Last Updated on December 27, 2022 by Lankae Cast
හැම දරුවෙකුටම ආදරණීය අම්මෙකුගේ මතකය අපුරුයි. අමරණීයයි. හැම දරුවෙක්ම ‘මතක අම්මා’ මරණය දක්වාම ගෙන යනව. මේ විශ්මිත මාතෘත්වයට රටක්, ජාතියක් ආගමක් යන බෙදිම නොවැදගත්. අම්මාගේ මතකය අපට හැමදාම මතක් වුණත් දෙසැම්බරය විශේෂයි. ඒ අපේ අම්මා දෙසැම්බරයක අකාලයේ මැරුණ නිසයි. එයා ජීවත්ව සිටියානම් අදට අවුරුදු 90ක්. ඒත් එයාට ජීවත් වෙන්න ලබුනේ අවුරුදු 39ක් විතරයි. අපි නව යොවුන් වියට අඩිය තියද්දීම එයාට යන්න සිද්ධ වුණා. ඒක කිසිම මවකට හෝ පුතෙකුට සිදු නොවිය යුතු ඉරණමක්. ඒ නිසාම අවුරුදු 39 පැන්න දවසේ ඉඳලම එයාට වඩා කාලයක් ජීවත්විමේ වරදකාරී හැඟීම අපට තිබුණ; තවමත් තියෙනව.
දෙවන ලෝක යුද්ධය පටන් ගන්න අවුරුදු 7 කට කලියෙන් පුන්‍යාවතී ගුණතිලක උපදින්නේ ගාලු වැල්ලබඩ පත්තුවේ මහ මූහුදට මීටර් 300 නුදුරේ ‘ගොඩගම’. එයාගේ තාත්ත රේන්දකාරයෙක් [ තැබෑරුම් කර්මාන්තය]. අම්මා තොටගමු රජමහා විහාරයේ බැතිබර දායක පවුලක දියණියක්. මේ පවුලට හික්කඩුවේ සුමංගල [විදුදය පරිවේණාධිපති]ට ලඟ ඥාතීත්වයක් තිබුණ. රේන්දකාරයෙකුට බන්දල දුන්නත් ඒ පවුලේ ස්ත්‍රීන් නිර්මාංශිකයි. මේ නිසා පුන්‍යාවතී දක්වාම මේ වීගන් [ අති නිර්මාංශික] මනස තිබුණ. එයා සත්ව ආහාරවලින් වැළදුවේ මිකිරි පමණයි. පුදුම දානාණිසංසයක් විශ්වාස කළේ. බඩගින්න්ට බෙදා ගත්තු බත්පත තවකෙනෙකුට දෙන්න පුළුවනිද කියල නිතර වටපිට බැලුව.
එයා අවුරුදු 16 දී තමන්ට වඩා අවුරුදු 15 වැඩිමහල් අල්ලපු ගමේ [මැටිවෙල]බලවත් පවුලක පරම්පරා ගම්මුලාදෑණියෙකුට යෝජිත විවාහයකින් කරකාර බන්දල දෙනව. විවාහයේ අවුරුදු 12 ඇතුලේ දරුවො 6 දෙනෙක්…! මේ කාලයේ ගම්වල ස්ත්‍රීන්ගේ ඉරණම හිතා ගන්න වැදගත් උදාහරණයක්. 1963 සිරිමා බණ්ඩාරණායක ආණ්ඩුව ගම්මුලෑදෑණි ක්‍රමය අහෝසි කරනව. එතැන් පටන් පුන්‍යාවතිගේ ජීවිතේ ඉතාම කටුක එකක්. දරු 6 දෙනෙකුට කන්නබොන්න දීම හා ඉගැන්විමේ බර ඇගේ හිස මතට වැටුණ. අද වගේ එදා ‘සිලෝනය’ බංකොලොත්බාවය ප්‍රකාශයට පත් නොකලත් අහේණිය, බඩගින්න ගෙන්ගෙට උදේහවා ආව. ඒ හින්ද පුන්‍යවතීට දවසට පැය 18ක් විතර වැඩකරන්න සිද්ධ වුණා. දවාලට රෙදි වියනව [අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය] හවසට කොරටු එළවළු වගාව. රෑට පලා වර්ග මිටි බැදීම. මේ සියල්ල ගෙදර ඉවුම්පිහුම්වලට අමතරව.
63 පටන් ගත්තු කට්ට එයාට කන්න ලැබුනේ 72 දෙසැම්බර් වෙනකල් විතරයි. ඒ අවුරුදු 9ය අමර දුකක්. මරණය එයාට සැනසීමක් ගෙනෙන්න ඇති. නැතිනම් ඒ සාගත යුගයේ දරුවන්ට උයා ගත්තු දේ කන්න දීල එයා බඩගින්නේ මැරෙන්න තිබුණ. මොනතරම් අහේනියකින් බැට කෑවත් එයා තොටගමු විහාරෙට සලාක දානේ [මාසික දානය] වැරැද්දුවේ නෑ, එකම දවසකවත්. අපි බඩගින්නට කද්දී හැමදාමත් බත් හට්ටියේ පතුල වෙනකල් කනව. එයා ට කන්න තියෙනවද බලන්න බඩගින්න ඉඩ දුන්නේ නෑ. කාලකණ්නි, අවාසනාවන්ත රටක ඉපදුනාම යොවුන් විය කියන්නේම පාපකාරී යුගයක්. බඩගින්න, අනුරාගය වගේ මුලික මිනිස් වුවමනාවන් සාපරාධී දේවල් බවට පත්වෙනව. අනෙකා ගැන නොසිතා ආත්මාර්ථයම සොයනව; සනසනව. දැන් තමයි එහි වැරදිකාරීත්වය පෙනෙන්නේ; දැනෙන්නේ.
පුන්‍යවතී එයාගේ අකල් මරණයෙන් මේ අවාසනාවන්ත රටෙන් ගැලවුණා, ඇගේ ‘ස්වාමියා’ හා දරුවන්ට මේ රටේ ජීවත්වීමේ අභියෝගය ඉතිරි කරල. එයා ජීවත් වූ යුගයයි අදයි අතරේ ලොකු වෙනසක් නෑ. එයා වගේම අම්මල දරුවෝ වෙනුවෙන් බඩගින්නේ ඉන්නව ඇති. අලුත් වස්තර තමන්ට නොගෙන දරුවන්ට අන්දනව ඇති. නින්ද නොලබා දරුවන් වෙනුවෙන් වෙහෙසෙනව ඇති. ඒ නිසයි අපි නිතර කියන්නේ ‘ සොබා දහම දරුවන් වැදීම පිරිමින්ට පැවරුවා නම් සත්වයා මේ පෘතුවියෙන් අතුරුදහන් වෙන්නේ මීට අවුරුදු මිලියන ගණනාවකට පෙර’ බව.
මම පුන්‍යාවතී ගුණතිලකගේ වසර 50 මතකය ශක්තිමත්ව තියා ගන්න 19 වෙනිදා වේරගොඩ විජබාවේ ප්‍රාථමිකයට ගියා. ඒ කාලේ විජයබාවේ ප්‍රාථමිකය හවස ඉස්කෝලයක්. පුන්‍යාවතී හවස ඉස්කෝලේ යන අපට වේලසන උයල කන්න දීල යැව්වේ. ඒ පොඩි එවුනුත් අපි වගේමයි. අවුරුදු 60ක් ඇතුලේ ලොකු වෙනසක් නෑ. ‘පිවන්තියගේ’ පින සිහිකරන්න විජයබාවේ දරුවන්ට දවල් කෑම වේලක් දීල හිත හදාගන්න බැලුව අවුරුදු 50 කට පස්සේ. ඒත් අමාරුයි. ඒනිසා මේ ටිකත් ලීව. අනේ ‘පින්වන්ත පුන්‍යවතී’ට බුදුබව, නිවන, මතු ජීවිත, ප්‍රාර්ථ්නා කරන්න එපා. කුසගින්නෙන් පෙලෙමින් කිසිම කෙනෙක් ඒ අවසානයන්ට නොයා යුතුයි. බඩගින්න දුප්පත්කම තුලින් එන කාළඛැණ්ණී ජිවිත කියන්නේ උත්කර්ෂයෙන් සැමරිය යුතු දෙයක් නෙවෙයි. වහවහා පිටුදැකිය යුතු දෙයක්.
“සොඳසේ කුස නිවිලා මිස දැවෙනා නිතියෙම්මා
මෙලෙසේ කිසි දවසේ බුදු නොවෙන්න අපේ අම්මා”
(රත්නශ්‍රි විජේසිංහ ගේ කවියකින්)
–නන්දන වීරරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
ජගත්කරණය වූ දඹදෙනියේ බයියා
දරැවන් දෙන අමුතු කෝවිල