ඩායම් හා එකී දායකත්වය සපයන අය සමග ජීවත් වන වැඩිහිටියන්ට ද, රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ හා කණ්ඩායම් ද සැලකිල්ලට භාජනය කරමින් වඩා සාධාරණ හා යුක්තිසහගත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් බෙහෙවින්ම සාධාරණ වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.